තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ පාකිස්තාන ජාතිකයෙකුට වරෙන්තු

0
2

2024 LPL ක්‍රිකට් තරගාවලියේ දී තරග පාවාදීමේ ක්‍රියාවලියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකකෙරෙන කණ්ඩායමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කළේය.

මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත්තේ දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ කණ්ඩායම් කළමණාකරු වශයෙන් කටයුතු කළ මුජීද් උර් රෙහෙමාන් නම් පාකිස්තාන ජාතිකයෙක්ටය.

ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදන ලෙස අධිකරණය විසින් මීට පෙර එම පාකිස්තාන ජාතිකයාට නොතීසි නිකුත් කර තිබුණි.

එහෙත් ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී නොසිටි බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය අධිකරණයට දැනුම්දුන්නේ මෙම සැකකරු අදාළ කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහ්මාන් නැමැත්තාගේ දැනුවත්කම මත තරග පාවාදීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළ අතර, විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 05 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here