ඩුබායි සුද්දාගේ මෝල්ඩා රැකියා ජාවාරම හෙළිවෙයි

0
10

මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.

“ඩුබායි සුද්දා” ඔහුගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පළකරමින් මෙම ජාවාරම සිදුකර ගෙන යනු ලබන අතර, ඔහුට මුදල් ලබාදී මෙම වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් මේ වන විට කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින බව වාර්තා වේ..

ඒ අනුව ඔහුට එරෙහිව මේ වන විට කාර්යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර, තවදුරටත් මෙම වංචාවට හසුවූ පුද්ගලයින් වෙතොත් හැකි ඉක්මණින් කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

1985 අංක 21 දරණ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව ශ්‍රී ලංකාවෙන් පිටත රැකියා සඳහා බඳවාගැනීම, ප්‍රචාරය සිදුකිරීම, මුදල් එකතු කිරීම, තොරතුරු රැස් කිරීම, ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බලපත්‍රයක් ලබාගත යුතුය.

බලපත්‍රයකින් තොරව එවැනි කටයුතු කිරිම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරයි.

මෙවැනි මිනිස් වෙළඳාම්කරුවන් මැඩලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ඒකකයක්ද කාර්යාංශයේ ස්ථාපිත කොට ඇති අතර, එම ඒකකයට මෙවැනි පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

විදේශ රටවල රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් විසින් සිය පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හෝ නව සමාජ මාධ්‍ය පිටු භාවිතා කරමින් විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබේ.

එම ජාවාරම් පිළිබඳව කාර්යාංශය දැඩිව අවධානය යොමුකර ඇති අතර, එවැනි වංචාකරුවන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

වංචාකරුවන් විසින් විදේශ රැකියා ලබාදෙන බව පවසා සිය පුද්ගලික ගිණුම්වලට මුදල් ලබාගන්නා අතර, ඇතැම් අවස්ථාවල ව්‍යාජ රැකියා ගිවිසුම්, ව්‍යාජ වීසා ලේඛනද රැකියා අපේක්ෂිතයින්ට යොමුකරන බව සඳහන්ය.

ඉන් පසු ඔවුන්ගේ දුරකථනද ක්‍රියා විරහිත කරමින්, සමාජ මාධ්‍ය ගිණුම්ද අක්‍රිය කරන අතර, පසුව කිසිඳු තොරතුරක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් වන බව කාර්යාංශය සඳහන් කරයි.

එබැවින්, විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලත් විදේශ රැකියා නියෝජිතායතනවලට හැර වෙනත් අතරමැදියන්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here