‘ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු සෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි…’
ඔය සින්දුව තිබුණේ ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකේ. හැත්තෑව දශකයේ බයිස්කෝප් පිස්සන්ට නම් ඔය සින්දුව කොහොමවත් අමතක වෙන්න බැහැ. ඒ තරමට ඒ සින්දුව ඒ දවස්වල ‘හිට්’ වුණා. ඒ දවස්වල විතරක්මත් නවෙයි. ඒක මේ දවස්වලත් හිට්. කවමදාවත් ‘ඔබගේ රුව මාගේමයි’ සින්දුව කාටවත්ම අමතක වුණේ නැහැ. රියැලිටි ෂෝවලින් ආව සිහින තරු වාගෙම සුපිරි තරු පවා ඒ සින්දුව ප්‍රසංග වේදිකාවල ගයනවා තවමත් අහන්න පුළුවන්.
මේ හැටි පාරට්ටු කරන සින්දුව නිර්මාණය වුණු අතීතයට පොඩ්ඩක් ගිහින් එමුද?
ඒ කතන්දරයේ රසමුසු තැන් එමටයි. එයින් ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉහත කියන ටිකක් එහෙන් මෙහෙන් පලුදු වෙච්ච ෆොටෝ එකේ ඉන්නේ ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකේ ප්‍රධානම නළු නිළි යුවළක්. සෝනියා දිසානායකයි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුයි. ඒ දෙන්නා තමයි ඔබගේ රුව මාගේමයි සින්දුවට ආලිංගනය දුන්නේ. ඒක ටොප් ආලිංගනයක්. ඕඩියන්ස් එකේ විසිල් පාර තදට වැදුණු ටොපේ ටොප් ආලිංගනයක්. ඒ ආලිංගනයට අවැසි ස්ටෙප්ස් ටික ඩාන්ස් එක සෝනියාටයි ඇලෙක්සැන්ඩර්ටයි කියාදුන්නේ ඒ කාලේ ප්‍රවීණතම නැටුම් ශිල්පියෙක් වෙච්ච උපාලි මෙත්තානන්ද. ඒ උපදෙස්වලට වුවමනා තාලෙට සින්දුව හරි අපූරුවට කළේ ජනප්‍රිය ගායක එම්.එස්. ප්‍රනාන්දුයි, රංජනී පෙරේරායි ඊට වුවමනා හඬ ගැම්මට දුන්න නිසයි. එතකොට සෝනියාගේ හොඳ තරුණ වයස. ඇලෙක්සැන්ඩරුත් එහෙමයි.
දෙන්නා එකට එකතු වෙලා සින්දුවට අවශ්‍ය ඩාන්ස් එක මොන තරම් ලස්සනට දුන්නද කියනවා නම් රූගත කිරීම් බලාගෙන හිටපු හැමෝම ඇවිදින් ඔවුන්ව අගය කළාලු. ඒ තරම් රොමැන්ටික් තාලෙට ඒ සින්දුවට රඟන්න එයාලට තවත් විශේෂ හේතුවක් තිබුණාය කියලයි කියන්නේ.
මොකක්ද ඒ හේතුව?
සෝනියයි ඇලෙක්සැන්ඩරුයි ඒ දවස්වල ඇත්ත ජීවිතේ ආදරවන්තයන්ලු. ඒ ආදර සබඳතාව හරි හැඟීම්බරව තිබුණාය කියලා තමයි ආරංචිය. ප්‍රවීණ සංගීතඥ රොක්සාමිගේ කන්කලු සංගීතයෙන් හැඩවුණු ’ඔබගේ රුව මාගේමයි’ සින්දුවට ඉතා සරලව පදවැල් ඇමිණුවේ ප්‍රවීණ ගී පද රචක සුනිල් විමලවීරයි. සින්දුව යූටියුබ් එකෙන් ආයෙම බලන්න. සෝනියාගේත් ඇලෙක්සැන්ඩර්ගේත් ඇස් දිහා බලපුවාම එයාලගේ හිත්වල තිබුණු ආදරණීය හැඟීම් ඒ ලස්සන සින්දුව තවත් ලස්සන කරන්න දීලා තියෙන මිහිරියාව මොන තරම් අපූරුයිද කියන එක ඔයාලටත් දැනේවි.
මල්මි කෞෂල්‍යා
Saru FM Media