ටෙහෙරාන් නුවරට සෝවියට්, ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය නායකයන් රැස් වෙති… – Saru News | සිංහල

0
2

මෙම සිරස්තලය දකින ඔබ වික්ෂිප්ත භාවයට පත්වනු නොඅනුමානය. මේ සටහන තබන මොහොතේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එක්ස් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලටද පහර එල්ල කරන බවය. මෙවැනි වටපිටාවක  දී ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිළිබඳ භෞතික චිත‍්‍රයක් පරිකල්පනය කර ගැනීමට පවා අපි කිසිවෙකුත් සමත් නොවන නිසාය. එය සුන්බුන් ගොඩක් ලෙස කෙනෙකුට පරිකල්පනය කළ හැකිය. තවත් කෙනෙකු එය ගිනිගෙන දැවෙන නගරයක් සේ පරිකල්පනය කළ හැකිය. තවත් කෙනෙකුට යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය මිනිසුන්ගෙන් පිරුණු නගරයක් සේ පරිකල්පනය වනු ඇත. මේ ආදී වශයෙන් වූ ඛේදවාචකයන්ගෙන් පිරී ගිය ආවාට සහිත බිම් ප‍්‍රදේශ මෙන්ම කඩා හැලුණු ගොඩනැගිලි, කර්මාන්ත ශාලා ආදී බොහෝ දේ මනසේ ඇඳී යනු ඇත.

එහෙත් ඉරානයේ ටෙහෙරාන් අගනුවර යනු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිද මූලික වු සාමයේ තිඹිරි ගෙයක් ලෙස ඉතිහාසයට එක් වූ නගරයක් බව බොහෝ දෙනා නොදනිති. ෆැසිස්ට්වාදී නායක ඇඩොල්ෆ් හිට්ලර් දෙවන ලෝක යුද්ධය දියත් කිරීමෙන් පසුව මුළු ලෝකයම සාම පිපාසාවකින් දැඩිව වෙලී ගිය සමයක්ය ඒ. නිශ්චිතව කියන්නේ නම්, 1943 දෙසැම්බර් මාසයේදී සෝවියට් රුසියාව, මහා බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මූලික වී ලෝක සාමය දියත් කිරීම පිළිබඳව මූලික අදහසකට පැමිණ තිබිණි. එම අදහස සැලසුම් සහගත කි‍්‍රයාකාරිත්වයක් දක්වා ඉදිරියට ගෙන යාම සඳහා සෝවියට් දේශයේ නායක ජෝසප් ස්ටාලින්, මහා බි‍්‍රතාන්‍යයේ අගමැති, වින්සන්ට් චර්චිල් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් යන නායකයන් තිදෙනා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට රැස්වී ලෝක යුද්ධය නිමා කර, ලෝක සාමය ඇති කිරීම පිළිබඳ මූලික සාකච්ඡා මුහුණට මුහුණ ලා 1943 දෙසැම්බර් මස ආරම්භ කරනු ලැබීය.

එම සාකච්ඡාවලදී මූලික අවධානයක් යොමුකර තිබුණේ ලෝක යුද්ධය අවසන් කිරීමේ උපායමාර්ග දියත් කර ලෝක සාමය ඇති කිරීම සඳහා සියලුම රටවල් සහභාගී කර ගත් සංවිධානයක් පිහිටුවා ගැනීම කෙරෙහිය. මුල් කාලයේදී ජගත් සංවිධානය යනුවෙන් නම් කර, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යනුවෙන් නම්කර තිබෙන ලෝකයේ සියලුම රටවල් නියෝජනය වන ආකාරයට විවෘත සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය.

එතැන් සිට මේ දක්වා විවිධ දේශපාන හැල හැප්පීම් මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය වෙනුවෙන් යම් කිසි මෙහෙයක් සිදුකරන ලද බව පොදුවේ පිළිගැනීම වී තිබේ. නමුත් වර්තමානයේ ටෙහෙරාන් නුවරට එල්ල කෙරෙන අති දරුණු ප‍්‍රහාරවලින් එම නගරය පමණක් නොව මුළු ලෝකයම යළිත් යුධ භීතියකින් ඇලලී ගොස් තිබෙන බව පැහැදිලිය. ඉරානයේ කවර හෝ ඉලක්කයකට කවර මොහොතකදී හෝ එල්ල කෙරෙන ප‍්‍රහාර කෙතරම් ම්ලේච්ඡද යන්න ඇමෙරිකානු ජනාධිපතිගේ “X” ගිණුම් සටහනින් පැහැදිලි වී තිබේ. මේ යුද්ධය ආරම්භයේදීම බාලිකා පාසලකට එල්ල කළ ප‍්‍රහාරයකින් දියණිවරු සිය ගණනක් මරුමුවට පත් විය. දැන් ජල පිරිපහදු මධ්‍යස්ථානවලට පහර දෙන බව ප‍්‍රකාශ කිරීමෙන් හෙළි වන්නේ කිනම් දිසාවක් කෙරෙහි මෙම යුද්ධය ඇදී යන්නය.

මේ අතර ටෙහෙරානය තිඹිරිගෙය වී පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකම්ම නාම මාති‍්‍රක සංවිධානයක් බවට පත්ව තිබෙන බව බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ. ඉරානය මානව ඉතිහාසයේ මෙසපොතේමියානු (දෙගම්බඩ) ශිෂ්ටාචාරය ගොඩනැගීමට වසර 7000කට පමණ පෙර දායක වු ආකාරයෙන් විසිවන සියවසේ දෙවන භාගයේ මානව ශිෂ්ටාචාරය නිර්මාණය කිරීමට තිඹිරිගෙය වූ ටෙහෙරානය විනාශ කිරීම පිළිබඳව ඉතිහාසය ලියැවෙනු ඇත්තේ කවරාකාරයෙන්ද? ජොසප් ස්ටාලින්, විල්සන් චර්චිල් සහ ෆ‍්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් මුහුණට මුහුණ ලා එක්වී ආරම්භ කළ සාකච්ඡා මණ්ඩපයේ ඊළඟට කුමක් සිදුවීද? මේ පිළිබඳ සටහනක් ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here