මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කාය වර්ධන මධ්‍යස්ථානයකදී වෙඩිතබා ඝාතනය කිරීමට කණ්ඩායමක් සූදානම් වන බවට තොරතුරක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට ලැබී තිබේ.
ඒ අනුව මාකොළ අවට පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.
එවන් පසුබිමක එම ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට තරුණියන් දෙදෙනෙකු පැමිණ එහි කළමනාකරුද මුණගැසී, ඔහුගේ විසිටින් කාඩ් පතක්ද ලබාගෙන එම ස්ථානය ඇතුළත සහ පිටත ඔවුන්ගේ ජංගම දුරකථන මගින් රූගතකර තිබේ.
එය දුටු කාන්තාවක විසින් කළ දැනුම්දීමක් මත එහි පැමිණි පොලීසිය අදාළ තරුණියන් දෙදෙනාගේ ජංගම දුරකථනය පරීක්ෂාකර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ මූල්‍ය ආයතනයේ වීඩියෝ දර්ශන ඩුබායිහි සැඟව සිටින සංජු නම් අපරාධකරුට යොමුකර ඇති බවය.
සංජු නැමැත්තා එම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් එවා තිබූ අතර එහි දැක්වුණේ “පෑලියගොඩ යුනිට් එකෙන් ඉන්නවා. ඉක්මනට පලයල්ලා” යනුවෙනි.
එමෙන්ම අදාළ මූල්‍ය ආයතනයේ කළමනාකරුගේ ඡායාරූපයක්ද සංජු විසින් තරුණියන්ට එවා තිබු බව පොලීසිය පවසයි.
ඒ අනුව තරුණියන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ අපරාධකරුවන් වන කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමේ සැලසුමක් පැවති අතර ඒ වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා තමන් එහි පැමිණි බවය.
පසුගියදා අකුරේගොඩදී ලොකුපැටීගේ නීතිඥවරයා කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස, සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට ලොකුපැටී සැලසුම්කර ඇති බව විමර්ශන වලදී අනාවරණ වී තිබුණි.
කංජිපානි ඉම්රාන් විසින් ඒ සඳහා වෙඩික්කරුවකු සූදානම් කර තිබූ බවද තම්මිට අවිශ්ක නමැති අපරාධකරුවා විසින් යතුරුපැදිකරු සූදානම්කර තිබූ බවද විමර්ශන වලදී හෙළිවී ඇත.
කෙසේවෙතත්, ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් කළ මූල්‍ය ආයතන කළමනාකරු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා නොවන බවත්, ඔවුන් වැරදීමකින් අදාළ පුද්ගලයා ඉලක්ක කර ඇති බවත් පොලීසිය පවසසයි.
පොලීසියේ ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් අපරාධකරුවන්ගේ උත්සාහය එලෙස ව්‍යර්ථ වී තිබුණි.
සිද්ධිය පිළිබඳවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Saru News













