ජේ. ආර්.

0
6

අදට (17දා) යෙදෙන මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි. ප්‍රේමතිලක මාපිටිගම මහතා විසින් 1998 දී ලියන ලද්දකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ යුග පුරුෂයකු ලෙස විශිෂ්ටත්වයට පත් වූවෙකි. ජේ. ආර්. ජයවර්ධන මහතා සිය අද්විතීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රඥාවෙන් හා ඉසිවරභාවයෙන් දේශපාලන ක්‍ෂේත්‍රය වර්ණවත් කළ, මේ සිය වසර තුළ ජනිත වුණු ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයකු ලෙස ඔහුගේ දේශපාලන වෛරක්කාරයන් විසින් නොකැමැත්තෙන් වුවද පිළිගනු ලබන ඔහු, ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නට ද පෙරාතුව මෙරට දේශපාලන ප්‍රවාහයට එක් වූ දේශමාමක, ජාතික නායක දැවැන්තයන්ගේ පරපුරේ අවසාන පුරුක ලෙස ඉතිහාසයට එක්ව සිටී.

යටත් විජිත ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු ලෙස දේශීය ව්‍යවස්ථාදායකයට සම්බන්ධව එතැන් සිට දශක පහක් ඉක්මවන දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ දේශපාලනයට එක එල්ලේ සම්බන්ධව සිටිමින් ඔහු විසින් ඉටු කැරුණු මෙහෙවරට සම කළ හැකි සේවාවක නියැළි දේශීය නායකයන් වෙතොත් ඒ අතළොස්සක් පමණි. තමා මුළු ජීවිත කාලයම සම්බන්ධ වී සිටි එක්සත් ජාතික පක්‍ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ජේ. ආර්. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායකගේ ඇමති මණ්ඩලයේ මුදල් ඇමැතිවරයා ලෙස එම රජයේ ප්‍රථම සය අවුරුදු සැලැස්ම සම්පාදනයෙහි පුරෝගාමී වෙමින්, ජාතික සංවර්ධන ක්‍රියාවලියට මුල් අවධියේ සිටම දායක වූයේය.

ලංකාවේ දේශපාලන ඉතිහාසයට මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසය සමග ද යාවජීව ලෙස බැඳී සිටි ජේ. ආර්. පක්‍ෂය බලයේ සිටි සෑම වකවානුවකම ප්‍රධාන ඇමැති පදවියක් ඉසිලූ අතර පක්‍ෂය බලයෙන් පිරිහී ඇදවැටුණු අවස්ථාවල එහි ගැලවුම්කාරයා ද වූ අන්දම ජනතාවට නොරහසකි. 1956 මහ මැතිවරණයේදී ලත් අන්ත පරාජයෙන් පසු පක්‍ෂය යළි නැඟිටුවා ගැනීම සිය අද්විතීය සංවිධාන කුසලතාව ඔහු රටටම විදහා පෑ අවස්ථාවකි. ඒ වසර අවසානයේ කොළඹ හා දකුණේ රතු බලකොටුවක් වූ මාතර පළාත් පාලන මැතිවරණවලදී සිය පක්‍ෂය ජයග්‍රහණය කරා මෙහෙයැවීමට ඔහුට හැකි විය.

1970 දීත් 56 පරාජය යළි දෝංකාර දෙන අන්දමේ ඇදවැටීමකට ලක්වීමෙන් පසු එක්සත් ජාතික පක්‍ෂයේ මිනී පෙට්ටියේ අවසන් ඇණය ද ගසා නිම කළෙමු යි උදම් ඇනූ ප්‍රතිවාදීන්ගේ ජයඝෝෂා හිස් ප්‍රලාප බවට පත්කෙරෙමින් ජේ. ආර්. යළිත් දස්කම් දැක්වීය. මේ ජයග්‍රහණවලට හේතු සාධක වූ එක්සත් ජාතික පක්‍ෂය පොදු ජනතාවට වඩාත් සමීප කැරවීම සඳහා ප්‍රතිසංවිධානය කිරීමේ ගෞරවය මුළුමනින්ම හිමිවිය යුත්තේ ජේ. ආර්. ට බවට විවාදයක් නැත. ජේ. ආර්. නොසිටින්නට එක්සත් ජාතික පක්‍ෂයක් නැතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ගේ අවමඟුල් උළෙලේදී සඳහන් කළේය.

මොළකාරයන් නොව දළකාරයන්ගෙන් අඩුවක් නොපෙන්වූ ස්ථාවරයක පැවැති එක්සත් ජාතික පක්‍ෂයට නව මුහුණුවරක් දීමේ ප්‍රයත්නය ජේ. ආර්. තුළ එදා සිටම පැවති බව ඔහු කළ කී දේ විමසන විට පෙනී යයි. ජන සම්මතවාදයට ගරු කරන, ඒ පදනම මත ක්‍රියාත්මක වන පක්‍ෂයක් පිටතින් මෙන්ම ඇතුළතින් ද පොදු ජනතාව සමග එක්ව හැසිරීමට ඉවහල් වන ගති – ඉරියව්වලින් යුක්තවීම වැදගත් වෙයි. නායකත්වය සඳහා නම නියම කෙරුණු සුවිශේෂ ඉහළ පෙළැන්තියකුත් සදහටම නිකම්ම සාමාජික තත්ත්වයේ පසුවන සුළු පෙළැන්තියකුත් සිටීම කිසිසේත් පක්‍ෂයේ ප්‍රගතිය පිණිස නොවන බව ජේ. ආර්. ගේ පිළිගැනීම විය. ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසු (1973) පක්‍ෂ නායකත්වය ලැබුණු දා සිට ඔහු කටයුතු කළේ ඒ පිළිවෙත මත පිහිටමිනි. දක්‍ෂතා ඇති, උගත් බුද්ධිමත් ප්‍රතිගාමී තරුණයන්ට පක්‍ෂයේ ඉහළට යන්නට අවකාශ ලබාදීමට ඔහු පසුබට නොවීය.

දේශපාලන කරළියේ කාලයක් කරක් ගසන විට පදවි ලෝභය හා බල ලෝභය ඉස්මතුවීම බොහෝවිට දැකිය හැකි ධර්මතාවකි. ජේ. ආර්. තුළ මේ ගති ලක්‍ෂණය දක්නට නොතිබුණු තරම්ය. පක්‍ෂයට නව පණදීම සඳහා සිය සංවිධාන ශක්තිය, ප්‍රඥාව හා උපායශීලිත්වය උපරිමව යෙදවූ ඔහු පක්‍ෂ නායකත්වයට එන්නට එය උපයෝගි කැර නොගත්තේය. පක්‍ෂ නායක ඩඩ්ලි සේනානායක සමග ඔහු මත ගැටුම් ඇති කැරගත් අවස්ථා තිබුණ ද ඒවා නායකත්වය පිළිබඳව නොවීය. 1953 දී ප්‍රථමවරට අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ ඩඩ්ලි සේනානායක සිය අනුප්‍රාප්තිකයා ලෙස වඩාත් සුදුස්සා ජේ. ආර්. බව නිගමනය කොට ඒ බව ඔහුට දැන්වූ විට ජේ. ආර්. ඊට නොකැමැති වූ අන්දම කේ. එම්. ද සිල්වා සහ හවඩ් රිගින්ස් එක්ව සම්පාදනය කළ ජේ. ආර්. චරිතාපදානයේ සඳහන් කොට තිබේ. කෙසේ වුවත් ඩඩ්ලි සේනානායක, සිය නෑදෑ පෙළැන්තියේ ඇතැමුන්ගේ ‘උල් පන්දම්’ නිසා, ජේ. ආර්. තම නායකත්වයට තර්ජනයක් බව වැරැදි ලෙස වටහා ගෙන ඔහුට ‘පලා බෙදූ’ අවස්ථා ද තිබුණු බව එම කෘතියේ තවත් තැනෙක දක්වා තිබේ.

ජේ. ආර්. ගේ ක්‍රියාකාරකම් දෙස බලන කල පැහැදිලි වන එක් දෙයක් නම් ඔහු නිරතුරුව කැපවී සිටියේ පක්‍ෂය ජයග්‍රහණය සඳහා ශක්තිමත් කිරීමට මිස, බලය කරා යන්නට කෙටි මාර්ගයක් සෙවීමට ඔහු කිසි විටෙක නොපෙලඹුණු බවය. ඒ නිසාම ඔහුට පක්‍ෂ නායකත්වය කරා ළඟාවීමට දීර්ඝ කාලයක් ගතවිය. ඔහු සතුව පැවැති දුර්ලභ ගණයේ ඉවසිලිවන්ත භාවයත්, අපේක්‍ෂිත අරමුණ කරා ළඟාවීමේදී සැලසුම් සහගතව සීරු මාරුවෙන් පියවර තැබීමට සිය හැඟීම් ක්‍රමාන්විතව පණ ගැන්වීමට උපයෝගි වූ විස්මයජනක ආත්ම ශක්තියත් විසින්, දේශපාලන ක්‍ෂේත්‍රයෙහි පමණක් නොව දේශයේ සමාජ, ආර්ථික ක්‍රියාවලියෙහි ද විප්ලවීය වෙනස්කම් රැසක් සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්‍ෂයක් විසින් මෙතෙක් ලබා ගත නුහුණු අසම සම විජයග්‍රහණයක් කරා එක්සත් ජාතික පක්‍ෂය පෙළගස්වමින් 1977 දී ඓතිහාසික වාර්තාවක් තැබීමට ඔහු සමත් වූයේය.

මෙසේ අසීමිත ජනවරමකින් සන්නද්ධව රටේ පාලනය භාරගත් ජේ. ආර්. ජයවර්ධන මහතා ඒ ජන බලය ජනතාවගේම සමාජ – ආර්ථික පුනර්ජීවනයට හේතු පාදක වන පරිදි මෙහෙයැවීම සඳහා මෙවලමක් කැර ගත්තේය. තමා කලක් තිස්සේ සිහින මැවූ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය පණගන්වනු පිණිස අවශ්‍ය යැයි හැඟුණු පියවර ගැනීමට ඔහු පසුබට නොවීය. මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා එමගින් ස්ථාපනය කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය ඔහුගේ විප්ලවීය සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමකි. තම පක්‍ෂය සදහටම බලයේ තබාගැනීමේ උප්පරවැට්ටියක් ලෙස විවේචනයට ලක් වුවද මේ ව්‍යවස්ථාදායක වෙනස්කම් ඇසුරින් විශාල ආර්ථික පෙරැළියක් රට තුළ සිදුකිරීමට ඔහු සමත් විය.

බටහිර රටවල්, විශේෂයෙන් බි්‍රතාන්‍යය කෙරෙහි ජේ. ආර්. විශේෂ ළෙන්ගතුකමකින් යුක්ත විය. අපරදිග රටවල් මෙන්ම, ඒවා වෙත ඈඳුණු සිංගප්පූරුව, කොරියාව, මලයාසියාව ආදී පෙරදිග රටවල් විසින් වැලඳ ගනු ලැබූ නිදහස හෙවත් විවෘත ආර්ථික සංකඅල්පය ශ්‍රී ලංකාවේ ද ආර්ථික සංවර්ධනයට ඉවහල් කැරගත හැකි බව ඔහු ඇදහුවේය. විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කළ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති මත ස්ථාපනය කෙරුණු නිදහස් වෙළෙඳ කලාප හෙවත් ආයෝජන ප්‍රවර්ධන කලාප තුළින් ලක්‍ෂ ගණනින් රැකියා අවස්ථා උදාවිය.

මහ ආණ්ඩුව කේන්ද්‍රකොට පැවති පාලන බලතල විමධ්‍යගත කිරීමේ සංකල්පය ක්‍රියාවට නැංවීමට ජේ. ආර්. ජයවර්ධන පියවර ගත්තේ පළාත් සභා සහ දිසා අමාත්‍ය ක්‍රමය හඳුන්වා දෙමිනි.

ජේ. ආර්. ගේ පාලන යුගයේ සිදුවුණු දැවැන්තම සංවර්ධන ක්‍රියාදාමය ලෙස මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ඉතිහාසගත වී තිබේ. වසර 30 කින් නිමකිරීමට නියමිත වූ මහවැලි ව්‍යාපෘතිය හඅය වසරක් ඇතුළත සපුරා ගැනීමේ විශ්වකර්ම ව්‍යායාමය සැබෑවක් කරගනු සඳහා බටහිර රටවල් ගණනාවක් තරගයට මෙන් මූල්‍ය හා තාක්‍ෂණික ආධාර සැපයීමට පෙළගස්වා ගැනීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමත් විය.

සිය ජීවිත කාලයෙන් අඩකටත් වඩා ක්‍රියාකාරී දේශපාලනය උදෙසා කැප කළ ඔහු තරම් අසමාන විශිෂ්ටත්වයකින් අප රටේ දේශපාලනයෙහි නිමග්නව සිටි වෙනත් පුද්ලයකු වී යැයි සිතීම උගහටය. දේශපාලන මංපෙතේ අනේක විධ ගිරි ශිඛර තරණය කරමින් තමා හමුවේ පැනනැඟුණු බාධක, පෙරට යන්නට තැනූ පියගැට ලෙස සලකා ඒවා තරණය කරමින් සන්සුන්ව එහෙත් ස්ථාවරව අපේක්‍ෂිත අරමුණු කරා යෑමේ කලාව මැනවින් ප්‍රගුණ කළ ජේ. ආර්. මෙරට විසූ සාර්ථකම දේශපාලනඥයා බව නිගමනය කිරීමට ඔහු ඉටු කළ ජාතික මෙහෙවර දක්නා කෙනකු පෙළඹීම අසාධාරණ නොවේ. අනාගතය විනිවිද දක්නා තියුණු මනැසකින් යුතු වූ, එනිසාම නිරතුරුවම කාලයට ඉදිරියෙන් සිටීමට සමත් වූ මේ අග්‍රගණ්‍ය රාෂ්ට්‍ර පාලකයා අභාවප්‍රාප්ත වූයේ මෙරට දේශපාලන වංශ කතාවේ එක් යුගයක් නිම කරමිනි.

ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ
මහ ලේකම්ව සිටි
ප්‍රේමතිලක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here