ඩබල් පොකට් අය – වැයෙන් විපක්ෂය නොකවුට්ද?

0
7

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2026 වසරේ අය – වැය හා ආණ්ඩුවේ ම ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ‘රට එකට’ මත්කුඩු රටින් උපුටා දැමීමේ ක්‍රියාන්විතයත් මේ සතියේත් සමාජ දේශපාලන හා මාධ්‍යවල ද ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබේ. ඒ මාතෘකා දෙක සම්බන්ධයෙන්ම අපට ඇහෙන්නේ පාර්ශ්ව දෙකක අදහස් විවේචන බව පළමුවෙන් ම කිව යුතුය. විශේෂයෙන් රටක ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වූ වසරක වැඩපිළිවෙළක් අය – වැය ලෙස සාකච්ඡාවට බඳුන් වන බව පොදුවේ කිව හැකිය. එය ගැඹුරු ආර්ථික සිද්ධාන්ත මත පදනම් වූ ශාස්ත්‍රීය ආර්ථික විශ්ලේෂණයක් ලෙස බොහෝවිට අවධානයට යොමු කරවන්නේ ඒ ක්ෂේත්‍රවල ප්‍රාමාණික උගතුන්ය. එහි බලපෑම්, රටේ සංවර්ධන ක්‍රියාදාමය ආදිය විමර්ශනය කිරීම ඒ විද්වතුන්ගේ වගකීමය. එහෙත් එබඳු විශේෂඥ හා ප්‍රාමාණිකයන් සම්බන්ධයෙන් වුවද බොහෝ විට විවේචන ඇසෙයි. මෙය බෙහෙවින් දේශපාලනීකරණයට ලක්වූ රටක දිගින් දිගටම සිදුවිය හැකි ක්‍රියාදාමයකි.

කෙසේ වුවද මෙවර අය – වැය සම්බන්ධයෙන් එකී ක්ෂේත්‍රවල ඇතැම් අයගේ අදහස වී ඇත්තේ එය යම් යම් සාධනීය කරුණුවලින් පෙහොසත් අය – වැයක් බවය. කිසියම් ආර්ථික විනයක් සහිත අය – වැයක් ලෙස ද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එය හඳුන්වා තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද අය – වැය රටේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය යහපත් යෝජනා ඉදිරිපත් කළ එකක් ලෙස හඳුන්වා දී ඇත. බදු ඉලක්කය සපුරා ගැනීම ගැන රේගු බලධාරීහු ද ප්‍රමුදිතව සිටිති. ඒ හැරුණුවිට වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීම හා උසස් අධ්‍යාපනයට රුකුල් දෙන මහපොළ ආධාරය රු. 10,000ක් දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවට පැසසුම් හිමිව ඇත. ඇත්ත වසයෙන්ම දසක ගණනාවක් මුළුල්ලේ ම තව ජීවිතයම මේ රට වෙනුවෙන් කැප කළ ජනතාවක් ලෙස වතුකරයේ කම්කරු ප්‍රජාව හැඳින්විය හැකිය. මෙරටේ වතු ආර්ථිකයේ ශක්තිය බවට පත්ව සිටියත් වතුකරයේ ජනජීවිත ලැයිම් කාමරවලින් එළියට ගැනීමට තවමත් හැකිවී නැත. ඔවුන්ගේ නායකයෝ ද ඒ ජීවන ශ්‍රමය වෙන්දේසි කරමින් යස ඉසුරු ලබති. උද්වේගී හා අලංකාර කතාවලට අත්පොළොසන් ලබාදීම හැර ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබාදීමට මෙතෙක් හැකිවී නැත. එවන් පසුබිමක මේ මට්ටමින් හෝ වැටුපක් ලැබීම අගය කළ යුත්තකි.

විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි තිබෙන විවිධ අර්බුදවලට සාධනීය විසඳුම් ලබාදීමට මෙතෙක් අපේ බලධාරීන්ට නො හැකි විය. එය වෙනම සාකච්ඡා කළ යුත්තකි. ඒ සරසවි සිසු මානවක මානවිකාවන් පාරවල් දිගේ විරෝධතා දක්වන්නේ ආහාර දිරවීම සඳහා නොව සිසු අයිතීන් උදෙසා බවද කිව යුතුය. අපට ඔවුන් ගැන තිබෙන විවේචනය දේශපාලන චෝදනා පත්‍රයට වඩා වෙනස් එකකි. කුමක් වුවත් මහපොළ සුළුවෙන් හෝ වැඩි කිරීම අගය කළ යුත්තකි. එය ඔවුන්ගේ සකල විධ ගැටලුවලට විසඳුමක් නොවුවද එය හොඳ පියවරකි.

දේශපාලන වසයෙන් හා වෘත්තීය වසයෙන් ද අය – වැය පිළිබඳව සිදුව තිබෙන විවේචනවල හරය වී ඇත්තේ එමගින් රටට සාධනීය ප්‍රතිඵල නොලැබෙන බවය. ප්‍රධාන විපක්ෂය වන සජබය පවසන්නේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයීමක් බවය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයට අයත් සංඝයා වහන්සේ ලා හැර අනෙක් කොටස් හතරෙන් ම අය – වැයට දැඩි විවේචන එල්ල වී ඇත. ගුරුවරුන්ගේ විවේචනය ඉතා දැඩිය. විදුහල්පති සංගමයකින් කියැවුණේ බල්ලන්ට තරම්වත් ගුරුවරුන්ට තැකීමක් නැති බවකි. වෛද්‍යවරුන්ගේ සංගමයකින් ද ප්‍රකාශ වූයේ එම ක්‍ෂේත්‍රයට අදාළව කිසිවක් සිදුවී නැති බවය. ගොවි සංවිධාන එය හඳුන්වා තිබුණේ පතෝල අය – වැයක් ලෙසය. සමාජ ආරක්ෂණ බදු නිසා වාහන මිල ද ලක්ෂ දෙක තුනකින් වැඩි වන බවද කියති.

සජබයේ ආචාර්ය හර්ෂගේ විවේචනය වඩාත් ආර්ථික විමර්ශන පැත්තට නැඹුරු වූවකි. රාජ්‍ය සේවකයන්ට ණය ලබාදීමට වෙන් කළ මුදල් ‘රියැලිටි’ එකක් නොව ‘ජෝක්’ එකක් දැයි ඔහු ප්‍රශ්න කර ඇත. ආචාර්ය හර්ෂ අය – වැය දෙස බලා පළාත් සභා ඡන්දය නො පැවැත්වෙන බවට අනාවැකියක් ද කියා තිබුණි. කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ ද ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහගේම අඩි පාරේ යන බවය. එසේම සජබය මතු කළ තව කරුණක් වූයේ ආණ්ඩුව ගෙන්වීමට සූදානම් වන ‘ඩබල් කැබ්’ ගනුදෙනුව සැක මුසු එකක් බවය. මෙම අය – වැය මගින් රුපියල් බිලියන 3800 ක් දේශීය හා විදේශීය ණය ලබාගෙන තිබුණත් ජනතාවගේ ජීවන වියදම ගැන කිසිදු අවධානයක් යොමු කර නැති බවද කියති. ඉහළ යන ජීවන වියදම, විරැකියාව, රෝහල් පද්ධතියේ හා අධ්‍යාපනයේ පැවැත්ම තහවුරු කරන යෝජනා නැති බවද ඔවුන්ගේ විවේචනවලින් ප්‍රකාශ වී තිබේ.

මේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් වසයෙන් පිළිගන්නේ ජනතාවට නොමැති කිසිදු වරප්‍රසාදයක්, දේශපාලනඥයන්ට හිමි නොවිය යුතු බවය. ඒ අනුව වාහන බලපත්‍ර, නිල නිවාස, ඇතුළු යම් යම් දේවල් මන්ත්‍රීවරුන්ට නොලැබෙන බවද කියති. විශ්‍රාම ජනාධිපති නිල නිවාස, ඇමැති නිල නිවාස අහෝසි කළ බව ජනතාව ද දනිති. මෙවර අය – වැය යෝජනා කරන ඩබල් කැබ් රථ පිළිබඳ විපක්ෂය කරන විවේචන ආණ්ඩුව සිතා බැලිය යුතු ය. සර්වජන බලයේ දිලිත් ජයවීරට අනුව මෙය ප්‍රෝඩාකාරී වැඩකි. ඔහු අවධාරණය කළේ මේ වාහන වැය වීමේ පදනම සලකා බලා පසුව මන්ත්‍රීන්ටම ලබාදෙන බවකි. සජබය ද මෙය මගඩියකැයි චෝදනා කරයි. මන්ත්‍රීවරයකුට වාහනයක් ලබාදීම වෙනුවට රාජ්‍ය මුදල් නාස්තියක් මෙයින් සිදුවන බව ඔවුන්ගේ විවේචනයයි.

විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ප්‍රකාශ කළේ මෙම වාහන ආනයනයෙන් රටට සිදුවන ලාභයක් යහපතක් නැති බවය. හිටපු ඇමැතිවරුන්ගේ වාහන තමන්ගේ හිතවතුන්ට විකුණූ බවට චෝදනාවක් ද ඇසුණි. එසේම අගමැතිනියගේ සුපිරි වාහන භාවිතයක් ගැන ද විවේචනයක් ඇසුණි. දූෂණය, නාස්තිය, ජනතා මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විවේචනය කළ ආණ්ඩුවක් එබඳු චෝදනාවලට ලක්විය යුතු ද නැත. පාර්ලිමේන්තුවේ අය – වැය විවාදයේ ද වසන්ත ඇමැතිවරයා පැවසුවේ සඳුන් රුකට කෙබඳු පොරෝ පහරවල් එල්ල වුවත් එහි සුවඳ විහිදෙනු නිසැක බවය. අපට ඒ ගැන යමක් කිව නොහැක. එය ජනතාවගේ පොදු මතය බවට පත් කරගැනීමට ආණ්ඩුවට හැකි විය යුතුය.

2026ට ඉදිරිපත්ව ඇත්තේ පතෝල අය – වැය කැයි තම ජීවිත අත්දැකීම් මත පදනම්ව පවසන ගොවියන්ගේ විරෝධතාවක් ගැන ද අපට වාර්තා විය. ඒ අල, ලූනූ සහ තවත් භෝග කීපයක් මුල් කරගෙන ය. කැප්පෙට්ටිපොළ, දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානවල මෙම ගොවි විරෝධතා පැවැත්වුණු බව මාධ්‍යවල (10 වැනිදා) වාර්තා විය. ඇතැම් ගොවි සංවිධාන විසින් අනතුරු ඇඟවීම් ද කර තිබුණි. ඒ මේ ආණ්ඩුව ද ගෙදර යවන බවට ය. ඒ සමගම තව ටික කාලයක් ආණ්ඩුවට ඉඩ දියයුතු බව කී ගොවි නායකයෝ ද වූහ. මේ අල, ලූනූ ගොවීන්ගේ ප්‍රශ්නය ලබන වසරේ විසඳෙන බව ද අදාළ ඇමැති කීවේය. කුමක් වුවත් මේ වනතුරුත් ඒ ගොවියන් අර්බුදයක හිරවී සිටි ආකාරය පැහැදිලිය.

මෙරටේ සුළු ව්‍යවසායකයන් රැක ගතයුතු බව ආණ්ඩුව ද කියයි. මේ ගොවියන් රැක ගැනීම ද ආණ්ඩුවක වගකීමකි. කෘෂිකර්ම ක්‍ෂේත්‍රය පිළිබඳ බොහෝ විට කටින් බතල හිටවන වර්ගයේ කතා දේශපාලනඥයන්ගෙන් මෙන්ම නිලධාරීන්ගෙන් ද ඇසෙයි. එහෙත් ගොවියා තවමත් සරණාගතයෙකි. කිරි ගොවියන් ඇතුළු වෙනත් ක්‍ෂේත්‍රවලට සහන දෙන බව අය – වැය කතාවෙන්ද කියවුණි. ඒවා ක්‍රියාත්මක වැඩපිළිවෙළවල් සේ ඉදිරියට ගෙන යා හැක්කේ ද ආණ්ඩුවටත් ඒවා භාරව සිටින ඇමැතිවරුන්ටත් පමණි. වප්මඟුල්, ගොවි රජවරුන්, වැනි සැණකෙළි පවත්වා මහජන මුදල් වැය කළ ඒ ආණ්ඩු ගෙදර යැවූ නිලධාරීන් සිටියේත් මේ රටේය. වප් මඟුල් ගැන බඩ අල්ලාගෙන සිනා සිය හැකි කතා ද තිබේ. ප්‍රබල ඇමැතිවරයෙක් කැන්වස් සපත්තු දෙකක් දෙපයෙහි ලා කුඹුරට බැස සිටි පින්තූරයක් එදා පුවත්පතක පළ විය. එයට කැප්ෂන් එක ලෙස යොදා තිබුණේ ‘ඇමැතිවරයාට කුර ලෙඩ’ යනුවෙනි. අප මේවා මතක් කරන්නේ නිලධාරීන් විසින් අන්දවන ලද ඇමැතිවරුන් විහිළුකාරයන් වූ බව පෙන්වා දීමටය.

මේ අය – වැය ගැන කෙබඳු දේශපාලන විවේචන සිදු වූවත් එහි හොඳ නරක පිළිබඳ විනිශ්චයක් ලබාදිය හැක්කේ එහි ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් හා අවබෝධයෙන් පසුවය. ජනතාව ද තමන්ට දැනෙන දේවල් පවසන්නේ ද දේශපාලනය ඉක්මවූ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ය. කිසිවක් සැඟවිය නොහැක. සියලු රැඟුම් දැක්විය යුත්තේ හැංගි හොරා නොව ජනතාවගේ ඇස් ඉදිරිපිටය. ඩබල් පොකට් හා ඩබල් කැබ් ආණ්ඩුව ලෙස සජබය කියන මේ මැති ඇමැතිවරු ඒවාට පිළිතුරු දියයුතු වෙති. ජනාධිපතිවරයාගේ අය – වැය ප්‍රාර්ථනා ගොඩක්, සිහින සාප්පුවක් ලෙස හැඳින්වූ අයට එය යථාර්ථවාදී මහපොළවේ සැබෑවක් බවට පත් කර පෙන්වීම ද ආණ්ඩුවට භාරය.

දැන් අය – වැයෙනුත් රුපියල් මිලියන 1500 ක් වෙන් කළ ‘රට එකට’ මෙහෙයුම ගැන විමසා බලමු. පසුගිය දිනවල ජාජබයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සමග උද්ගත වූ සිදුවීම් පෙළ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා කළ ආකාරය ගැන ප්‍රසාදයක් ජනතාවට ද ඇත. ‘පැණි වරකාවට හෙණ ගහලා’ නේ දැයි ජාජබ විවේචකයෝත් පසමිතුරෝත් සිනාසුණහ. හැම දේශපාලන පක්ෂයකම කිල්ලෝටවල හුනු තිබෙනවා යන පොදු විවේචනයට දැන් ජාජබයට ද යටත්වී ඇත.

දේශපාලනය තෝරාගන්නා අය මොන ක්‍රමයකින් හෝ ඒ ඒ පක්ෂවලට රිංගා ගැනීමට හපනුන් බව මේවා දෙස බලන කවුරුත් තේරුම් ගනිති. ආණ්ඩුව නමැති කිරි කළයට ගොම එකතු කළ මේ දේශපාලන චරිතය ගැන විවිධ වාර්තා මාධ්‍යවල ද පළවිය. කුමක් වුවත් ඇයට එරෙහිව – ඇගේ සැමියා ඇතුළු පවුලට නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සමත් වීම නිසා ඒ ගතිය තරමක් මැකී ගිය බවද ඇත්තය. එහෙත් තවම ආණ්ඩුවේ පස මිතුරනුත් විශේෂයෙන් විපක්ෂවල අයත් මේ සිදුවීම බිම තැබීමට සූදානම් නැති බවද පැහැදිලිය. ලබන 21 වැනිදා නුගේගොඩ රැළියේදී මෙහි අලුත්ම ප්‍රකාශන එළි දැක්වීමට ද ඉඩ තිබේ. තවමත් මාධ්‍යවල වාර්තාවන්නේ කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලය සක්‍රීය වී තිබෙන බවය. මෙරටේ ධීවර බෝට්ටු හිමිකරුවන් මෙන්ම ක්‍රියාකරුවන් අතර ද මෙම ජාවාරමට සම්බන්ධ අය සිටිතියි හෙළි වී තිබේ. දේශපාලන පක්ෂවල සිට රාජ්‍ය ආයතන බොහොමයක් මේ කුඩු ජාවාරම් දැලට හසුවී තිබේ. පොලිසිය හා බන්ධනාගාර ගැන ද කියැවේ.

බන්ධාගාර අපරාධ හා කුඩු මත්ද්‍රව්‍ය මෙහෙයුම් ජාලයට සම්බන්ධ වී තිබීම බරපතළ ප්‍රශ්නයකි. ජංගම දුරකථන ඔස්සේ ඒවා මෙහෙයවන බවද රහසක් නොවේ.

බන්ධනාගාරවලට ජංගම දුරකථන අහසින් කඩා පාත්වන ඒවා නොවන බව පමණක් අදාළ නිල බලවලට කිව යුතුය. මේ මෙහෙයුම් සාර්ථක කරගැනීමට සහාය නොදෙන අය බන්ධනාගාරවල, පොලිසියේ හා හමුදාවල සිටිත්ද? රටම එකට කටයුතු කරන මෙහෙයුමකදී එයට දායක නොවන අයට ‘ඉවත් වෙනු’ යන ආඥාව ද පනවා තිබේ. පොලිස්පතිවරයාගේ අලුත් නීතියක් ගැන ද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි. එහි ඇඟවුම වූයේ අත්අඩංගුවට ගන්නා අයට දෙවිධියක ප්‍රතිචාර දැක්වෙන බව ය. හොරාටත්, කුඩ්ඩාටත් මුහුණ බලා පක්ෂය, පාට සලකා ක්‍රියා කළ දේශපාලනය දැන් අවසන් බව මැති ඇමතිවරුම පවසති. වල් වැදුණු රටක ගල් ගැහුණු හොර තක්කඩි බහුල සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම අභියෝගයක් බව ඇත්තය. එහෙත් ඒ සඳහා බලය අනුමැතිය ජනතාව විසින් ලබාදී තිබෙන බවද කිවයුතු ය.

අවසන් වසයෙන් මගේ අවධානය යොමු කෙරෙන්නේ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයට ය. එහි ගැබ් වන්නේ ලෝකයට ඕනෑ විදිහට රට අශීලාචාර කරන්න එපා. යන ප්‍රබල ඉල්ලීමකි. කාදිනල්තුමාගේ කට හඬින්ම ජනතාවගේ අවධානයට යොමු කර තිබෙන කරුණු කාරණා නිකම්ම හිස් දේවල් හෝ මනෝ විකාර හෝ නොවේ. හැම ආණ්ඩුවලම මේ වර්ගයේ විශේෂඥ උපදෙස් නිසා වරද්දා ගත් තැන් බොහෝ ය. පාසලින්, විශ්වවිද්‍යාලයෙන් පමණක් නොව ජීවන තක්සලාවෙන් ද උගත් අය මෙ රටේ සිටිති.

මඩොල්දූව චිත්‍රපටයේ පන්තිය භාර ගුරුතුමා තුන් වෙනි සිල් පදය (කාමේසු මිච්ඡාචාරා) පහදා දීමට බැරිව ඇඹරුණු හැටි අපේ පරපුරට මතකය. අද ඩිජිටල් ඉන්ටර්නෙට් යුගවල කුණු හරුප කියා දෙයක් ද නැත. ඒ කාලයේදී වියරණ ගුරුවරුන්ට තණ කොළවල ‘ණ’ යෙදීම පහදා දීමට ද අපහසු වී ඇත. වහරනු සෙරෙන් සපයා’ යැයි කියමනක් ද තිබේ. ළමා අපචාර, ලිංගික හිංසා නැවැත්වීමට සෞඛ්‍ය පාඩම වර්ධනය කිරීමට උපදෙස් දෙන විශේෂඥයෝ බොහෝවිට ජනවහර නොදන්නෝ ය. සභ්‍ය අසභ්‍ය වාද අදට වලංගු නොවිය හැක. එහෙත් ජීවිතාවබෝධය යනු වෙනම විෂයකි.

අගමැතිනිය පවසන්නේ සෞඛ්‍ය යනුවෙන් දසක කීපයක් පාසල්වල ඉගැන්වූ විෂය සංශෝධනය කර තිබෙන බවද? මේ ලිංගික අධ්‍යාපනයෙන් රටේ එබඳු අපයෝජන, අනාරක්ෂිත බව යම් ප්‍රමාණයකට හෝ අඩුවන බවද? එහෙත් අගමැතිනිය මේ කාර්යට එළඹීමට පෙර පුළුල් සංවාදයකට එය යොමු කළ යුතුය. ඔබ නම් නොකරන විශේෂඥයන් ද රටට හෙළි කළ යුතුය. කාදිනල් හිමියන් යනු ලෝකය හා නවීන තාක්ෂණයෙන් බොහෝ ආගමික නායකයන්ට වඩා පුළුල් හා දැක්මක් සහිත විද්වතෙකි. කාදිනල්තුමා මේ රට සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් මත පදනම්වූ රටක් ලෙස නොපැකිලිව සඳහන් කරන්නේ ද විවෘත හා පුළුල් මනසකිනි. එය තලේබාන් සංස්කෘතියක් නොව අතිශය ප්‍රබුද්ධ ප්‍රතිචාරයක් බව ද කිව යුතුය. සිංහල බෞද්ධ යන්න ‘වහ කදුරු වූ බටහිර මොඩලයේ මුග්ධ චරිත’ ගැන අපට ද හැමදාම විවේචනයක් තිබේ. ශිෂ්ටාචාරය ගලා බසින බවද අපි දනිමු. විවෘත අහසක් යට භේද නැති ආගමික, ජාතික හංවඩු නැති යහපත් සමාජයක් අපගේ ද පරම පැතුම බව ලියා තබමු.

පව පල්ලියට ගොස් දුගියා බත් කන නත්තලක් ගැන ලියන්නට තරම් නිහතමානී වූ කිතුනුවෝ අපට සිටිත් නම් එයම ආඩම්බරයක් නොවේද?

ගාමිණි සුමනසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here