
කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් 2025 මැයි 11 වන දින අලුයම, අබුඩාබි නුවර සිට පැමිණි ගුවන් යානයක් තුළදී ඇමරිකානු ඩොලර් 4,000ක් (රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක්) සොරකම් කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වයස අවුරුදු 54ක් වන අතර, ඔහු එම ගුවන් යානයේ ගමන් කළ එකම චීන ජාතිකයා ලෙස හඳුනාගෙන තිබේ. සොරකම් කළ මුදල ශ්‍රී ලංකාවේ වාසය කරන සිය සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ආ 81 හැවිරිදි ඇමරිකානු කතෝලික පූජකවරයෙකුට අයත් මුදලක් බව වාර්තා වේ.
2025 මැයි 10 වන දින රාත්‍රී 8.30ට පමණ ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වී තිබේ. මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත්ව මද වේලාවකට පසු, සිද්ධියට ගොදුරු වූ පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල චීන ජාතිකයා විසින් සොරකම් කර ඇත.
පූජකවරයා මෙම සිදුවීම ගුවන් සේවා නිලධාරීන්ට දැනුම් දුන් පසු, ඔවුන් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ අනුව මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහු තවත් ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම් වෙමින් සිට ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා සහ ඔහු සන්තකයේ තිබූ ඇමරිකානු ඩොලර් 4,000 මැයි 11 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත, උප පොලිස් පරීක්ෂක චන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102313 වික්‍රමසිංහ යන නිලධාරීහු විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
Saru FM Media