රැප් ගායකයා මීළඟ අගමැති වෙයිද?
නේපාල රජය විසින් ෆෙස්බුක්, එක්ස් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට කටයුතු කළේ පසුගිය සතියේය. එම නිසා ඉකුත් සිකුරාදා සිට සමාජ මාධ්‍ය වේදිකාවලට ප්‍රවේශ වීමේ දුෂ්කරතා ඇති විය. නේපාල රජය පවසා තිබුණේ තමන් මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ සමාජ මාධ්‍ය තහනමක් ලෙස නොව, ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සහ ගැනීමක් බවයි. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඬපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බවට කත්මණ්ඩු රජය පවසා තිබිණි. එහෙත් සඳුදා දිනයේ නේපාලය එකම කෝළාහලයක් වූයේ මේ තහනමට එරෙහිව Z පරම්පරාව ලෙස හඳුන්වාගන්නා විරෝධතාකරුවන් කත්මණ්ඩුහි නුවර වැටලීම නිසාය. “ඉවසුවා හොඳට ම ඇති” සහ “දූෂණයට තිත” ඇතුළු සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාකරුවන් වීදි බැස තිබිණි. මේ පිරිස පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට කඩා පැනීමට උත්සහ කරනවිට පොලිසිය වෙඩි තබන්නට විය. මේ නිසා විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුමක් ඇතිවූ අතර පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබිණි. තවත් බොහෝ පිරිසක් තුවාල ලබාතිබිණි. සඳුදා පස්වරුවේ නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිත්වි සුබා බී.බී.ස.ී වෙත පවසා තිබුණේ පොලිසියට බලය යෙදවීමට සිදු වූ බවය. ඒ සඳහා ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර ඇතුළත් වූ බව සඳහන් කර තිබිණි.
නේපාලය අරාජිකත්වයේ උපරිම තත්ත්වයට පත්වූයේ අඟහරුවාදා දිනයේය. රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර අගමැති කේ.පී. ෂර්මා ඔලි අස්වෙන බව නිවේදනය කරනවිට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගිනිගෙන දැවෙමින් පැවතිනි. මුළු රටේම බලය විරෝධතාකරුවන් අතට පත්වූ අතර ඔවුන් අතර තුවක්කු ද විය. ඒ අනුව නීතිය වල්වැදී නොහික්මුණු කණ්ඩායම් අතට පත්ව ඇති බව පැහැදිලි විය. රජයේ ගොඩනැඟිලි මෙන්ම පක්ෂ විපක්ෂ සියලු දේශපාලකයන්ගේ දේපළ ගිනිබත් වන්නට විය. රජය ඇඳිරිනීතිය පැනවුවද එයට හිස නමන කිසිවකු නොවීය. ධූරයෙන් ඉල්ලා අස්වූ අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ භක්තපූර්හි බාලකෝට්හි පිහිටි නිවසට ගිනි තබා විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කර තිබේ. ඒ හා සමානව, නේපාල කොංග්‍රස් සභාපති සහ හිටපු අගමැති ෂර් බහදූර් ඩෝබාගේ බුධානිල්කන්තා ප්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබන ලදී. නේපාලයේ බලය අතට ගත නොහික්මුණු තරුණ ප්‍රජාව සම්බන්ධ වූ රාජ්‍ය විරෝධී විරෝධතා පාලනයෙන් තොර වීමත් සමග නේපාලයේ හිටපු අගමැති ජලනාත් ඛනාල්ගේ නිවසට ගිනි තැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ වන රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර්, පිළිස්සී මියගොස් තිබීම කණගාටුදායකය. මේ සම්බන්ධයෙන් නේපාල මාධ්‍ය ආයතනයක් වන කබාර් හබ් වාර්තා කර තිබුණේ, මැර පිරිසක් චිත්‍රකාර් නිවස තුළ සිරකර පහර දී, ගොඩනැඟිල්ලට ගිනි තැබූ බවත් ඇය අසාධ්‍ය තත්ත්වයේ පසුව ඇති අතර ප්‍රතිකාර අතරතුර මියගිය බවත්ය. කත්මණ්ඩු නුවර පුරාම වෛරය පැතිරෙන්නට විය. අඟහරුවාදා දිනයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඇතුළු වන ස්ථානයේ ගිනි මැළයක් වටා නටමින් සහ සටන් පාඨ කියමින් සිටි අතර, බොහෝ දෙනෙක් අත නේපාල ධජය විය.

කත්මණ්ඩුවේ විරෝධතාකරුවන් අඟහරුවාදා නේපාලයේ විශාලතම මාධ්‍ය ආයතනය වන කාන්තිපූර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැඟිල්ලකට ගිනි තැබූ අතර දූෂණ විරෝධී සටනේ දෙවන දිනයේ දී මහා පරිමාණ විනාශය පැහැදිලිව ප්‍රකට විය. කාන්තිපූර් මාධ්‍ය සමූහය යනු නේපාලයේ ප්‍රමුඛ මාධ්‍ය සමූහය වන අතර කාන්තිපූර් රූපවාහිනිය, රේඩියෝ කාන්තිපූර් සහ ද කත්මණ්ඩු පෝස්ට් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන එහි පිහිටා ඇත. කත්මණ්ඩු හි, විශේෂයෙන් සෙන්ට්‍රල් බිස්නස් පාර්ක් හි මූලස්ථානය පිහිටා ඇති මෙම ආයතනය 1993 සිට නේපාල ප්‍රවෘත්ති සහ තොරතුරු පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍රයක් වී තිබිණි. නේපාල මාධ්‍ය වාර්තාවලට අනුව, විරෝධතාකරුවන් කාර්යාල ගිනි තැබීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන් ගොඩනැඟිලිවලින් ඉවත් කර තිබිණි.

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික සීමාවාසික වෛද්‍යවරයකු සම්බන්ධ කර ගැනීමට බී.බී.සී සිංහල සේවයට හැකිව තිබිණි.

නඳුන් මෙත්වඩන නමැති ඔහු සිනමංගල්හි පිහිටි කත්මණ්ඩු වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ රෝහලේ සේවය කරන සීමාවාසික වෛද්‍යවරයෙකි. ඔහු පවසා තිබුණේ නේපාලය තුළ ඇතිවූ විරෝධතාවට සැබෑ හේතුව සමාජ මාධ්‍ය තහනම් කිරීම පමණක් නොවන බවට එරට මහ ජනතාව පවසන බවය. සැප්තැම්බර් 8 තමයි මේ විරෝධතාව පටන් ගත්තේ. මේක ඇත්තට ම සමාජ මාධ්‍ය තහනම් කරපු එක නිසා ඇති වෙච්ච විරෝධයක් නෙමෙයි. මේ රටේ ජනතාව කියන විදිහට නේපාල රජයට විරුද්ධව ලොකු විරෝධයක් පසුගිය සති 2-3 ඉඳලා තිබුණා. ඒකට හේතු වුණේ දේශපාලනඥයන්ගේ ළමයි පිටරට ඉඳලා ගත කරන සුඛෝපභෝගී ජීවිත. ඒ ගැන සෝෂල් මීඩියාවල ගොඩක් පෝස්ට්ස් වෛරල් වෙන්න පටන් ගත්තා. ඒ එක්ක ම තමයි සෝෂල් මීඩියා තහනම් කරන එක අරන් ආවේ. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි ජනතාවගේ විරෝධතාව ඇති වුණේ,” ඔහු පවසා තිබිණි. මේ අතර ලුම්බිණියේ සංචාරය කළ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේ වනවිට නේපාලයේ සිට දේශ සීමාව හරහා යළි ඉන්දියාවට ඇතුළු වී තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, එම කටයුතු කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නේපාලයේ ආගමන බලධාරීන් සමග පෞද්ගලිකව සම්බන්ධ වූ බවයි. කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යාවත්කාලීන කිරීම්වලට අනුව, නේපාලයේ මේ වනවිට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 102 කි.

බුදුන් උපන් දේශය අරාජික වීම කනගාටුදායකය. 2022 ශ්‍රී ලංකාවෙත් 2024 බංගලිදේශයෙත් අර්බුද කලහකාරී තත්ත්වය ඇතිවූ නමුත් මෙවැනි දේපළ හානියක් හෝ විනාශයක් අප දුටුවේ නැත. තරුණ ප්‍රජාව අසිහියෙන් උද්ඝෝෂණය කළාද? රජය බලයෙන් පහ කර දැමුව ද පාර්ලිමේන්තුව ගිනි තබා ලබන ජය කුමක්ද? සිංහ ඩර්බාර් රජයේ ගොඩනැඟිලි සංකීර්ණයම විනාශ කර තිබේ. දැන් මේවා නැවත ඉදි කරන්න වන්නේ ද නේපාල ජනයාගේ බදු මුදලිනි. එයට තරුණ පරම්පරාවට ද අවශ්‍යනම් සම්බන්ධ වියහැකිය. බන්ධනාගාර කඩා සිරකරුවන් නිදහස් කිරීමෙන්, දේපළ හානි කිරීමෙන් හෝ මහපාරේ ඇමැතිවරුන්ට පහර දීමෙන් හෝ පොලිස් නිලධාරින් මහමඟ ඝාතනය කිරීමෙන් නේපාලයේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඇත්තෙන්ම 2022 දී අපේ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ හමුදාවේ ගුවන් සංක්‍රමනික බළකායට නැවතත් ස්තුතිය පළ කළ යුතුය.

කත්මණ්ඩු නගරාධිපති සහ හිටපු රැප් ගායකයකු වන බාලෙන් ෂා, නේපාලයේ ’ පරම්පරාව සඳහා විශ්වාසවන්ත නායකයකු ලෙස මතුවී ඇති අතර, දූෂණයට සහ සමාජ මාධ්‍ය තහනමට එරෙහි උද්ඝෝෂණයට සහාය දැක්වීම සඳහා ජනයාගේ ප්‍රශංසාව දිනා තිබේ. එසේම සුඩාන් ගුරුන්ග් ගැනත් කියවේ. වාර්තාවලට අනුව, ගුරුන්ග් යනු “කැපවූ දානපතියෙක්” වන අතර ඔහු දශකයකට ආසන්න කාලයක් තම රාජ්‍ය නොවන සංවිධානය හරහා ජනයා වෙනුවෙන් සේවය කරමින් සිටි අයෙකි. ඇත්තෙන්ම ආණ්ඩු විරෝධතාවයේ හදවත ලෙස හඳුන්වන්නේ 38 හැවිරිදි සභාපති සුඩාන් ගුරුන්ග්ය.
චතුර පමුණුව
Saru FM Media