අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට බැහැ: ඇය නඩුවෙන් මුදාහරින්න
විත්තියේ නීතිඥ ඉල්ලයි
අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් වෛද්‍ය වාර්තාවක් කැඳවන්න
නීතිපති
අයථා ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 596 කට අධික වටිනා ඉඩම් ඇතුළු දේපළවල හිමිකාරිත්වය දැරීම ආදී චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරෙස්ට් මහත්මිය ඩිමෙන්ෂියා රෝගය ඇතුළු අතීතය අමතකවීමේ රෝගවලින් පෙළෙන බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වා ගෙන යෑම සඳහා ඇයගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඊයේ (12දා) කොළඹ මහාධිකරණයට පැවැසීය.
ඇයගේ එකී රෝගී තත්ත්වය හා මානසික තත්ත්වය පිළිබඳව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලූ නුගේගොඩ දිසා අධිකරණය ඇයගේ නමින් තිබෙන ඉඩ කඩම් ඇතුළු දේපළ ස්වාධීනව පාලනය කළ නොහැකි බවට නිගමනය කොට ඒවා පරිපාලනය කිරීමට ඇය වෙනුවෙන් වෙනත් අයකු පත් කරමින් නියෝගයක් ද නිකුත්කොට ඇතැයි ජනාධිපති නීතිඥවරයා මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ පැවැසීය. පෙරකී කරුණු සලකා බලා එම විත්තිකාරිය මෙම නඩු කටයුත්තෙන් මුදාහරින නියෝගයක් නිකුත්කරනා ලෙසට ද විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්තකට අදාළව එම විත්තිකාරියගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ 2016 වසරේදී නීතිඥවරුන් දෙදෙනකු ඉදිරියේදී බවත් එම අවස්ථාවේදී හෝ එම නඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවකදී හෝ උගත් ජනාධිපති නීතිඥවරයා එකී රෝගී තත්ත්වය පිළිබඳව කරුණු දක්වා නොමැති බවත් 2016 වසරේ සිට පෙළෙන්නේ යැයි කියන එකී රෝග පිළිබඳව පළමු වරට අධිකරණයට දැනුම් දුන්නේ ඊයේ බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජගත් බණ්ඩාර මහතා පැවසීය.
විත්තියේ උගත් නීතිඥවරයා දැක්වූ විත්තිකාරියගේ රෝගී තත්ත්වය ඇතුළු මානසික තත්ත්වය පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරයකු ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයකින් වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2016 වසරේ අප්‍රේල් මාසයේදී එම විත්තිකාරිය සතුව තිබූ ප්‍රකට මැණික් මල්ලේ කතාන්දරය කළඑළි බැස්ස බවත් පැවසීය. එපමණක් නොව මෙම නඩුවට පාදක වූ ඉඩ කඩම් ඇතුළු දේපළ එම විත්තිකාරියගේ නමින් ලබාගෙන ඇති නමුත් ඒ සඳහා මුදල් ලබාදී ඇත්තේ පළමුවන විත්තිකාර යෝෂිත රාජපක්ෂ වන බැවින් දෙවන විත්තිකාරිය නඩු කටයුත්තෙන් මුදාහැරීම මගින් වෙනත් පාර්ශ්වයකට අයුතු වාසියක් ලබා ගැනීමට ඉඩකඩ විවර කර නොදිය යුතු බව ද පැවසීය.
කෙසේ නමුත් විත්තිකාරිය මෙම නඩු කටයුත්තෙන් මුදාහරින්නේ ද නැති ද යන කාරණය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු වාර්තා කිරීමට එම නඩුව කෙටි දිනයකින් කැඳවන ලෙස ද රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
විත්තිකාරියගෙන් මුල් ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී ඇය පෙළෙන්නේ යැයි විත්තිය කියන රෝග තත්ත්වය හා මානසික තත්ත්වය පිළිබඳව විත්තිය දැනුම්වත් කළේ දැයි අධිකරණයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් විනිසුරුවරයා විමසීය. එවැනි රෝගී තත්ත්වයක් පිළිබඳව එදින දැනුම්වත් නොකළ බව එම නිලධාරියා පැවැසීය.
මෙතෙක් කලක් එම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකළේ මන්දැයි විත්තිකාරියගේ නීතිඥවරයා ගෙන් විමසා සිටි විනිසුරුවරයා අවම වශයෙන් මෙම නඩුකරය මෙම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවකදී හෝ මින් පෙර ඒ පිළිබඳව දැනුම්දීමට තිබිය යුතු බව පෙන්වා එම විත්තිකාරිය පිළිබඳ නීතිපති ස්ථාවරය දැනුම්දීමට ලබන 26 වැනිදා නඩුව කැඳවීමට දින නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media









