ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනා ඇතුළු 5ක් යළි රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
7

සිය පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූර හෙබවූ පුද්ගලික සමාගමේ එතනෝල් ප්‍රවාහනයට සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම, කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා ඊයේ (13) නියෝග කර තිබේ.

හිටපු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් සකීර් හා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුත්‍රයින් වන ජොහාන් ප්‍රනාන්දු, හා ජෙරම් කෙනත් ප්‍රනාන්දු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුවන් පස්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් විසින් පසුගිය නඩු වාරයේදී නියෝගයක් නිකුත් කළ අතර ඒ සම්බන්ධ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක්ද සැකකරුවන් විසින් මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්‍යක්ෂ ධූරය හෙබවූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබාදී රියදුරට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් ලක්ෂ දෙකකට අධික මුදලක් අවභාවිතා කිරීම, රජයේ දේපළ සපරාදී සාවද්‍ය පරිහරණය, කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ හත්වන සැකකරු ලෙස නම්කර සිටින ලොරි රථයේ රියදුරු සමන් විතාන අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවය.

පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර ඇති පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇන්ටන් රොනල්ඩ් සෙබස්තියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.

සමුපකාර තොග වෙළද සංස්ථාවට අයත් වාහන සහ රියදුරන් පුද්ගලික කටයුතු (එතනෝල් ප්‍රවාහනයට) සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, සුවඳ විලවුන් හා පිරිසිදු කාරක නිෂ්පාදනයට යැයි අඟවමින් රාජ්‍ය නිලධාරීන් රවටා එතනෝල් ආනයනය කිරීමට බලපත්‍ර ලබා ගැනීම හා එසේ සත්‍ය වසංකර ආනයනය කළ එතනෝල් මගින් මත්පැන් නිෂ්පාදනය කර රජයට අයවිය යුතු බදු මුදල් අහිමි කිරීම යන චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.

වත්තල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කරන බවට 2015 නොවැම්බර් 12 දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු නිර්ණාමික පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය ලබන 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබේ.

සැකකරුවන්ට ඇප ලබා දෙනවාද යන්න සැකකාර පුතුන් දෙදෙනාට ඇප දෙනවාද යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවටද වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා නියෝග කර ඇත.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here