තම දියණියන් ඉපදීමටත් පෙර ඔවුන්ගේ ඉරණම ලියූ මිනිසා

0
2


මේ කතාව ආරම්භ වෙන්නෙ 1980 අවුරුද්දෙන්. රිචර්ඩ් විලියම්ස් උන්නෙ ටෙලිවිශන් එක බලන ගමන්. එහෙම බල බල ඉද්දි තමයි එයා දකින්නෙ ටෙනිස් ක්‍රීඩා තරඟයක් දිනපු රුමේනියානි ක්‍රීඩකයෙක්ට ඩොලර් 40,000 ක චෙක්පතක් ලැබෙනවා. අන්න ඒ සිදුවීම රිචඩ්ගෙ මුලු ජීවිතේම වෙනස් කරනවා.මොකද ඒ මුදල එයා ඒ වෙද්දි අවුරුද්දකට හම්බ කරපු ගාණටත් වඩා ගොඩක් වැඩි හන්දා.

එයා පටන් ගන්නවා අනාගතේ ලියන්නෙ. හැබැයි එයාගෙ අනාහතේ නෙවෙයි. එයාගෙ තාම ඉපදිලාවත් නැති දරුවො දෙන්නාගෙ අනාගතේ. ටීවී එක ඕෆ් කරලා පෑනකුයි කොලේකුයි අතර අරගන්න රිචර්ඩ් පිටු 78ක සැලැස්මක් ලියනවා.

එයාගෙ ඒ සැලැස්මට අනුව එයාගෙ ඉලක්කය වෙන්නෙ එයාගෙ ඉපදෙන්න ඉන්න දුවලා දෙන්න අනාගත ටෙනිස් ලෝකෙ ජයගන්න දරුවො දෙන්නෙක් කරන එක.

හැබැයි ඒ වෙද්දිත් රිචර්ඩ් දැනගෙන උන්නෙ නෑ ටෙනිස් කියන්නෙ මොන වගේ ක්‍රීඩාවක්ද කියන එක ගැනවත්. රිචර්ඩ් ඒ වෙද්දි ජීවත් වුනේ රටේ නරකම පැතිවලින් එකක් වෙච්ච කැලිෆෝනියාවේ කොම්ප්ටන් වල. ඒ වගේම එයාට සල්ලි තිබ්බෙත් නෑ.

තමන්ගෙ සැලැස්ම අනුව රිචර්ඩ් ටෙනිස් ක්‍රීඩාව ගැන සෑහෙන කාලයක් පුරාවටම ඉගෙන ගන්නවා. පත්තර වලින්, වීඩියෝස් බලන ගමන් එයා ටෙනිස් වල හැමදේම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම ඔස්සේ තමයි එයා සෙරීනා සහ වීනස්ගෙ ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන්න පටන් ගන්නෙ.

දරුවො දෙන්නව ටෙනිස් ක්‍රීඩාවේ දක්ශයො කරන්න රිචර් ඒ රටේ ක්‍රීඩා සමාජ ශාලා වලින් පාවිච්චිකරල අයින් කරන ටෙනිස් බෝල එක්කහු කරනවා. ඒව එක්කහු කරගෙන ගිහිල්ලා එයා පොදු ක්‍රීඩාංගන වලදි දරුවො දෙන්නා එක්ක ටෙනිස් සෙල්ලම් කරන්න පටන් ගන්නවා.ඒ කාලෙ වෙද්දි ඒ රටේ පැවතිච්ච සුදු කලු ප්‍රශ්නෙ නිසා රිචර්ඩ්ට මේ වගේ අවස්තාවල ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ද වෙලත් තියෙනවා. වතාවක් එහෙම සෙල්ලම් කර කර ඉද්දි පිට්ටනියෙන් එලියට යන්න කිව්ව එක රිචර්ඩ් අහපු නැති හින්දා මිනිස්සු කීපදෙනෙක් එකතුවෙලා එයාට පහර දීලත් තියෙනවා. ඒ පහරකෑම හන්දා රිචර්ඩ්ගෙ දත් කීපයක් කැඩිලා ගිහිල්ලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි නාහෙ, හකු වලටත් ලොකුවටම තුවාල වෙලා තියෙනවා.

හැබැයි රිචර්ඩ් ඒ කිසිම දේකින් සැලෙන්නෙ නෑ. එයා මොකද කරන්නෙ, එදා ගෙදර ගිහින් තමන්ගෙ ඩයරි එකේ ලියනවා මෙන්න මෙහෙම “දත් නැති මිනිසා ධෛර්යයේ ස්මාරකයක් ලෙස ඉතිහාසය සිහිපත් කරනු ඇත,” කියලා.

වතාවක් ඕනම සමාජෙක අයට සහභාගි වෙන්න පුලුවන්කම තිබුණ ටෙනිස් තරගයකදි එතන උන්නු සුදු මිනිස්සු කලු මිනිස්සුන්ව පල්ලෙහට දාලා සලකනවා. ඒ වතාවෙ වීනස් සහ සෙරීනා තමන්ගෙ තාත්තාගෙන් අහනව “ඇයි මේ මිනිස්සු අපේ අයට ඒ විදියට සලකන්නෙ?” කියලා. ඒකට රිචර්ඩ් හරිම ලස්සන උත්තරයක් තමයි තමන්ගෙ දුවලා දෙන්නට දෙන්නෙ.

“මොකද එයාලා අපි වගේ ලස්සන මිනිස්සු දකින්න පුරුදු වෙලා නැහැ,” කියන කතාව හරිම තදට තමන්ගෙ හිත්වල ලියාගන්න සෙරීනා සහ වීනස් කටයුතු කරනවා.

සෑහෙන කැපකිරීම්, මහන්සිවීම් වගේම අපහාස උපහාස තර්ජන මහ ගොඩකට පස්සෙ එනවා හරිම ලස්සන දවසක්.ඒ 2000 අවුරුද්දෙ විම්බල්ඩ්න් වල.ඉතාම උස, ශක්තිමත් ඇඟක් තියෙන කලු ජාතික කාන්තාවක් තමන්ගෙ තාත්තා එක්ක ටෙනිස් පිටියට එනවා.

ඒ තරගෙදි තමයි වීනස් විලියම්ස් තමන්ගෙ පලවෙනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගන්නෙ. රිචර්ඩ් විලියම්ස් ඒ දිනුම දිහා බලාගෙන ඉන්නෙ කඳුලු පුරවගත්ත ඇස්වලින්.සතුටටම එයා ක්‍රීඩා පිටිය පුරා නටනවා. අන්තිමේ දිනලා තියෙන්නෙ කෙල්ලෙක් නෙවෙයි මුලුමහත් ජාතියක්.

ඒ වගේ ජයග්‍රහන ගොඩකට පස්සෙ තමයි සෙරීනා විලියම්ස් ටෙනිස් සෙල්ලම් කරන්න එන්නෙ.ඒ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවන් 23ක් එක්ක ටෙනිස් ක්‍රීඩාවේ ඉතිහාසය වෙනස් කරන්න පුලුවන් විදියෙ හැකියාවක් තමන්ගෙ අත උඩ තියාගෙන.

මේ හැම ජයග්‍රහනයක්ම මහ ඉහලින් සැමරුවත් ඒ ජයග්‍රහන වලට එන්න පාර කැපුව රිචර්ඩ් වගේම ඒ අපහසු පාරෙ බය නැතුව ඉස්සරහට ආව සෙරීනා සහ වීනස් දැනගෙන උන්නා ඒක ලේසි ගමනක් උනේ නෑ කියල. ඒ ගමන පුරාවටම සමච්චල් කිරීම්, ජාතිවාදී අපහාස සහ කුරිරු සැසඳීම් හැම දෙයක්ම මේ තුන්දෙනා හරිම මැදහත් සිතින් හරිම හයියට දරාගෙන තියෙනවා.

ඒ “හොඳම උත්තරේ වෙන්නෙ දිනලා පෙන්නන එක” කියලා එයාලගෙ තාත්තා කිව්ව කතාව හැමතිස්සෙම හිතේ තියාගෙන.

“යම් දවසක අපි විම්බල්ඩන් ජයග්‍රහණය කරනවා, ඒ අපි නිසා නෙවෙයි.

“එය එක්සත් ජනපදයේ දුප්පතුන් සහ අසරණයන් සඳහා වනු ඇත.” කියලා රිචඩ් විලියම්ස් කියනවා. අද වෙද්දි මේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සු ඒ කතාව පිළිගන්නවා වගේම ඒක කරන්න පුලුවන් දෙයක් කියන එකත් පිළිගන්නවා.

ඉතින් ඒ විදියට තමයි තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවො දෙන්න වෙනුවෙන් ලෝකය වගේම ටෙනිස් ක්‍රීඩාවෙ ඉතිහාසය වෙනස් කරන්නෙ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here