තත්ත්වය බරපතළයි! පැලවත්තේ කාමර 4ක හදිසියේම රහස් මෙහෙයුමක් පටන් ගනී! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

0
2


ඡන්දෙ ගැන අපි කියපු අනාවැකිය හරියටම හරි ගියා!

සජබ ඇතුළෙ ඉන්න කුමන්ත්‍රණකාරයෝ!

ට්‍රම්ප් තවත් බාල්දියක් පෙරළන්න ලෑස්ති වෙයි!

.
රාජ්‍ය රහස් අනාවැකිය

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින 2ක් තබා වෙළෙඳපොළට අප නිකුත් කළ ‘මව්රට’ පුවත්පතේ මුල් පුවතින් සහ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කර සිටියේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද අතිශය තීරණාත්මක වන ගල උඩ සටනක් බවට පත්ව ඇතැයි කියාය. මෙහිදී පැහැදිලිවම අප කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් බහුතරය ලබාගැනීමේ බරපතළ ගැටලුවකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවකි. ඊට අදාළ හේතුද එකින් එක පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශ්ලේෂණය කර පෙන්වීමට අපි කටයුතු කළෙමු.Sri Lanka Latest News

‘මේ දිනවල සියල්ලන්ම බලා සිටින්නේ මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය දෙසය. ඉතිහාසයේ කෙදිනකවත් නොමැති ආකාරයට මෙවර පළාත් පාලන මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ එහි ප්‍රතිඵලය මුල්කරගෙන ඉදිරියේදී දේශපාලන පෙරළි රැසක් සිදුවීමට නියමිතව තිබීම නිසාය. මෙතෙක් පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ පවතින ආණ්ඩුවම පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමය. මෙය පළමු වරට වෙනස් වූයේ 2018 පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදීය. 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව වසර තුනක් ඇතුළත ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබීම නිසාත්, නව පක්ෂයක් ලෙස පොහොට්ටුව ජනතාව අතරට යෑම නිසාත් ඉතිහාසයේ පළමු වරට පැවැති ආණ්ඩුවක් පරාජය කොට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට එදා පොහොට්ටුවට හැකි විය. නමුත් එය සිදුවූයේ යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර 03ක් ඉක්ම යෑමෙන් අනතුරුවය.
නමුත් මෙවර මාලිමා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ දැවැන්ත දේශපාලන ජයග්‍රහණ දෙකක් ලබා මාස 07ක් ඉක්ම යෑමට පෙරය. එවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ පළාත් පාලන ආයතන සියල්ලක්ම පාහේ හෝදාගෙන යන තරමේ ජයග්‍රහණයක් ලැබීමට පාලක පක්ෂයට හැකිවීමය. නමුත් ගෙවුණු මාස 7 තුළ මතුව ඇති දේශපාලන, ආර්ථික, සමාජ වටපිටාව හේතුවෙන් වත්මන් මාලිමා ආණ්ඩුවට එවැනි හෝදාගෙන යන ආකාරයේ ජයග්‍රහණයක් ලැබීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් විවිධ තර්ක ඉදිරිපත් වන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එහිදී බොහෝ දෙනා තර්කයක් ලෙස ඉදිරිපත් කරන්නේ මතුව ඇති තත්ත්වය යටතේ මෙවර පළාත් පාලන ආයතන 341න් හෝදාගෙන යන තත්ත්වයක් කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 150ක් වැනි ප්‍රමාණයක් තනිව බලය පිහිටුවීමට මාලිමාවට හැකිවනු ඇතැයි කියාය. තවත් සමහරුන් කියන්නේ එම ප්‍රමාණය 125කට පමණ සීමා වනු ඇති බවකි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ඉතිරි පළාත් පාලන ආයතන අතිබහුතරයෙන් ප්‍රධාන විපක්ෂය වන සජබය යම් ප්‍රමාණයක බලය තනිවම තහවුරු කරගෙන ඇති බවත්, බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය විපක්ෂය ඒකාබද්ධව තහවුරු කරගනු ඇති බවත්ය.

එහෙම වෙන්නේ ඇයි?

මෙවැනි තර්කයක් මතුකිරීමට බලපා ඇති හේතුසාධක රැසක්ම මේ වනවිට දැකගන්නට තිබේ. ඉන් එකක් වන්නේ පසුගිය ජාතික මැතිවරණ දෙකට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ එතරම් උනන්දුවක් දැකගන්නට නොලැබීමය. පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් විශේෂයෙන් රාජ්‍ය සේවකයෝ දැඩි උනන්දුවකින් යුතුව මාලිමාවට ඡන්දය භාවිත කිරීමට පෙළගැසී සිටියහ. තරුණ මහලූ භේදයකින් තොරව රාජ්‍ය සේවකයෝ මාලිමාව වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූහ. නමුත් මෙවර එවැන්නක් කිසිසේත්ම දැකගන්නට නැත. නිල වාර්තාවලට අනුවද සඳහන් වන්නේ රාජ්‍ය සේවකයන් 50%ක් හෝ මෙවර ඡන්දය භාවිත කිරීමට ඉල්ලුම් කොට නොමැති බවකි.

දෙවැන්න ඡන්දදායකයන් බොහෝ දෙනකුම ප්‍රසිද්ධියේ කියා සිටින්නේ තමන් මෙවර කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටිනවා යැයි කියාය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය ඉතා තීරණාත්මක විය හැකි බව බොහෝ දෙනා තර්ක කරන්නේ මේ මත පිහිටාය. අනෙක් අතට මෙරට විදෙස් තානාපති කාර්යාලද මෙවර මැතිවරණ ප්‍රතිඵලය දෙස ඉතා සැලකිල්ලෙන් යුතුව බලා සිටින බව නොරහසකි. ඔවුන්ද මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු යම් යම් තීන්දු තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටීම ඊට හේතුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිටින්නේ ඉන් ඉහළම තැනකය.’

2025.05.04 ‘රාජ්‍ය රහස්’

ජනමත විචාරණයක්?

අප කළ මෙම අනාවරණය අතිශය නිවැරැදි වූවා සේම මැතිවරණයට දෙදිනක් තබා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලද රූපවාහිනී මාධ්‍ය ඉදිරියට පැමිණ ඒ සම්බන්ධයෙන් අනාවැකියක් පළ කළේය. එහිදී ගම්මන්පිල කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ජනාධිපතිවරණටයත්, මහ මැතිවරණයටත් වඩා විශාල අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා බවත්, බහුතරයක් ආයතනවල තනිව බලය පිහිටුවීමට මාලිමාවට හැකියාව නැති වනු ඇති බවත්ය. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසුගිය බදාදා වන විටම අප කළ අනාවැකිය පමණක් නොව, ගම්මන්පිලගේ ඒ අනාවැකියද 100%ක්ම තහවුරු වූ ආකාරයක් දැකගත හැකි විය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මාලිමාව තරග පිටියට බැස්සේම තුනෙන් දෙකක අතිබහුතර ආණ්ඩු බලයක් අතේ තබාගෙනය. ජනාධිපතිවරයාද සිටියේ මාලිමාවෙන් පත්වය. මාස 06ක් ඇතුළත පැවැත්වෙන මැතිවරණයක් නිසා බොහෝ දෙනා සිතා සිටියේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර කියා සිටියාක් මෙන් ලොවෙත් නැති ජයග්‍රහණයක් මෙවරත් වාර්තා කරනු ඇතැයි කියාය. විශේෂයෙන්ම ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතාත්, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියත් අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ කියා තිබුණේ මෙවර 70% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතක් ලබා ගන්නා බවකි.

අනෙක් අතට ආණ්ඩුව බලයට පත්ව මාස 06ක් ඉක්ම ගිය තැන පැවැත්වෙන මැතිවරණයක් නිසා මෙය එක්තරා ආකාරයකට ආණ්ඩුව සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයක් හා සමාන විය. අවසන් ප්‍රතිඵලයට අනුව මාස 06ක් ඇතුළත ලක්ෂ 23කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මාලිමාවෙන් ගිලිහී යෑම හරහා මෙය එක්තරා ආකාරයකට ජනතාව විසින් ආණ්ඩුවට දැල්වූ රතු එළියක් බව බොහෝ දෙනාගේ මතයය. එමෙන්ම ආණ්ඩුවේ බරපතළ කඩාවැටීමක් ලෙසද බොහෝ දෙනා මෙය විශ්ලේෂණය කොට තිබිණි.

කෙසේවෙතත් මෙම මැතිවරණය සඳහා මාලිමාව අවසන් සති තුන පමණ වනවිට විශාල ශක්තියක් යොදා තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම මුල් වටයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපතිවරයා සහභාගි කර නොගන්නා තීන්දුවක මාලිමාව සිටියත්, රට තුළ මතුවෙමින් පැවැති තත්ත්වය පිළිබඳ විවිධ තොරතුරු පැලවත්තට වාර්තා වීම නිසා ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් තීන්දු කොට තිබුණේ වහාම ජනාධිපතිවරයා එළියට ගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු ඔහුට භාරදීමටය. අප මේ බව අවස්ථා කීපයකදීම ඉකුත් ‘රාජ්‍ය රහස්’ තීරයන්හිදී වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රිය තෙක් පැලවත්තේ දීර්ඝ සාකච්ඡා පැවැත්වුණු බවත්, ඇතැම් සාකච්ඡා ඉතා උණුසුම් වූ බවත්ය.

කාමර හතරේ මෙහෙයුම

මෙම සාකච්ඡාවලදී බොහෝ දෙනකු පෙන්වා දුන් ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ මෙවර සමාජ මාධ්‍ය තුළ මාලිමාවට එරෙහිව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්ව ඇති බවය. ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිරායාසයෙන්ම මාලිමාවට විශාල ශක්තියක් ලබාදුන්නද මාස 05ක් ඇතුළත එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී මාලිමාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වෙමින් පවතින බව බොහෝ දෙනා එහිදී ජවිපෙ ප්‍රධානීන්ට පෙන්වා දුන්හ. ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ජවිපෙ ප්‍රධානීන් තීන්දු කළේ වහාම ඊට ප්‍රතිචාර දැක්වීමටය. එහි ප්‍රතිඵලය වූයේ පසුගිය මැතිවරණයන්හිදී බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ විසින් කළ ආකාරයේ දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට ජවිපෙ තීන්දු කිරීමය. ඒ අනුව පැලවත්ත පක්ෂ කාර්යාලයේ කාමර 04ක් ඒ සඳහා වෙන්කොට වහාම පරිගණක ඇතුළු අවශ්‍ය උපකරණ ගෙන්වා විශේෂ මැදිරියක් සකස් කිරීමට ජවිපෙ ප්‍රධානීහු පියවර ගත්හ. එම මෙහෙයුම දියත් කිරීම සඳහා සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඇති විශ්වවිද්‍යාල සිසුන් 120 දෙනකු කැඳවා ඔවුන්ට සමාජ ජාල ප්‍රචාරක ව්‍යාපාරය භාරදීමට ජවිපෙ කටයුතු කළේය. ඒ අනුව ඔවුන්ගේ රාජකාරිය වී තිබුණේ ආණ්ඩුවට එරෙහිව සමාජ මාධ්‍යයේ පළවන සෑම පෝස්ටුවකටම, කමෙන්ට් එකකටම ප්‍රතිචාර දක්වමින් විපක්ෂය පාගා දැමීමත්, ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමත්ය. එමෙන්ම මේ දිනවල සමාජ මාධ්‍යයේ විශාල ජනප්‍රියත්වයක් හිමකරගෙන ඇති ජවිපෙ ප්‍රධානීන් පසුගිය කාලයේ කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමද ඔවුන්ට භාරදීමට ජවිපෙ පියවර ගත්තේය. මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කොට දැවැන්ත මඩ ප්‍රහාරයක් දියත් කිරීමේ වගකීමද ඔවුන්ට බාර විය.

මේ සියල්ලට අමතරව ජවිපෙ සතිපතා තවත් විශේෂ කටයුත්තක්ද ගම් මට්ටමේ සිටින සිය නියෝජිතයන් ලවා සිදුකරගත්තේය. ඒ, ගමේ ඡන්දය වැටෙන ආකාරය පිළිබඳ සතිපතා මත විමසුමක් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගැනීමය. මෙහිදී පළමු වරට ගමේ ප්‍රබල ජවිපෙ සාමාජිකයන් විසින් එවනු ලැබූ මත විමසුම් ප්‍රතිඵලයෙන් ජවිපෙ ප්‍රධානීන්ගේ ඇස් උඩගොස් තිබිණි. ඒ, පළමු වාර්තාවෙන්ම ගමේ මේ වනවිට ජවිපෙ බලය 46% දක්වා පහත වැටී ඇති බව වාර්තා කොට තිබීම නිසාය. සිය ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ජවිපෙ ජනධිපතිවරයා ඊට එක්කර ගැනීම ඇතුළු තවත් දැඩි තීන්දු තීරණ කීපයක්ම ගත්තේ ගමෙන් මෙම ප්‍රතිඵලය පැලවත්ත කාර්යාලයට වාර්තා කිරීමත් සමගය. ඒ අනුව දිගටම මත විමසුම් සිදුකරන අතරවාරයේ මෙම ප්‍රතිඵලය 50% දක්වා ඉහළ නංවා ගැනීම ජවිපෙ ප්‍රධාන මෙහෙයුම බවට පත්ව තිබිණි. නමුත් සති 3ක් ඉක්ම යෑමෙන් අනතුරුවත් ජවිපෙ ගම් මට්ටමේ සාමාජිකයන් වාර්තා කොට තිබුණේ මෙම ප්‍රතිශතය තවමත් 46% මට්ටමේම පවතින බවත්, ඡන්ද ප්‍රතිශතයේ වර්ධනය වීමක් දක්නට නොමැති බවත්ය.

දේශපාලන දළදා ප්‍රදර්ශනය

ඒ අනුව ජවිපෙ ප්‍රධානීන් තීන්දු කළේ මැතිවරණයට සති දෙකකට පෙර පැවැත්වීමට නියමිතව තිබූ දළදා ප්‍රදර්ශනය හරහා මෙම 46% ඡන්ද ප්‍රතිශතය 50% දක්වා ඉහළ නංවා ගැනීමටය. ඒ අනුව ගම් මට්ටමෙන් බස් දමා වැඩිහිටියන් දළදා ප්‍රදර්ශනයට රැගෙන ඒම දක්වා සලසුම් රැසක් ජවිපෙන් සකස් කරනු ලැබිණි. මේ බව විපක්ෂයටද වාර්තා වී නොතිබුණා නොවේ. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ දළදා ප්‍රදර්ශනය දේශපාලන ප්‍රදර්ශනයක් බවට පත් කර නොගන්නා ලෙසය.
නමුත් දළදා ප්‍රදර්ශනයෙන් පසුව ගම් මට්ටමෙන් පැවැත්වූ මත විමසුමෙන් පවා ජවිපෙ පාක්ෂිකයන් පැලවත්තට වාර්තා කොට තිබුණේ දළදා ප්‍රදර්ශනය හරහාද ජවිපෙ ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ නැංවී නොමැති බවත්, එය 47% දක්වා පමණක් ඉහළ නැංවී ඇති බවත්ය. විශේෂයෙන්ම දළදා ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී දැකගන්නට ලැබුණු බරපතළ දුර්වලතාවන් හේතුවෙන් ගම් මට්ටමේ ඡන්ද ප්‍රතිශතය තව තවත් කඩාවැටෙන ආකාරය පමණක් එහිදී දැකගත හැකි විය.

මේ පසුබිම යටතේ තවත් විශේෂ රහසක් හෙළිදරව් කිරීමටද මෙවර අප සූදානම්ය. ඒ, දළදා දැක්ම තවත් දින කීපයක් දීර්ඝ කරගැනීමට පැවැති උත්සාහයක්ය. ඒ සම්බන්ධ යෝජනාව වගකිව යුතු පාර්ශ්වයන්ට ඉදිරිපත් වුවත්, ඒ වනවිටත් නුවර මතුව තිබූ බරපතළ තත්ත්වය මුල්කොට ගෙන තවත් පැයක් හෝ දළදා දැක්ම දීර්ඝ කිරීමට නොහැකි බව දැනුම් දෙමින් මෙම යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට වගකිවයුත්තන් පියවර ගෙන තිබිණ. ඒ අනුව, අවසන් මොහොතේ දළදා ප්‍රදර්ශනය හරහා මැතිවරණ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට දැරූ අවසන් උත්සාහයද ව්‍යර්ථ වූ ආකාරයක් දැකගත හැකි විය.

එතැන් සිට මාලිමාවේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සැලැස්මක් නොමැතිව අයාලේ ගිය ආකාරයක් බොහෝ දුරට දැකගන්නට ලැබිණි. දළදා දැක්ම හරහා වසර ගණනාවක් පුරා රාජපක්ෂවරුන් සිය මල්ලේ දමාගෙන සිටි සිංහල බෞද්ධ බලවේගය තමන්ගේ ඡන්ද ගොඩට එක්කර ගැනීම ජවිපෙ සැලැස්ම වී තිබුණත්, දළදා ප්‍රදර්ශනය හරහා එය සාර්ථක කරගැනීමට නොහැකි වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකරන්නේ ජනාධිපතිතුමා ඡන්දයට දින 3ක් තබා වියට්නාම් සංචාරයක නිරත වූයේද මේ සිංහල බෞද්ධ බලවේගය තමන් යටතට ගැනීමේ අරමුණින් යැයි කියාය. මන්ද යත් ජනාධිපතිවරයා වියට්නාමයට ගියේ ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීම සඳහාය. වියට්නාමයේ සිටියදී ජනාධිපතිවරයා ලොව ප්‍රකට බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමටද ගිය අතර, ඒවායේ ඡායාරූපද මෙරට මාධ්‍යවල පළවිය. ඒ, මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කොට තිබූ නිහඬ කාලසීමාවේ දේශපාලන පක්ෂ නායකයන්ගේ ඡායාරූප ප්‍රචාරය කිරීම තහනම් බවට මැතිවරණ කොමිසම විසින් පවා නිර්දේශ නිකුත් කොට තිබියදීය.

ජෙට් එක කාගෙද?

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වියට්නාම් සංචාරයේදී ආන්දෝලනාත්මකම සිද්ධියක් බවට පත්වූයේ ජනාධිපතිවරයා යළි ලංකාවට පැමිණි ආකාරයය. වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා වියට්නාමය බලා පිටත්ව ගියද, ජනාධිපතිවරයා යළි ලංකාවට පැමිණියේ පෞද්ගලික ජෙට් යානයකිනි. එය ‘එම්බි්‍රයර් ලෙගසි 600’ යනුවෙන් හැඳින්වෙන අතිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයකි. මගීන් 13 දෙනකුට පමණක් ගමන්ගත හැකි මෙම ජෙට් යානයේ නැගි ජනාධිපතිවරයා ලංකාවට පැමිණ කෙළින්ම ගියේ සිය ඡන්දය භාවිත කිරීම සඳහාය. ඊට අදාළ ඡායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් මාධ්‍යයට නිකුත් කළද, අදාළ ජෙට් යානය සම්බන්ධයෙන් කිසිවකුත් ප්‍රශ්න කළ ආකාරයක් දැකගන්නට නොලැබිණි.
නමුත් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අවස්ථාවේදී පළමුවෙන්ම ඒ ගැන ප්‍රශ්න කළේ සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය. හර්ෂණ එහිදී ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණි මෙම පෞද්ගලික ජෙට් යානය සඳහා වියදම් දැරුවේ කවුද, එය ලබාදුන්නේ කවුරුන් විසින්ද, වියට්නාම් රජය විසින් ලබාදුන්නාද, එසේත් නැත්නම් යම් සමාගමකින් ලබාදුන්නාද යන්න කියාය. මෙහිදී වහාම පිළිතුරු දීමට නැගී සිටි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ වියට්නාම් බෞද්ධ සංගමය මගින් එය ලබාදුන්නා යැයි කියාය. නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ හර්ෂණ වහාම කියා සිටියේ රජය මුලින් නිවේදනය කර තිබුණේ අදාළ මුදල් වියට්නාම් රජය මගින් ලබාදුන්නා යැයි කියාය. නමුත් විජිත හේරත් අදාළ මුදල වියට්නාම් බෞද්ධ සංගමය විසින් ලබාදුන් බව ප්‍රකාශ කිරීමෙන් යම් පරස්පරයක් තිබෙන බව හර්ෂණ කියා සිටියේය. එහිදී විජිත නැවතත් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ වියට්නාම් සංචාරයේදී උත්සව දෙකකට ජනාධිපතිවරයා සම්බන්ධ වූ බවත්, එම උත්සව දෙක කණ්ඩායම් දෙකක් විසින් සංවිධාන කර තිබූ බවත්ය.

ජනපති ලොකුවට සජිත් පොඩියට

කෙසේ වෙතත් පැලවත්තෙන් ගත් තීන්දු තීරණවලට අනුව ජනාධිපතිවරයා අවසන් සති කීපයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සියතට ගනිමින් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙන් ආසනයෙන් ආසනයට යමින් දැවැන්ත ප්‍රචාරක රැලි ඇමතීය. ඒ සඳහා අවශ්‍ය මුදල් වියදම් කිරීමට ජවිපෙට හැකියාවක්ද තිබිණි. මැයි දිනයේදී මුළු රටෙන්ම ජනතාව කොළඹට ගෙනැවිත් දැවැන්ත මුදලක් වියදම් කොට ගෝල්ෆේස් පිටියේ විශාල පාක්ෂික සහභාගිත්වයකින් යුත් මැයි රැලියක් පැවැත්වීමටද ජවිපෙ කටයුතු කළේය.

නමුත් විපක්ෂයට ඒ ආකාරයේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට හැකියාවක් සහ මූල්‍ය ශක්තියක් තිබුණේ නැත. විශේෂයෙන්ම ජාතික මැතිවරණ දෙකකදී පරාජයට පත්ව තිබීම හේතුවෙන් සජබය මාලිමාව මෙන් දැවැන්ත ප්‍රචාරක රැලි නොපවත්වා ගමින් ගමට, ආසනයෙන් ආසනයට යමින් කුඩා ජනහමු පැවැත්වීමට කටයුතු කළේය. සජබ නායක සජිත් අවසන් සති කීපයේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කුඩා ජනහමු පවත්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී සජිත් නිල බලයෙන් ඔහුට හිමිව ඇති නිල රථය ඇතුළු රාජ්‍ය දේපළ කිසිවක් අවභාවිත කිරීමට කටයුතු නොකළේය. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ දිනයේදීම සජිත් කළේ සිය නිල රථය පාර්ලිමේන්තුවට භාරදීමය. ඉන් අනතුරුව තම හිතවතෙකුගෙන් ලබාගත් පෞද්ගලික වාහනයකින් ආසනයෙන් ආසනයට යමින් සජිත් කුඩා ජනහමු 109ක් පැවැත්වීමට පියවර ගත්තේය.

සජිත් තරම් නොකළත් නාමල්ද පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් දිස්ත්‍රික් මට්ටමේ ජනහමු කීපයකටම සහභාගි විය. දිස්ත්‍රික් කීපයක පළාත් පාලන ආයතන සඳහා තරග කළද, එජාප නායක රනිල් නම් කිසිදු ජන හමුවකට සහභාගි වූ ආකාරයක් දැකගන්නට නොලැබිණි. ඒ වෙනුවට රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග කොළඹ සිට සාකච්ඡා කරමින් උපදෙස් ලබාදුන් ආකාරයක් දැකගන්නට හැකි විය.

ඒ අනුව එළියට නොපෙනුණත් මෙවර පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන්ම අනුර සහ සජිත් අතර සටනක් බවට පෙරළී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී අනුර මාධ්‍ය ශක්තියද සමග දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරද්දී සජිත් මාධ්‍ය සහාය හෝ නොමැතිව සුළු පරිමාණයෙන් රට වටේ ගමන් කරනු දැකගත හැකි විය.

උතුර මාලිමාවෙන් ගැලවෙයි

මෙහිදී ජවිපෙ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී උතුරට විශාල බරක් තබා කටයුතු කළ ආකාරයක්ද දැකගත හැකි විය. ජවිපෙ එසේ කළේ පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මහ මැතිවරණයේදී උතුරෙන් අතිවිශාල ජයග්‍රහණයක් දමිළ ජනතාව මාලිමාවට ලබාදී තිබීම නිසාත්, එය මෙවරත් උතුරෙන් ඒ අයුරින්ම ලබාගැනීමට මාලිමාවට තිබූ අවශ්‍යතාව නිසාත්ය. මේ නිසාම ජවිපෙ උතුරට විශේෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති දෙකක් වෙන වෙනම දියත් කිරීමට පියවර ගත්තේය. එහිදී උතුර වෙනුවෙන්ම නිල ගීතයක් එළිදැක්වීමට ජවිපෙ කටයුතු කොට තිබිණි. එම ගීතයෙන් කියැවුණේ ජවිපෙ උතුර සංවර්ධනය කිරීමට කටයුතු කරන ආකාරයය. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම ගීතයට අමතරව තවත් නොනිල ගීතයක්ද යාපනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබීමය. එම ගීතයෙන් ආමන්ත්‍රණය කොට තිබුණේ දෙමළ ජනතාවට සහ ඔවුන්ගේ හැඟීම්වලටය. එම ගීතය පළමු වතාවට එළිදක්වා තිබුණේ ලන්ඩනයේ සිට ක්‍රියාත්මක ඩයස්පෝරා වෙබ් අඩවියක් වන ටැමිල් ගාඩියන්ය. එම වෙබ් අඩවිය මෙම ගීතය විවරණය කරමින් කියා තිබුණේ ජවිපෙ ප්‍රතිපත්තිවලින් පවා එපිටට ගිය ප්‍රතිපත්ති ඇතුළත් කරමින් මෙම ගීතය උතුරට නිර්මාණය කොට ඇති බවත්, ඒ හරහා දමිළ ඡන්ද ආකර්ෂණය කරගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත්ය.

මේ ආකාරයට ජවිපෙ උතුරට විශේෂ බරක් තැබීමට හේතුවක්ද තිබිණි. ඒ, ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයය. දැනටමත් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ මෙම සැසිවාරයේදී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් බරපතළ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි කියාය. ඒ අනුව ආණ්ඩුව සැලසුම් කළේ උතුරෙන් විශාල ජයග්‍රහණයක් වාර්තා කිරීම හරහා උතුර-දකුණ ඇතුළු සියලු ජනතාව ආණ්ඩුවත් සමග සිටින බව ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙන්වා යෝජනාවේ සැර බාල කරගැනීමටය. 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල වෙද්දී මහින්දත් කඩින්කඩ මැතිවරණ තබමින් ඒවා ජයග්‍රහණය කොට ජන මතය ඇත්තේ තමන්ට බව පෙන්වමින් ජිනීවා චෝදනාවල සැර බාල කරගැනීමට පියවර ගෙන තිබිණි. මාලිමා ආණ්ඩුවද උත්සාහ ගත්තේ මහින්ද ක්‍රියාත්මක කළ මේ උපක්‍රමයම යළි ක්‍රියාත්මක කිරීමටය. නමුත් මාලිමා ආණ්ඩුවට එයද වැරැදුණේ යාපනයෙන් විශාල පරාජයක් ලැබීමට සිදුවීමත් සමගය.

යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් ඇති අතර, අදාළ පළාත් පාලන ආයතනවලින් කිසිදු පළාත් පාලන ආයතනයක වැඩි ඡන්ද ගණනක් ලබාගැනීමට ජාතික ජන බලවේගයට අවස්ථාව ලැබී නොමැති වීම විශේෂ සිදුවීමකි.

යාපනය
යාපනය මහනගර සභාව, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව, වේලනෙයි ප්‍රාදේශීය සභාව, වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභාව, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව, වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාව, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාව, වඩමාරච්චි නිරිත ප්‍රාදේශීය සභාව, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව, චාවකච්චේරි ප්‍රාදේශීය සභාව, නල්ලුර් ප්‍රාදේශීය සභාව, වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභාවල බලය ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් වැඩි ඡන්දයෙන් දිනාගනු ලැබ තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ වැල්වැටිතුරෙයි නගර සභාව, පේදුරුතුඩුව නගර සභාව, චාවකච්චේචේරි නගර සභාව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වැඩි ඡන්ද ගණනක් ලබාගෙන තිබුණු අතර, යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව ස්වාධීන කණ්ඩායමක් විසින් ද, කයිට්ස් ප්‍රාදේශීය සභාව ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය විසින් ද වැඩි ඡන්දයෙන් දිනාගනු ලැබ ඇත.
කිලිනොච්චිය
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවතින කරච්චි ප්‍රාදේශීය සභාව, පුනරීන් ප්‍රාදේශීය සභාව හා පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාව යන සභා තුනෙහිම බලය ඉලංකෙයි තමිල් අරසු කච්චි වැඩි ඡන්දයෙන් දිනාගනු ලැබ තිබේ.
මුලතිව්
මුලතිව් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් පවතින අතර, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාව, මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාව, තුනුක්කායි ප්‍රාදේශීය සභාව, මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව යන ප්‍රාදේශීය සභා හතරෙහිම වැඩි ඡන්ද ගණනක් ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් දිනාගනු ලැබීය.

ශ්‍රී ලන්කන් විකුණයි

මේ අතර, පසුගිය සතියේදී අප මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලබාගන්නා ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ අවධානයක් යොමුකර සිටින බවක් වාර්තා කළෙමු. අප එසේ කියා සිටියේ ආණ්ඩුවට අහිතකර ප්‍රතිඵලයක් ලැබුණහොත් නියත වශයෙන්ම අයි.එම්.එෆ්. ගිවිසුමේ ඇති කොන්දේසි ඉටුකිරීම සඳහා දැඩි බලපෑමක් ආණ්ඩුවට එල්ල කිරීමට මූල්‍ය අරමුදල සූදානමින් සිටීම නිසාය. විශේෂයෙන්ම දැනටමත් මූල්‍ය අරමුදල හතර වැනි වාරිකය ලංකාවට නිදහස් කිරීම අත්හිටුවා ඇති අතර, එම වාරිකය නිදහස් කිරීමට නම් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවටත්, තෙල් මිල සහ ගෑස් මිල සංශෝධනය කළ යුතු බවටත් කොන්දේසි කීපයක් ඉදිරිපත් කොට තිබේ. ඊට අනුව යමින් ජනාධිපතිවරයා මැතිවරණයට පෙරම පවසා සිටියේ, මැතිවරණයෙන් පසු විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට සිදුව ඇති බවකි.

කෙසේ වෙතත් මේ වනවිට මූල්‍ය අරමුදල විදුලි බිල වැඩිකිරීමට අමතරව තවත් බරපතළ කොන්දේසියක්ද ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති බවක් ආරංචිය. ඒ, ශ්‍රීලන්කන් ගුවන් සේවය වහාම පෞද්ගලීකරණය කළ යුතු බවට වූ යෝජනාවය. පසුගිය ආණ්ඩු කීපයක්ම බරපතළ ලෙස පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා උත්සාහ කර තිබූ අතර, මාලිමා ආණ්ඩුව බලයට පත්වූ සැණින් ඔවුන් කියා සිටියේ ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ කටයුතු අත්හිටුවීමට පියවර ගත්තා යැයි කියාය. එය ජාතික සම්පතක් සේ සලකා ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කරන බවද ආණ්ඩුව කියා සිටියේය.

නමුත් මේ වනවිට මූල්‍ය අරමුදල විසින් එල්ල කොට ඇති දැඩි බලපෑම හමුවේ ආණ්ඩුව අඩියක් පසුපසට ගෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීම සඳහා එකඟතාව පළකොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ඉදිරි දින කීපය ඇතුළත ඒ සම්බන්ධයෙන් වූ නිවේදනය ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වීම නියමිතව ඇති බවක් ද ආරංචිය.

මේ සියලු කරුණු කාරණා මැද මැතිවරණ දිනයේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් සමාජ මාධ්‍යවල අවධානය දිනාගෙන තිබිණි. ඒ, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද පොළට පැමිණි ආකාරයය. ඇය එදින පැමිණ සිටියේ ඩෙනිම් කලිසමක් සහ කමිසයකින් සැරසීය. නමුත් සමාජ මාධ්‍ය එම අවස්ථාවේ ඡායාරූප උපුටා දක්වමින් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ එවැනි ආකාරයට සැරසී පැමිණීම අගමැතිවරියකට තරම් නොවේ යැයි කියාය. විශේෂයෙන්ම හිටපු අගමැතිවරියන් ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන අවස්ථාවල ඡායාරූප පළකරමින් හරිනි ඉලක්ක කොට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද ඔවුන් කටයුතු කොට තිබිණි.
හරිනිට මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට ඉහතදී අගමැතිවරිය වශයෙන් හරිනි තායිලන්තයේ කළ නිල සංචාරයක් අතරතුරදී ඇය හැඳ සිටි ඇඳුම සම්බන්ධයෙන්ද මේ ආකාරයේම බරපතළ විවේචනයක් එකල සමාජ මාධ්‍ය ජාල තුළ සිදුවිය. නමුත් මෙවර සිදුවීමෙන් අගමැතිවරිය ඉන් පාඩමක් උගෙන නොමැති බවක් දැකගන්නට ඇත.

කෙසේ වෙතත් මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය දැකගන්නට ලැබුණේ බදාදා පෙරවරුවේ ඡන්ද ප්‍රතිඵල සියල්ල නිකුත් කොට අවසන් වෙද්දීය. එහිදී මාස 05ක් ඇතුළත මාලිමාව ලක්ෂ 23කින් ඡන්ද අඩුකරගෙන 62%ට තිබූ ඡන්ද ප්‍රතිශතය 43%ක් දක්වා අඩුකොට ගෙන තිබිණි. මහ මැතිවරණයට සාපේක්ෂව සජබය ලක්ෂ 03කින් සිය ඡන්ද ගොඩ ඉහළ නංවාගැනීමට සමත්ව තිබිණි. 2.5%ට බැස තිබූ පොහොට්ටුව තවත් ලක්ෂ 06කින් සිය ඡන්ද ප්‍රමාණය වැඩිකරගෙන, ඡන්ද මිලියනය දක්වා ඉහළ නංවාගැනීමට සමත්ව තිබිණි.

කෙසේ වෙතත් මෙම ප්‍රතිඵලයට අනුව මාලිමාවට ඍජුවම බලය පිහිටුවිය හැකි සභා ලෙස වාර්තා වී තිබුණ් 164ක ප්‍රමාණයකි. විපක්ෂයට බලය වැඩි සභාවන් 170ක් පවතින අතර, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග විපක්ෂය ඒවායේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙක් පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට තිබූ ආකාරය දැකගත හැකි විය. මෙහිදී මැතිවරණයට පෙරාතුවම කොළඹ එක්තරා තරුණ දේශපාලන නියෝජිතයකුගේ නිවසේ පැවැති උපන්දින සාදයකදී සජිත් සහ නාමල් අතර මැතිවරණයෙන් පසු සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් නිල නොවන මට්ටමේ එකඟතාවක් මතුව තිබිණි. අප එය පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. ඒ අනුව දැනටමත් කොළඹ නගර සභාව ඇතුළු රට පුරා පිහිටි නගර සභා 150කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සම්බන්ධයෙන් සජබය අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කොට අවසානය.

සජබ කුමන්ත්‍රණකරුවෝ

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී සජබය සජිත්ගේ නායකත්වය යටතේ වැඩි බලයක් ලබාගත්තද බොහෝ දෙනා පෙන්වා දෙන කාරණාවක් වී ඇත්තේ පක්ෂය ඇතුළෙන් හරිහමන් සහායක් සජිත්ට ලැබුණේ නම් මීටත් වඩා ඉහළ ජයග්‍රහණයක් සජබයට ලබාගැනීමට හැකියාව තිබුණා යැයි කියාය. විශේෂයෙන්ම පක්ෂ නායකයා වශයෙන් සජිත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ගමින් ගමට ආසනයෙන් ආසනයට යමින් පක්ෂයට හයියක් දෙද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා ඇතැමුන් සිය ශක්තිය උපරිමයෙන් සජිත්ට ලබාදුන්නාද යන්න පිළිබඳ ඇත්තේ බරපතළ ගැටලුවකි. කොටින්ම කියනවා නම් මෙම ඡන්දය තනිකර සජිත් නිසාම සජබයට ලැබුණු ඡන්දයකි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුගේ සහ තරුණ මන්ත්‍රීවරුන්ගේ සහාය හැරුණු විට ඇතුළේ සිටින එක්තරා ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා කුමන්ත්‍රණකරුවන් කණ්ඩායමකගෙන් සජිත්ට සහායක් නොලැබුණු තරම්ය. ඔවුන් සජබයට සහ සජිත්ට සහාය දෙනවාට වඩා කළේ සජිත් නැති තැන සජිත්ව විවේචනය කිරීමය. සජිත්ට ඡන්දය දිනන්නට බැරි බව ප්‍රකාශ කිරීමය. සජිත් අඳින පලඳින විදිය විහිලුවට ලක්කිරීමය. සජිත් කතාකරන විලාසය විවේචනය කිරීමය. අප මේ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනාම හොඳින් හඳුනාගෙන ඇති අතර, ඊට සාක්ෂිද වුවමනාවටත් වැඩියෙන් අප සතුව තිබේ. ඉදිරියේදී විශේෂ ලිපියකින් මෙම සජබ කුමන්ත්‍රණකරුවන් කීප දෙනා සම්බන්ධයෙන් රටට හෙළිදරව් කිරීමටද අප සූදානම්ය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන සජිත් රට වටා යමින් සිටියදී මේ සජබ කුමන්ත්‍රණකරුවන් කීප දෙනා කළේ කොළඹ සිටිමින් මැතිවරණයෙන් පසු සජිත් සහ සජබය කුජීත වන බව කියමින් සජිත් පක්ෂ නායකත්වයෙන් එලවන කුමන්ත්‍රණය සැලසුම් කිරීමය. මෙම පිරිස එසේ නොකොට හරි හෝ වැරැදි හෝ වේවා ජවිපෙ පැලවත්ත කාර්යාලයෙන් දෙන මැතිවරණ ව්‍යාපාරය, එහි මන්ත්‍රීවරුන් ගමට ගෙන ගියා සේ සජබයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද ගමට ගෙන ගියා නම් අද සජබය ඉන්නේ මීට වඩා ගව්ගාණක් ඉහළින්ය.

මේ වනවිට සජබයට සිටින්නේද මේ කුමන්ත්‍රණකරුවන්ටම හරියන මාධ්‍ය අංශයකි. පක්ෂයක මාධ්‍ය අංශය, පක්ෂ නායකත්වය සහ පක්ෂය ඔසවා තැබීමේ මෙහෙයුමේ නිරතව සිටිය යුතු වුවද, සජබ මාධ්‍ය ඒකකය සිටින්නේ සජබය ඇතුළේ සිටින ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් තුන් හතර දෙනාට අවශ්‍ය ආකාරයට කටයුතු කරමින් සජිත්ව විනාශ කිරීමේ සහ සජිත්ව ආරක්ෂා නොකර සිටීමේ මෙහෙයුමකය. ඒ මාධ්‍ය ඒකකය මගින් මාධ්‍ය හමු පැවැත්වීම සඳහා කැඳවන්නේ තරුණ, දක්ෂ මන්ත්‍රීවරුන් නොව සජිත්ට විරුද්ධ අදහස් දරන මන්ත්‍රීවරුන්ය. තරුණ මන්ත්‍රීවරයෙක් නිකමට හෝ විපක්ෂනායක කාර්යාලයට පැමිණි විට ඒ මාධ්‍ය ඒකකය මගින් ඔවුන්ගේ ඔළුවලටද විසබීජ දමන ආකාරයක් දැකගන්නට තිබේ. මෙවර මෙම කුමන්ත්‍රණකරුවන්ගේ නම් හෙළිදරව් නොකළද, ඉදිරි ‘රාජ්‍ය රහස්’ තීරයකදී නම් වශයෙන් ඔවුන්ද රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

ඉමිතියාස් කරපු දේ හරිද?

මෙම කුමන්ත්‍රණයේ එක් කොටසක් ලෙස ඡන්දය කට මුල තියා සජබ සභාපතිවරයා වන ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ ඉල්ලා අස්වීමද පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති වකවානුවක පක්ෂ සභාපතිවරයකු ඉල්ලා අස්වීමක් කිසිදු රටක සිදුවන්නේ නැත. ප්‍රශ්න තිබුණද එක්කෝ මැතිවරණය අවසන් වන තෙක් ඒවා යටපත් කොටගෙන සිටීම සභාපතිවරයකුගේ අවම සදාචාරයය. නමුත් ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු ලෙස සැලකෙන ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඒ කිසිවක් නොතකා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරම සිය ඉල්ලා අස්වීම සජිත්ට යැව්වේය. එපමණක් නොව, එම ඉල්ලා අස්වීමේ ලිපිය මාධ්‍යයට මුදාහැරීමටද ඉමිතියාස් කටයුතු කළේය. එය බොහෝ දෙනා පෙන්වා දුන්නේ සජිත්ව සහ සජබය ඡන්දයෙන් වැට්ටවීම සඳහා කළ කුමන්ත්‍රණයක් ලෙසටය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ එවැනි කටයුත්තක් කළ ඉමිතියාස් වැන්නකු කිසිසේත්ම පක්ෂයේ සභාපති ධුරයක් නොව, කිසිදු තනතුක් දැරීමට නුසුදුස්සකු යැයි කියාය. නමුත් සජිත් ඒ සියල්ල ඉවසා නැවත වතාවක් සජබ සභාපති ධුරය ඉමිතියාස්ට ලබාදීමට පියවර ගත්තේය.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ක්‍රියාත්මක වූ දෙවැනි කුමන්ත්‍රණය වූයේ සජබය ඇතුළේ මේ වනවිට ඉහළට එමින් සිටින තරුණ දේශපාලන නායකයන් තුන්දෙනකු ඉලක්ක කොට ප්‍රහාර එල්ල වීමය. ඒ නායකයන් තිදෙනා වන්නේ විපක්ෂ නායක මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන, චරිත් අබේසිංහ සහ වරුණ දීප්ත රාජපක්ෂ යන තිදෙනාය. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සජබයට තිබූ විශාලම ප්‍රශ්නයක් වූයේ සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන යෑමට තිබූ නොහැකියාවය. ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් සජබ මාධ්‍ය ඒකකයට නොතිබූ අතර, සමාජ මාධ්‍ය පිළිබඳ දැනීමක් ඇති පුද්ගයන්ද එහි නොවීය. මේ හේතුවෙන් මාලිමාව ඒ කාලයේදී සජබය සහ සජිත් ඉලක්ක කොට විශාල සමාජ මාධ්‍ය ප්‍රහාරයක් දියත් කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වීමට පවා නොහැකිව සජබය සිටියේ අතරමංවය.

නමුත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළුවේ ප්‍රසාද්, චරිත් සහ වරුණය. ඔවුන් තිදෙනා එක්ව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සජබය ඉහළ නංවන දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියා පමණක් නොව, ප්‍රතිවරුද්ධ දේශපාලන කණ්ඩායම්වල බොරුව රටට තහවුරු කොට පෙන්වීමටද කටයුතු කළහ. විශේෂයෙන්ම ආණ්ඩුව කරන තරමක් කරන්නේ සහ කියන තරමක් කියන්නේ ‘පච’ බව රටට ඔප්පු කර පෙන්වීමට මේ කෙටි කාලය තුළ මේ තිදෙනා සමත් වූහ. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් බරපතළ කඩාවැටීමකට ලක්වී සජබය හිස එසවීමට පටන්ගෙන තිබීමය. නමුත් දැන් සජබ ජ්‍යෙෂ්ඨයන් යැයි කියාගන්නා පිරිස් මේ තිදෙනාට එරෙහිව විශාල විරෝධයක් පක්ෂය ඇතුළේ මතුකරමින් සිටින බවක් ආරංචිය. එයින් පෙනීයන්නේ සජබය ඇතුළේ තරුණ නායකයන්ගේ නැගිටීමට මේ ජ්‍යෙෂ්ඨ සජබ කුමන්ත්‍රණකරුවන් ඉඩ තැබීමට සූදානම් නැති බවය.

පටන් අරන් හුඟක් කල්

මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් සජිත් සහ සජබය වට්ටන කුමන්ත්‍රණය ආරම්භ කළේ අද ඊයේ නොවේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේ සිටම මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් සිටියේ සජිත් පරාජය කොට සජිත්ව බිම වට්ටා පක්ෂයේ බලය අල්ලන කුමන්ත්‍රණයකය. ඉන් අනතුරුව සජබය එජාපය සමග එකතු කිරීමේ කුමන්ත්‍රණයකය. පසුගිය ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් සජබයට එක්ව සජිත්ට සහාය පළකිරීමට සූදානම් වෙද්දී මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවෝ ඊට එරෙහිව පක්ෂය ඇතුළේ විශාල මෙහෙයුමක් දියත් කළහ. පිරිසිදු නායකයන් සජිත්ට සහාය දීමට පැමිණෙද්දී ඔවුන් දූෂිතයන් බව කියමින් ඔවුන්ට අවමන් කළහ. ඔවුන්ට ආසන සංවිධායකකම් දෙද්දී ඇතැමුන් අඩි පොළොවේ හප්පමින් ඊට විරෝධය පළකළහ. තවත් සමහරු පැමිණෙද්දී ප්‍රසිද්ධියේම ඔවුන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළහ. එසේ කොට සජිත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු මේ සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් උත්සාහ කළේ මහබැංකු හොරා යනුවෙන් ඔවුන්ම නම් පටබැන්ද රනිල් සමග එකතු වී සජබය එජාපයට පූට්ටු කිරීමටය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින 6කට පෙර පැවැති සජබ මැයි රැලියේදීද මෙවැනි කුමන්ත්‍රණයක් දියත් විය. සාමාන්‍යයෙන් මැතිවරණයක් කට ළඟ තිබියදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකතු වී මැයි රැලිය කොළඹ පැවැත්විය යුතු වුවද මේ කිසිදු ජ්‍යෙෂ්ඨයෙක් මැයි රැලිය කොළඹ පැවැත්වීමේ වගකීම භාරගත්තේ නැත. මේ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් ඉන් කරඅරිද්දී තලවාකැලේ මැයි රැලිය පැවැත්වීමේ වගකීම භාරගත්තේ වතුකරයේ නායකයන් වන දිගම්බරම් සහ රාධක්‍රිෂ්ණන්ය.

මැයි 01 වැනි දින සජිත්ගේ දිනපොතේ තිබුණේ අවිවේකී න්‍යාය පත්‍රයක්ය. එදින පෙරවරුවේ කොළඹ කෙසෙල්වත්තේ ප්‍රේමදාස ගුණසමරුවට සහභාගි වීමට සජිත්ට තිබූ අතර, සවස සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සමග සහ දෙරණ නාලිකාව සමග රූපවාහිනී සංවාද වැඩසටහනක්ද යොදාගෙන තිබිණි. මේ නිසා සජිත් පෙරවරුවේ ප්‍රේමදාස ගුණසමරුව අවසන් කොට තලවාකැලේ යෑමට හෙලිකොප්ටර් යානයක් කුලී පදනම යටතේ ලබාගැනීමට කටයුතු කොට තිබිණි. නමුත් එදින දහවල් වනවිට අධික වර්ෂාවක් පතිත වන ලකුණු පහළ කොට තිබූ නිසා ගුවන් නියමුවා සජිත්ට දැනුම් දී සිටියේ ඉතා ඉක්මනින් කොළඹ යායුතු බවත්, එසේ නොමැති වුවහොත් හෙලිකොප්ටර් යානය ගුවන්ගත කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්ය. මේ නිසා මැයි දින වේදිකාවට ගොඩවූ සැණින් සජිත් පක්ෂ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී සිටියේ සිය කතාව අවසන් වූ සැණින් කොළඹ යෑමට සිදුව ඇති බවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් නියමුවා යම් අනතුරු ඇඟවීමක් සිදුකළ බවත්ය. ඒ අනුව සජිත් කතාව අවසන් කොට වේදිකාවෙන් පිටව යෑමත් සමග රැස්ව සිටි ජනතාවද සජිත් සමග ඉවත්ව ගිය අතර, එය උපුටා දක්වමින් ආණ්ඩුව ඇතුළු අනෙකුත් කණ්ඩායම් සජිත්ට සහ සජබයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් සමාජ මාධ්‍ය ජාලවල එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය.

නමුත් පුදුමයට කරුණ වූයේ සිදුවූ දේ නිවැරැදිව දැන සිටි කිසිදු සජබ ජ්‍යෙෂ්ඨ නායකයකු මේ ඇත්ත කරුණ රටට කියා මෙම සිදුවීම නිවැරැදි කිරීමට කටයුතු නොකිරීමය. අඩුම තරමින් සජබ මාධ්‍ය ඒකකය හෝ මේ සම්බන්ධයෙන් නිවැරැදි කිරීමක් සිදුකරමින් මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් නොකිරීම පුදුමසහගතය. ඇතැම් විට සජබයේ සිටින කුමන්ත්‍රණකරුවන් විසින් සජබ මාධ්‍ය ඒකකයට දී තිබූ උපදෙස් නිසා මෙවැන්නක් සිදුවූවා විය හැකිය. නමුත් ඉන් තහවුරු වන්නේ සජබයේ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකාරීන් සහ සජබ මාධ්‍ය ඒකකය පවා මෙම සිදුවීමෙන් සජිත්ට සහ සජබයට කෙළවෙන තෙක් බලා සිටි බවය.

නමුත් සජබ කුමන්ත්‍රණකරුවන් එසේ කටයුතු කළද මැයි රැලිය සංවිධාන කළ රාධක්‍රිෂ්ණන් පමණක් එහි ඇත්ත තත්ත්වය පිළිබඳ රටට පැහැදිලි කිරීමක් කළේය. ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් නියමිත වෙලාවට පැමිණි බවත්, නියමිත වෙලාවට පිටව ගිය බවත්, රැස්වීමද නියමිත පරිදි අවසන් වූ බවත්ය. ඒ නිසා කම්කරු ජනතාවද සතුටින් විසිර ගිය බව රාධක්‍රිෂ්ණන් එහිදී කියා සිටියේය. රාධක්‍රිෂ්ණන් එසේ කියූවද අද වනතුරු පක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම පුදුමසහගතය.

මේ පාරත් කුමන්ත්‍රණයක

එමෙන්ම මෙවර අප මේ කුමන්ත්‍රණකරුවන්ගේ තවත් සැලසුමක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරද්දී පවා මේ කුමන්ත්‍රණකරුවන් සිටියේ මේ මැතිවරණයෙන් සජිත් සහ සජබය පරාජයට පත්වන තෙක්ය. අවසන් සතිය වන විටද ඔවුන් සිතා සිටියේ මෙවර සජබය ඉකුත් මහ මැතිවරණයටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි කියාය. මේ පිළිබඳ සජබ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු දුරකතන සාකච්ඡාවල නිරත වෙමින් අදහස් හුවමාරු කරගෙන තිබූ ආකාරය අකුරක් නෑර ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී ඔවුන් කතා කළේ මොනවාද, හුවමාරු කරගත් වට්ස්ඇප් පණිවුඩ මොනවාද යන්න පිළිබඳවද, ඒවා සිදුකළ කාලවේලාවන් පිළිබඳවද සියලු තොරතුරු අප සතුය. කුමන තත්ත්වයක් යටතේ වුවද, කුමන අවාසියක් සිදුවුවද ඉදිරියේදී ඒ සියලු නම්ගම්, තොරතුරු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය. එහිදී ඔවුන් සැලසුම් කොට තිබුණේ පළාත් පාලන මැතිවරණයෙන් සජබය පරාජයට පත්වූ වහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කොට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස සජිත්ට දැනුම් දීමටය. ඒ නිසා එම කුමන්ත්‍රණකරුවන් කළේ ඇති තරම් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී සජිත්ගේ කකුලෙන් ඇදීමය.

සජිත්ද මෙම තොරතුරු නොදැන සිටියා නොවේ. නමුත් මැතිවරණ ව්‍යාපාරයක් අතරතුරදී පක්ෂය ඇතුළේ ගැටලු නිර්මාණය කරගත නොහැකි නිසා තනිවම සහ නිහඬව සජිත් ඊට මුහුණ දීමට කටයුතු කළේය. තනිවම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකළේය. මේ ආකාරයටම මෙම කුමන්ත්‍රණකරුවන් කණ්ඩායම මහ ඡන්දය අවසන් වීමත් සමග සජිත්ට විපක්ෂ නායකකම ලබා නොදීම සඳහාද කුමන්ත්‍රණයක් දියත් කළේය. ඊට අදාළව ලිපියක්ද සකස් කළේය. ඒ සියලු තොරතුරු වෙනම ලිපියකින් ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

මීට අමතරව මහ ඡන්දය අවසන් වූ වහා එක්තරා සජබ මන්ත්‍රීවරයකුගේ ගම්පහ නිවසකදී මේ කුමන්ත්‍රණකරුවන් සියලු දෙනා එක්ව සාකච්ඡා කළ ආකාරයද ‘රාජ්‍ය රහස්’ තීරයට රහසක් නොවේ. එම සාකච්ඡාවට එක්ව සිටි කිහිප දෙනකු පසුව රනිල්ට එක්වී දැන් සිටින්නේ නන්නත්තාරවය.

එමෙන්ම සජිත් සමග කාලයක් එකට සිටි තලතා අතුකෝරල සජබයෙන් එළියට බැස රනිල් ළඟට ගොස් ඉතා පහත් ආකාරයෙන් සජිත්ට බැණවැදුණු විට පවා සජබයේ සිටින ජ්‍යෙෂ්ඨ කිසිවකුත් සජිත්ව ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ නැත. අඩුම තරමින් සජිත්ව ආරක්ෂා කරනවා තබා තලතාට උත්තර බඳින්නට හෝ ඔවුන් කටයුතු කළේ නැත. එදා තලතා එසේ සජිත්ට ප්‍රහාර එල්ල කරද්දී සජිත් වෙනුවෙන් කතා කළේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනකු පමණි. ඒ, හේෂා විතානගේ සහ එස්.එම්. මරික්කාර්ය. සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන් පළාත් පාලන මැතිවරණයෙන් සජිත් සහ සජබය විනාශ වන බව සිතා සිටියද මේ තරුණ මන්ත්‍රීවරු මෙවර මැතිවරණයෙන් සජිත් සහ සජබය ගොඩ යන බව සක්සුදක් සේ දැන සිටියහ.

මීට අමතරව පසුගිය ජනාධිපතිවරණය පරාජයට පත්වීමත් සමග සජබ ජ්‍යෙෂ්ඨ කුමන්ත්‍රණකරුවන්ට එක්වූ තවත් කීප දෙනෙක් සජිත්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී හර්ෂට පක්ෂ නායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්හ. එහි ඉදිරියෙන්ම සිටියේ කාවින්ද ජයවර්ධනත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍රත්, එරන්ද වැලිඅංගේත්ය. නමුත් ඔවුන් හර්ෂට නායකකම ලබාදෙන ලෙස කියද්දී ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව හර්ෂගේ කෝට්ටේ ආසනය තිබුණේ තුන්වැනි තැනට වැටීය.

ට්‍රම්ප් තවත් අඩව්වක

පසුගිය සතියේ ලෝක බැංකුවේ සභාපතිවරයා වූ අජේ බංගා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ලෝක බැංකු සභාපතිවරයා මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, ලෝක බැංකුවටත් කිසියම් අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි. අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ට්‍රම්ප් මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ලබාදෙමින් සිටින අරමුදල් නවතා දැමීමේ තීන්දුවකට එළඹ ඇතැයි කියාය. ඊට හේතු වශයෙන් වාර්තා වන්නේ මූල්‍ය අරමුදලේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරිය වූ ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මිය සහ ලෝක බැංකු සභාපතිවරයා වන අජේ බංගා මහතා එම තනතුරුවලින් ඉවත් කිරීම සඳහා ට්‍රම්ප්ට ඇති අවශ්‍යතාවයය. මොවුන් දෙදෙනාම හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ජෝ බයිඩන් මහතාගේ හිතවතුන් වීමත්, ඔහුට සමීපව කටයුතු කිරීමත් මේ සඳහා හේතු වී ඇති බව පැවැසේ. නමුත් පවතින නීතිරීතිවලට අනුව එක් වරම ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමට නොහැකි නිසා, ට්‍රම්ප් සැලසුම් කර ඇත්තේ මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ලබාදෙන ඇමෙරිකානු ආධාර නවතා දමා ඒ හරහා අර්බුදයක් ඇතිකොට ඔවුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කිරීමටය.

කෙසේ වෙතත් අප මේ තොරතුරු මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කොට සිටින්නේ එවැනි තත්ත්වයක් මතුවුවහොත් එය ලංකාවටද ඉතා අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති නිසාය.

කපිල පුංචිමාන්නගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here