ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය ඇමැතීම පිළිබඳ විවිධ සමාජ දේශපාලන ප්‍රතිචාර ඉදිරි දිනවලදී දැකගත හැකි වනු ඇත. ඒ පිළිබඳව සතුටු වන අය මෙන්ම ඇස හකුළුවා බලන අය ද සිටිය හැකි වෙති. පොදු ජනතාව අතරින් මතු වූ වරප්‍රසාද රහිත සමාජ ස්ථරයකට අයිති දේශපාලන නායකයකු වන අනුර කුමාරට එවන් ගෞරවයක් හිමිවීම පොදු ජනයාගේ නම් සතුටට හේතු වන්නකි. මෙරටේ විධායක ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරුණු මොහොතක එවන් විරල අවස්ථාවක් හිමිවීම පිළිබඳව පෞද්ගලිකව ඔහුට ද සතුටක් තිබෙනු ඇත. එසේම ජනාධිපති අනුර මහා මණ්ඩලය අමතමින් සිදු කළ කතාව, එහි අන්තර්ගතය හා හරය කුමක් දැයි විමසා බලන අය මෙන්ම ඔහුගේ කතාවෙහි වරදක් අඩුවක් හෝ ඇඳුමේ ඇදයක් එසේත් නැතහොත් කුමක් හෝ පලුද්දක් පෙන්වන අය ද සිටිය හැකි වෙති. ඒ නිදහස ඕනෑම පුරවැසියකුට තිබේ. එහෙත් මෙහිලා අපට වැදගත් වන්නේ ඔහු විසින් ගෝලීය දේශපාලනයට ලබාදෙන ලද පණිවිඩයත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත්, රටටත් එමගින් ලැබී තිබෙන සාධනීය ප්‍රතිඵලයක් තිබේ ද යන්නත් පමණි.
මේ මහා සමුළුවට සහභාගි වීමට ගිය ලෝක බලවතා තමන්ය යන අභිමානයෙන් මත්ව සිටින ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බ ගැන ද මාධ්‍ය වාර්තා කර තිබුණි. විදුලි සෝපානය අක්‍රියවීමත්, අබලන් වූ ටෙලිප්‍රොම්ටරයක් ගැන කනස්සල්ල පළ කළ ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්ලජ්ජිත ආයතනයක් ලෙස ද හැඳින්වීය. ඒ හැර යුරෝපයට, රුසියාවට, ඉන්දියාවට, චීනයට මෙන්ම ලන්ඩන් නගරාධිපතිට ද ඔහුගෙන් එල්ල වූයේ දැඩි විවේචනයකි. ජනාධිපති ට්‍රම්ප් හතර වටේට ම දෙසා බෑමට එඩිතර වුවත් ගාසා තීරය ගැන හෝ ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුගේ හපන්කම් ගැනවත් හ්ම් ශබ්දයක්වත් කළේ ද නැත. ඒ මහා බලවතුන්ගේ ස්වභාවයයි. ඔවුන් අනුදත් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ඇතුළු සදාචාර ධර්මයයි. දැනටමත් විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙන පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ප්‍රබල රටවල් කීපයක්ම තීරණය කර තිබීම ගැනවත් ට්‍රම්ප් කට ඇරියේවත් නැත. පලස්තීනය ගැන කතා කිරීමට ගිය රාජ්‍ය නායකයන් දෙතුන් දෙනාගේම මයිකෆොන් අක්‍රිය වීම ද තවමත් ප්‍රහේලිකාවකි.
මේවා මෙසේ සිදුවෙද්දී ලංකාවේ ජනාධිපති අනුර කුමාර සිය දේශනය පවත්වමින් අවධාරණය කළේ අපේ කලාපයට පමණක් නොව, ලොවටම මුහුණ දීමට සිදුවී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු කීපයක් ගැනය. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව, එයින් අගතියට පත් ජන ජීවිත මෙන්ම අප වැනි රටවල රුහිරු උරා බොන ජාත්‍යන්තර පොලීකාරයන් හා අප සිරවී සිටින ණය උගුල් ගැන ද ඔහු මතක් කළේය. ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන ක්ෂේත්‍ර වසා පැතිර ගිය හා යමින් තිබෙන දූෂණ, වංචා අල්ලස් ක්‍රියාකාරකම්වලට එරෙහි බිහිසුණු සටනක් අරඹා තිබෙන බවද ජනාධිපතිවරයා කියා තිබුණි. එසේම එබඳු දූෂණ අල්ලස්වලට එරෙහි සටනක් අරඹන්නේ නොමැති නම් එය ඊට ද වඩා බිහිසුණු විය හැකි බවද ජනාධිපතිවරයාගේ අවධාරණය විය.
අද ලංකාවේ තිබෙන අනෙක් බිහිසුණු වසංගතය මත්ද්‍රව්‍ය, අයිස්, ගංජා උවදුර බවද ජනාධිපතිවරයා මතක් කර තිබුණි. එහිදී ජාත්‍යන්තරව අවධානය යොමුවිය යුතු කරුණු ගැන ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මේ මත්කුඩු හා අයිස් ජාවාරම්කරුවන් මෙන්ම එයට බැඳී තිබෙන පාතාලයේ ජාවාරම්කරුවන් ද විවිධ රටවලට සංක්‍රමණය වී ඒවායේ සිට මේ අශිෂ්ට අපරාධ මෙහෙය වීම විශාල ගැටලුවක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි. ඇත්ත වසයෙන්ම මෑතකදී මේ රටට රැගෙන ආ කුප්‍රකට අපරාධකරුවන් ඇතුළු තවත් කීපදෙනෙක්ම ඔවුන්ගේ අපරාධ මෙහෙයුම් කර ඇත්තේ ද වෙනත් රටවල සිටය. තමාගේ සතුරකු ඝාතනය කිරීම සඳහා ලක්ෂ ගණන් ගෙවන පාතාලයන් ඇතැම් අවස්ථාවල දුරකථන මගින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරනු ද අප අසා තිබේ. මේ පාතාලයත් පුස්සක් බවත් ඔවුන් ඔසවා තැබීම නොකළ යුතු බවත් පොලිස්පතිවරයා ද වරක් පවසා තිබේ. එහෙත් නිර්ලජ්ජිත ලෙස එබඳු මුග්ධ ක්‍රියා කරමින් බඩ වඩාගන්නා ස්වල්ප දෙනෙක් හෝ විද්‍යුත් මාධ්‍යවල ද සිටිති.
ලෝක බලවතුන්ගේ යුදවාදී මානසිකත්වය පිළිබඳව ද ජනාධිපති අනුර විවෘත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම ද සුවිශේෂ සිද්ධියකි. ඔහු ප්‍රශ්න කළේ ගාසා තීරයේ දරුවන්ගේ හා හිංසනයට පීඩාවට ලක්ව සිටින අහිංසක ජනතාවගේ විලාපයන්ට සංවේදී නොවීම ගැනය. පලස්තීන රාජ්‍යයක් සඳහා ඒ ජනතාවට තිබෙන මානව අයිතියට ගරු නොකිරීම ගැනය. ලොව ජනකායෙන් සෑහෙන ප්‍රතිශතයක් කුසගින්නේ සිටින අධ්‍යාපන, සෞඛ්‍ය වැනි මානුෂික අයිතීන් සඳහා සම්පත් නැති පසුබිමක බිලියන ගණනින් යුද අවි නිෂ්පාදනයට මහා ධනයක් වැය කිරීම අපරාධයක් නොවේ ද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.
දසක තුනකට නොඅඩු අමිහිරි යුද්ධයක වින්දිතයන් ලෙස බහුතරයක් සිටි රටක ඒ අකාරුණික යුද ගැටුම් පිළිබඳ අඳුරු මතක සටහන් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර කීවේය. එදා ත්‍රස්තවාදීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි මහත්වරුන් සමහර දෙනෙක් මේ ගාසා තීරය දෙස නොබැලීම ද ප්‍රශ්නයකි. එසේ වුවද පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින සියලුම රටවලට අප ගරු කළ යුතු බවද ජනාධිපතිවරයාගේ ඇඟවීම විය. ඔහු පැවසුවේ ලෝක සාමය, මානව හිමිකම් සමානත්වය තේමාව බවට පත් කරගත් ජගත් සංවිධානයක් ඒ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය. ගාසා තීරයේ සංහාරය අවසන් කළ යුතු බවද ඔහුගේ ආයාචනය විය.
ලෝකය තනි යායක් වන නවීන තාක්ෂණික මෙවලම් කොපමණ නිර්මාණය වුවත් ඒ ලෝක ප්‍රජාව බියෙන්, කම්පනයෙන්, වැඩි දෙනෙක් කුසගින්නෙන් සිටිත් නම් එබඳු වාතාවරණයක ඒ නවීන විද්‍යා නිෂ්ඵල නිෂ්ක්‍රීය දේවල් පමණි. මානව ශිෂ්ටාචාරය ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය සමග ගලා යන ප්‍රවාහයක් නම් එහි ඇති ප්‍රතිඵලය කුමක්ද? ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් ජගත් සමුළුවේදී පවසා සිටියේ තම රට කිසිදිනක න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවය. ඇත්තටම තවමත් අපට යුද්ධයේ කර්ම විපාකයෙන් අත්මිදීමට නොහැකි වී ඇත්තේ ද ලෝකයේ සිටින මහ බලවතුන්ගේ බලකාමී තෘෂ්ණාව නිසාමය.
බී. බී. සී. හෝ අල්ජසීරා වැනි ලෝක ප්‍රවෘත්ති විස්තරවලින් පමණක් නොව මෙරටේ තිබෙන රූපවාහිනි නාලිකාවල විදේශ විත්ති නරඹන ප්‍රේක්ෂකයකුගේ දෑසට හසු වන්නේ යුද අවි කර තබාගත් ගිනි අවි එල්ලාගත් නොයෙක් සෙබළුන්ගේ දර්ශන පමණක් නොවේ. දින ගණන් කුසට අහරක් නැති ගැහැනු මිනිස්සු කොපමණ සිටිත් ද? කැඳ උගුරක් යදින දරුවන්ගේ දසුන් මෙන්ම ඇකයේ හොවාගත් බිලිඳාට පොවන්නට දෙතනේ කිරි කඳුළක් නැති අම්මලාගේ දසුන් ද ඒ ප්‍රේක්ෂකයා දකියි. ඊශ්‍රායල් බෝම්බවලින් විනාශ වී ගිය ගොඩනැඟිලි සුන්බුන් අතරින් උඩට එන දෙමව්පියන් නෑයන් කිසිවෙක් මිහිමත නොමැති කුඩා දරුවකුගේ හෙට දවස කුමක් විය හැකි ද? ජනාධිපති අනුරගේ ජගත් ආමන්ත්‍රණය තුළ රැව්දෙන්නේ යහපත් ලොවක බලාපොරොත්තු නොවේද? ලක්ෂ 220කට නොඅඩු මගේ රටේ හෙට දවස ලස්සන කිරීමේ අපේක්ෂාව, මට තිබේ. මා දකින්නේ ඒ සිහිනයයි. ගෞරවනීය මහත්වරුනි! එවැනි ලොවක් අපි ගොඩ නඟමු. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සමානාත්මතාව ආදි සියල්ල අර්ථවත් වන්නේ එබඳු ලොවක පමණි. ඒ අනුර කුමාර ජනාධිපතිවරයාගේ වදන්ය.
දැන් මේ දිනවල තිබෙන ප්‍රමුඛ මාතෘකා කීපයක් වෙත හෝ අවධානය යොමු කරමු. මැති ඇමැති වත්කම් ප්‍රකාශන ගැනත් තංගල්ලේ දේශපාලනඥයන් කවුරුන් හෝ සම්බන්ධයක් ඇතැයි පොලිසිය භාර ඇමැතිවරයාම චෝදනා කරන අයිස් – හෙරොයින්, කුඩු ආදී මත්ද්‍රව්‍ය ගැනත් විවිධ පුවත් ඇසෙයි. මේ අයිස් තොගවලට අමතරව ඒවා නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොග පිටින් ද හමුවී තිබේ. තවමත් චූදිතයකු ලෙස අත්අඩංගුවට පත්ව සිටින ප්‍රාදේශීය දේශපාලන චරිතයක් ගැන ද විවිධ කතන්දර ගලා යමින් තිබේ.
මැලේසියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ පාතාලයන් විසින් ඔවුන්ගේ අපරාධ හා සම්බන්ධ තොරතුරුවලට අමතරව මේ මත්ජාවාරම් ගැන ද කරුණු හෙළි කරමින් සිටින බවද මාධ්‍යවල පළවී තිබුණි. මාධ්‍ය ඒ සඳහා යොදාගෙන තිබුණු පදය වූයේ අපරාධ හා කුඩු ගැන සියල්ල වමාරමින් සිටින බවය. එහෙත් කෙබඳු වැමෑරීම් කළත් මෙතෙක් ඒවා පසුපස සිටි දේශපාලන චරිත ගැන නම් වාර්තා වී නැත. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර නම් මේ පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කිසිවෙක් නොවෙතියි දැනට තිබෙන තොරතුරු අනුව කිව හැකිය. එහෙත් මේ සියලු විනාශයන් සමග කලක් තිස්සේ අපේ දේශපාලනය ද සම්බන්ධව තිබුණු බව කියති.
කෙසේ වෙතත් මෙම මත්කුඩු, අයිස්, ගංජා තොග පිටින් හමු වූ කාලයක් මීට පෙර නොවීය. එහෙත් එදා සිටම දේශපාලනයට අමතරව පොලිසිය, බන්ධනාගාරය පමණක් නොව, විදේශ ගමන් බලපත්‍ර හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ගණනාවක්ම මේ දුශ්චරිත රට පුරා ගෙන යෑමට යම් යම් අනුග්‍රහකත්වයක් ලබාදී ඇත. අද ඒවායේ මුල් පුරුක් ලිහී ගැලවී ගියත් තවමත් දම්වැල එහෙම පිටින්ම ගලවා විසන්ධි කිරීමට හැකි වී නැත. ඒවා පිරිපහදු කරගැනීම සඳහා අදාළ ඇමැති හා පොලිස්පති ඇතුළු ඉහළින්ම ලැබෙන අනුග්‍රහය ප්‍රශස්ත බවද කිව යුතුය. පේරාදෙණි විශ්වවිද්‍යාලයෙහි මූලිකත්වයෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් මෙරටේ මතට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යා හා ඒ වරදට අත්අඩංගුවට ගත් අයගේ ප්‍රමාණයන් ද හෙළි කරගෙන ඇත. මේවා මොන ආකාරයෙන් සිදු වුවත් ගුවන්තොටුපළින් හා මුහුදුබඩ මාර්ග ඔස්සේ කෝටි ගණන් මිල කළ හැකි කුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත හැකි වී තිබේ.
මේ අතර මැති – ඇමැතිවරුන්ගේ වත්කම් – බැරකම් ප්‍රකාශන සම්බන්ධයෙන් මතු වී තිබෙන ආන්දෝලන හා සංවාදවලට ක්‍රිප්ටෝ ගිණුම් පිළිබඳ පුවතක් ද එක්ව තිබේ. ඇමැති වසන්ත සමරසිංහ හා කථානායක ජගත් වික්‍රමරත්න යන දෙදෙනාගේ නම් ද සඳහන් කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි. ඇමැති වසන්තගේ වත්කම් ගැන විවිධ කතා ද ඇසෙයි. කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද කී පරිදිම මේ වත්කම් ගැන දැන ගැනීමට, ප්‍රශ්න මතු කිරීමට බාධාවක් ද නැත. එහෙත් දැන් විපක්ෂ චෝදනා කරන්නේ මෙබඳු වත්කම් ධනය සහිත ජවිපෙ සිය පාක්ෂිකයනගෙන් හෝ හිතවතුන්ගෙන් යම් යම් දේවල් ලබාගෙන දේශපාලනය කිරීම වැරදි බවය. මෙරටේ දේශපාලනයේදී සිදුවන මුදල් ගනුදෙනු පක්ෂ අරමුදල්වලට ලැබෙන ප්‍රදානයන් පිළිබඳ සත්‍යය තොරතුරු කිසිවෙක් (ඒ පක්ෂවල කීපදෙනෙක් හැර) දනිත්ද? මැතිවරණවලදී පක්ෂ දෙක තුනකටම ලක්ෂ ගණන් දෙන ව්‍යාපාරිකයන් ගැන ද රටම ගනී. ඒ ප්‍රදානයන්ට බලයට පත්වූ පක්ෂවලින් පෙරළා උපකාර කරන බවද ප්‍රකට රහසකි. එපමණක් නොව, මන්ත්‍රීවරුන්ට මුදල් චෙක්පත් ලබාදීම් ගැනද තොරතුරු තිබේ.
මේ වත්කම් සම්බන්ධයෙන් රටට හෙළිකිරීමේ වත්කම් බැරකම් පනත සම්මත කර ඇත්තේ අයථා පරිදි ඒවා උපයා ගෙන ඇද්දැයි සැකහැර දැන ගැනීමටත්, යම් අගතියක් සිදුව ඇත්නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්ය. මාසයක් දෙකක් ඇතුළත කෝටි ගණනක වත්කමක් උපයා ගත් දේශපාලනඥයන්ට පමණක් නොව වෙනත් අයට ද ඒවා පිළිබඳ පැහැදිලි කිරීම් කළ හැකි විය යුතුය. කිසිම දිනක කිසිම වෘත්තියක් නොකළ අය සමාජයේ ගෙවන ඉසුරුමත් ජීවිත සම්බන්ධයෙන් සැකයට භාජන වීමද සාමාන්‍ය දෙයකි. දේශපාලනයේ කතාවෙන “මැණික් මලු” වැනි ධනලාභ වුවද නීතිමය වසයෙන් පිළිගන්නා දේවල් නොවේ. ජාතික ලොතරැයියක් ඇදීම වැනි දෙයක් ගැන නම් ප්‍රශ්නයක් නැත. එසේම තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය රටේ පවතින නීතිය අනුව ඒවාට බදු ගෙවා තිබේද ආදී කරුණු ද වත්කම් සම්බන්ධයෙන් තිබෙන නීතිවලට ඇතුළත්ය. බැංකු ගිණුම්, ඒවා ලබාගත් ආකාරය වුවද අවශ්‍ය වුවහොත් පැහැදිලි කිරීමේ නීතිමය විධිවිධාන තිබේ.

මේ සියලු නීතිමය විධිවිධාන පනවා ඇත්තේ දූෂණ, වංචා, අල්ලස් වැළැක්වීමටය. කිසියම් ව්‍යාපාරිකයකු විසින් දේශපාලන පක්ෂවලට හෝ වෙන වෙනම කෙනකුගේ ඡන්ද කටයුතුවලට මුදල් දීම හා පක්ෂයක අයකුට කෙහෙල් කැනක් හෝ ඇඳුමක් කැඩුමක් දීම හෝ එක සමාන ද නැත. කෙහෙල්වලට හෝ ඇඳුමට ද මිලක් ඇත. එය හුදු පෞද්ගලික ප්‍රදානයකට සමීප වූවකි. එහෙත් පක්ෂයකට ලක්ෂ ගණනක් දී බලයට පත්වූ පසු කෝටි ගණනක් ඉපයීම සදාචාර සම්පන්න ද නැත. කුමක් වුවත් ජවිපෙ මැති ඇමැතිවරුන් උත්තර දියයුත්තේ කෙහෙල් කැන් හෝ ඇඳුම් ආදිය ලබාගැනීම නොව, තමන් නමට තිබෙන වත්කම් කෙසේ ලබා ගත්තේද? ඒවාට බදු ගෙවා තිබේද? යන ප්‍රශ්නවලටය. එසේම තමන්ගේ වත්කම් මේ වසරක් වැනි කාලය ඇතුළත දේශපාලනයෙන් උපයාගෙන තිබේ නම් එයද පැහැදිලි කළ යුතුය.
ජවිපෙ වත්කම් ගැන ඝෝෂා කරන අනෙක් අය ද තමන්ගේ වත්කම් උපයා ගත් ආකාරය ජනතාවට හෙළි කළ යුතුය. එසේම ඒවාට බදු ගෙවීම් නිසිලෙස කර තිබේද? යන්නත් පැහැදිලිව දැක්විය යුතුය. මෙරටේ දේශපාලන පක්ෂවල අරමුදල් මෙන්ම වෘත්තීය සංගම්වල වත්කම් ගැන ද විගමනයන් කර තිබේ දැයි අපි නොදනිමු. මුදල් යනු නිතරම අවභාවිතය සඳහා ඇදී යන කාන්දමකි. බුදුන් වදාළේත් මුදල් සර්පයකු මෙන් බිහිසුණු බවය. බුදුන් වහන්සේ වැඩ විසූ යුගයේදීත් මූල්‍ය වංචා, අපරාධ, අල්ලස් පිළිබඳ සිදුවීම් වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි ද සඳහන් වේ. එදා අල්ලසට දඬුවම හිස ගසා දැමීමය. බුදුන් වහන්සේ අනුමත කර වදාළේ සාංඝීක ක්‍රමයකි. පොදු පරිහරණය සඳහා වූ සමුපකාර ක්‍රමයකි. කාල්මාක්ස්ට පෙර ප්‍රාග්ධනය ගැන වදාළේ බුදුන් වහන්සේය. ධනය නොබෙදීම අපරාධවලට හේතුවක් බවද උන්වහන්සේ වදාළහ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිට අනුව ක්‍රිප්ටෝ මුදල් ගැන ලංකාවේ නීතියක් ද නැත. කුමක් වුවත් මහජන නියෝජිතයන් වසයෙන් ජනතාවගේ සැකයට තුඩුදෙන ගනු දෙනු හෝ වෙනත් දේවල් හෝ තිබිය යුතු නැත. මුදල් සම්බන්ධයෙන් රටේ තිබෙන පොදු නීතිය කාටත් අදාළය. විශේෂයෙන් මහජන මුදල් භාවිත කිරීම ඉතා පිරිසිදුව කළ යුත්තකි. නීතියට අවනත වීමත් නීතියේ උත්තරීතර ආයතනය වන අධිකරණයත් නොතකා කටයුතු කිරීම බරපතළ වරදකි. හිටපු ආගමන විගමන පාලකයාට දෙවසරක සිර දඬුවමක් නියම වූයේ ද අධිකරණයට අපහාස කිරීමේ වරදටය. එනිසා යහපත් සමාජයක් පතිරූප දේශයක් ගොඩනැංවීම සඳහා අවංක, සත්‍යවාදී පාලකයන් මෙන්ම පුරවැසියන් ද අවශ්‍ය බව ද අවධාරණය කළ යුතුය.
Saru FM Media