තර්ජන ඉදිරියේ නොසැලී ලෝක ප්‍රජාව කියුබාවේ සහයට පැමිණේ ! – Saru News | සිංහල

0
2

මෙක්සිකානු ජනාධිපතිනි Claudia Sheinbaum හදිසි මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් පෙබරවාරි 08 වැනි ඉරිදා සවස නිවේදනය කළේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග නොතකා තම රට කියුබාවට ආහාර ටොන් 814ක් යවන බවයි. මේ වනවිට ලෝකය පුරා වාමාංශික පක්ෂ හා වෘත්තීය සමිති කියුබානු ජනතාව වෙනුවෙන් ආහාර, ඖෂධ ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ යැවීමේ ක්‍රියා දාමයන් ආරම්හ කර ඇතැයි වාර්තා වේ.

ඊයේ පෙබරවාරි 8 වනදා මාධ්‍ය සාකච්චාවේ දී අතිෂයින් සංවේගයෙන් හා අතරමග නවත්වමින් අදහස් පලකල මෙක්ෂිකානු ජනාධිපතිවරියට සහය පිණිස කැනඩාව, කොලොම්බියා වද කියුබාව ට සහය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. පවතින තත්වයට මුහුණ දීම සඳහා කියුබානු රජය ද රට හදිසි හා විශේෂ කාල පරිච්ජේදයකට ලක් කරමින් පියවරයන් රාශියක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනපද ඉල්ලීම් නොතකා මෙක්සිකෝව කියුබාව සමඟ දිගටම “සහයෝගීතාවයෙන්” සිටින බව මෙක්ෂිකානු රාජ්‍ය නායිකාව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප්‍රකාශ කර සිටියාය. ඒ අනුව ඇය තම වචනය ඉටු කරමින් කියුබාව සඳහා කිරිපිටි, මස් නිෂ්පාදන, බෝංචි, සහල් සහ පුද්ගලික සනීපාරක්ෂක භාණ්ඩ අඩංගු මෙක්සිකානු නාවික හමුදා නැව් දෙකක් පිටත් කර යැවු අතර ඒවා දින හතරක් ඇතුළත කියුබානු වෙරළට පැමිණීමට නියමිත බව මෙක්සිකානු රජයේ බලධාරීන් ඉරිදා සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙක්ෂිකානු වාමාංශික ජනාධිපතිවරිය ගේ මෙම නිවේදනය නිකුත් වූයේ එක්සත් ජනපදයේ අනුමැතියකින් තොරව කියුබාවට තෙල් නැව්ගත කිරීම සඳහා මෙක්සිකෝව දිගටම සාකච්ඡා කරමින් සිටියදීය. ට්‍රම්ප් මෑතකදී කියුබාවට තෙල් නැව්ගත කරන ඕනෑම රටක් තීරුබදු වලට යටත් වන බවට නියම කරමින් විධායක නියෝගයකට අත්සන් තැබීය. මෙක්සිකෝව තවදුරටත් හවානා වෙත තෙල් නොයවන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණේ “කියුබාවට තවත් තෙල් හෝ මුදල් නොලැබෙනු ඇත” යයි ඔහුගේ Truth Social හි සඳහන් කරමිනි.

කෙසේවෙතත් මෙක්සිකෝව විසින් කියුබාවට මානුෂීය ආධාර යැවීමට ගන්නා ලද තීරණය “ඇමරිකානු ජනාධිපතිවරයාගේ සුපුරුදු බිය ගැන්වීමේ ක්‍රීඩාව අතිශයින්ම ප්‍රබල ලෙස අභියෝගයට ලක් කිරීමක් ලෙස කැනේඩියානු අර්බුද සහ මානුෂීය ක්‍රියාමාර්ග පිළිබඳ නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ François Audet කැනඩාවේ පලවන LE DEVOIR පුවත්පතට පවසා සිටි. ඒ අනුව මෙක්සිකෝව සඳහා, එය ඇමරිකානු තර්ජන හමුවේ තම ශක්තිය පෙන්වීමක් වන අතරම ජාත්‍යන්තර සහයෝගීතාවයේ වටිනාකම් තව දුරටත් තහවුරු වීමක් ලෙස ඔහු තවදුරටත් පවසා සිටි.

ජනවාරි මාසයේදී වෙනිසියුලානු ජනාධිපතිවරයා අල්ලා ගැනීමෙන් සහ කියුබාවට වෙනිසියුලානු තෙල් අපනයනය නතර කිරීමට බල කිරීමෙන්, ඇමරිකාව විසින් කියුබාවේ මානුෂීය අර්බුදය උග්‍ර කර ඇත. වෙනිසුවෙලානු තෙල් මත දැඩි ලෙස යැපෙන කියුබාව, 1962 සිට දැනටමත් එක්සත් ජනපද සම්බාධකයක මත ජිවත් වන අතර කොරෝනා වසංගතයේ සිට, කියුබානු ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික මුලාශ්‍රයක් වන විදේශීය සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම හවානා නගරයට ද දැඩි ලෙස බලපා ඇත. පසුගිය කාලයේ මුහුණ දීමට සිදු වූ මෙලීසා සුළි කුණාටු තත්වයෙන් පසුව දිගින් දිගටම විදුලිය කප්පාදු වීම් වලට කියුබාව මුහුණ දෙමින් සිටින අතර එය දඩ මීමා කරගෙන කියුබානු සමාජවාදී රජයේ “හුස්ම හිර කිරීමට” හා පෙරලා දැමීමට උත්සාහ කරන බවට ලෝක මානව අයිතිවාසිකම් සංවිධාන හා වාමාංශික පක්ෂ චෝදනා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, මොන්ට්‍රියෙල්හි ක්විබෙක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය François Audetට අනුව, “සීනි, කිරි සහ පාන් වැනි ඉතා මූලික අවශ්‍යතා” තම ජනගහනයට ලබා දීමට කියුබානු රජය මේ වන විට අරගල කරමින් සිටී. මෙම තත්වයන්ට මුහුණ දීම සඳහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ඉතා තදින් මතු වෙමින් තිබෙන බවටද ඔහු අවධාරණය කරයි.

මෙක්සිකෝව විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද මානුෂීය ආධාර කියුබානුවන්ට තවකාලිකව පෝෂණය කිරීමට උපකාරී වුවද, “එය ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතා අවශ්‍යතා තිරසාර ලෙස සපුරාලන්නේ නැත” යනුවෙන් ඔහු පවසයි. කොලොම්බියාව හෝ කැනඩාව වැනි අනෙකුත් රටවල් මෙන්ම වාමාංශික පක්ෂ හා දේශපාලන ව්‍යාපාර මෙක්සිකෝවෙන් ආභාෂය ලබාගෙන තෙල් හෝ ආහාර, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා මානුෂීය ආධාර වැඩි කිරීමට උත්සාහ කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බව දේශපාලන විශේෂඥයා අවසාන වශයෙන් සඳහන් කර සිටි.

කෙසේ වෙතත් ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා කියුබාව හදිසි පියවර රාශියක් අනුගමනය කරමින් රටේ වැඩ කරන කාලය දින හතරක් දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව කියුබානු රජය ජනවාරි 6 වැනි සිකුරාදා රාජ්‍ය ව්‍යවසායන්හි දින හතරක වැඩ සතියක්, ඉන්ධන අලෙවිය සීමා කිරීම,නිවසේ සිට වැඩ කිරීම, ඉන්ධන අලෙවිය සීමා කිරීම, සමහර සංචාරක ආයතන හා හෝටල් වසා දැමීම්, අත්‍යවශ්‍ය සේවා හා මූලික අවශ්‍යතා පමණක් පවත්වා ගෙන යාම සඳහා ඉන්ධන ප්‍රයෝජනයට ලබා ගැනීම, බස් සහ දුම්රිය සේවා අඩු කිරීම ඇතුළු පියවර සහිත පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. අධ්‍යාපනය කේෂ්ත්‍ර වල දී පාසල් දින කෙටි වන අතර, විශ්ව විද්‍යාල සඳහා ද ඔන් ලයින් ක්‍රම ක්‍රියාත්මක වේ.

මෙම පියවර මාලාවේ අරමුණ වන්නේ “ආහාර සහ විදුලි නිෂ්පාදනය” ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්ධන ඉතිරි කර ගැනීම සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු විදේශ මුදල් ජනනය කරන මූලික ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම” සඳහා ඉඩ සැලසීම බව කියුබානු රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටි.

කෙසේ වෙතත්, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයන් සඳහා චීන හා විදේශ ආයෝජන දිගටම පවත්වා ගෙන යන බවත්, කියුබාවේ තෙල් පරිභෝජනයෙන් 30% ක් නියෝජනය කරන දේශීය තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය ගවේෂණ වැඩි කිරීමට ද තීරණය කර ඇත. 2025 දී, රට පුරා ප්‍රකාශ වෝල්ටීයතා උද්‍යාන 49 ක් ස්ථාපනය කරන ලද අතර, සූර්ය බලශක්ති නිෂ්පාදනය වසර දෙකකට පෙර 3% සිට පැවති අතර එය දැනට 10% දක්වා වැඩි කරනු ලැබ ඇත්තේ චීන ආධාර යටතේ වේ. චීනය කියුබාවේ සිට ඇමරිකානු රජයේ දුර කථන සංවාද වලට සවන් දෙන බවට ද පසුගිය දා ට්‍රම්ප් චෝදනා කළේය.

පවතින තත්වය සම්බන්ධයෙන් රූපවාහිනී මාධ්‍ය හමුවකදී, ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් කියුබාවේ මිලියන 9.6 ක ජනතාව අමතමින් ප්‍රකාශ කලේ ඉදිරියේදී දුෂ්කර කාලයන් සඳහා සුදානම් වන ලෙසය. ඔහු මෙම “විශේෂ කාලපරිච්ඡේදය” 1989 දී සෝවියට් දේශය හා සමාජවාදී කඳවුර බිඳ වැටීමෙන් ඇති වූ පසු වසරවලදී ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හමුවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ විසින් නිකුත් කරන ලද නියෝග රජය “යොමුවක් ලෙස” ගෙන ඇති බව පෙන්වා දුන්නේය. මෙම කාලය තුලදී දිනකට පැය පහළොවක් පමණ විදුලිය ඇනහිටීම්, ආහාර හිඟය, කර්මාන්තශාලා වසා දැමීම් සහ පාළු වූ හෝ බයිසිකල් මගින් පමණක් ගමන් කරන ලද වීදි වලින් සලකුණු වූ බව විදේශ මාධ්‍ය මතක් කර සිටි.

1962 සිට ඇමරිකානු සම්බාධක යටතේ පැවති දිවයිනේ ආර්ථිකය, සංචාරක ව්‍යාපාරයේ සහ විදේශ ආයෝජනවල වර්ධනය හේතුවෙන් 1997 දී යලි යථා තත්ත්වයට පත් කර ගැනීමට සමත් විනි. පසුව 1999 දී සමාජවාදී වෙනිසුවේලාව සමග අත්සන් කරන ලද තෙල් ගිවිසුමෙන් තම බල ශක්ති අවශයතා සපුරා ගනු ලැබුවේ වෛද්‍යවරුන් හා ගුරුවරුන් ලබා දෙමිනි.

කියුබානු ජනාධිපති Miguel Diaz-Canel පසුගිය පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා නැවත තහවුරු කළේ තම රට වොෂින්ටනය සමඟ “සංවාදයට සූදානම්” නමුත් එය කිසිදු බලපෑමකින් තොරව” හා “පූර්ව කොන්දේසි නොමැතිව” සිදු විය යුතු බවයි. ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karoline Leavitt. ප්‍රකාශ කළේ කියුබානු රජය සමඟ “රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක්” ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් විසින්ද එය තහවුරු කලේ දැනටමත් සාකච්ඡා සිදුවෙමින් පවතිනව යන්න පිළිගන්නා බවයි.

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා නිවේදනය කළේ වොෂින්ටනය සමීපව හා සහයෝගයෙන් කටයුතු කරන කියුබානු කතෝලික පල්ලිය හරහා ඔක්තෝම්බර් මාසයේදී දිවයිනට බලපෑ මෙලිසා චණ්ඩ මාරුතයෙන් විපතට පත් වූවන් සඳහා අතිරේක ඩොලර් මිලියන 6 ක මානුෂීය ආධාර යවන බවයි. මෙලිසා චණ්ඩ මාරුතයෙන් විපතට පත් වූවන් සඳහා ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 3 ක මූලික ආධාර නැව්ගත කිරීම කියුබානු පාලනය විසින් “මානුෂික ආධාර දේශපාලන උපාමාරු” ලෙස යොදා ගැනීම තරයේ හෙළා දකින ලදී. කෙසේ වෙතත් කියුබාවට ස්වභාවික GNL ගෑස් යවන ජමයිකාවට ද ඇමරිකාව විසින් අනතුරු හඟවා තිබිණු බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියහ.

අවසාන වශයෙන් මාධ්‍ය අමතමින් කියුබානු ජනාධිපති Miguel Diaz-Canel ද තම රට බලශක්ති අර්බුධය විසඳීම සඳහා විකල්ප තෙල් සැපයුම් ප්‍රභවයන් සොයමින් සිටින බව පෙන්වා දුන්නේය.

“මෙම අසීරු අවස්ථාවේ අපි රජයක් ලෙස සිදු කරන සෑම දෙයක්ම අපට විවෘතව පැහැදිලි කළ නොහැක, නමුත් කියුබාව රටක් ලෙස තනිවී නොමැත.

කියුබාවට සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇති විදේශීය රජයන්, සමාගම්, සංවිධාන හෝ ආයතන හෙළි කිරීම ආරක්ෂක හේතුන් මත කියුබානු ජනාධිපති Miguel Diaz-Canelප්‍රතික්‍ෂේප කර සිටියේය.

මේ අතර අද පෙබරවාරි 10 දින සිට කියුබාවට පැමිණෙන ගුවන් යානා සඳහා භූමිතෙල් හා ඉන්ධන ලබා දීම මාසයකට නතර කරන බව එරට රජය දැනුම් දුන්නේය. ඒ අනුව දිවයිනට සේවය කරන ගුවන් සමාගම් ඉදිරි සති කිහිපය තුළ තම ගුවන් යානා ඇතුළු කිරීම හා පිටවීම සඳහා නව පියවර ගැනීමට සිදුවනු ඇත. ගුවන් වාර සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට, කියුබාවේ සිට ආපසු පැමිණෙන ගුවන් ගමන් සඳහා තාක්ෂණික නැවතුම් ක්‍රියාත්මක කිරීමට හෝ අමතර ඉන්ධන සංචිත සකස් කිරීමට ද ඔවුන්ට සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තා කර සිටි.

මේ අතර වොෂින්ටනයේ පීඩනය යටතේ වෙනිසියුලාව තෙල් සැපයුම් නැවැත්වීම නිසා ඇති වූ බලශක්ති අර්බුදය හේතුවෙන් මාසයක් ඉන්ධන හා භූමිතෙල් නොමැතිව සිටින බව කියුබාව අද දිනයේ නිවේදනය කිරීමෙන් පසු සඳුදා රුසියාව එක්සත් ජනපදයේ “හුස්ම හිර කරන ක්‍රම” තරයේ හෙළා දුටුවේය.

“කියුබාවේ තත්වය සැබවින්ම තීරණාත්මකයි,” යයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සිය දෛනික මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

“එක්සත් ජනපදයේ හුස්ම හිර කරන ක්‍රම එරටට සැලකිය යුතු දුෂ්කරතා හා ජනතාවට දැඩි පීඩා ඇති කරමින් සිටි,” යයි ඔහු කණගාටුවෙන් පැවසුවේ රුසියාව විසින් තම ආධාර සැපයීම සඳහා කියුබානු බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ට ද මාධ්‍ය හමුවේ හෙළි කරමිනි.

කියුබාවේ මෙම අර්බුදය සම්බන්ධයෙන් ප්‍රංශයේ ලතින් ඇමරිකානු සහ කැරිබියන් නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ Jean-Jacques Kourliandsky, අවධාරණය කරන්නේ මෙවැනි අත්තනෝමතික ක්‍රියාදාමයන් ඔස්සේ කියුබානු පාලනය පෙරලා දැමීමට උත්සහ කිරීම ඇමරිකාවට සිහිනයක් පමණක් වනු ඇති බවයි.

“කියුබානු සමාජවාදී රජය යනු දැවැන්ත පොලිස් බලකායක් සහ සන්නද්ධ හමුදාවක් මත ගොඩ නැගුනු දීර්ඝ කාලයක් අල්ලාගෙන සිටිය හැකි ශක්තිමත් ජාතික රාජ්‍යයක්. එය පැය 24න් පෙරලා දැමිය හැකි රාජ්‍ය තන්ත්‍ර පාලනයක් නෙමේ. නමුත් මෙම අර්බුදය සමහර කියුබානුවන් පිරිසක් රටින් ස්වයං පිටුවහල් කිරීමට තල්ලු විය හැකියි. මෑත වසරවලදී අපි මෙය දුටුවෙමු, දස දහස් ගණනක් හෝ ඊට වැඩි කියුබානුවන් ප්‍රමාණයක් එක්සත් ජනපදයට සහ අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට පලා ගියා” යයි ප්‍රංශ ලතින් ඇමරිකානු සහ කැරිබියන් නිරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂ තව දුරටත් අවධාරණය කර සිටියේය.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here