එක්කෙනෙකුගේ නික්ම යාම ගැන සටහනක් තියලා හමාර වෙද්දි තව කෙනෙක් සමු අරන්. ඒ අය සහ මගේ ජීවිතය අතර තිබුනු සම්බන්ධය ගැන සටහනක් තියන්න බැරි නං ඒක මට ලොකු හිස්කමක්. ඒ මිනිස්සු මට ගොඩක් දේවල් දීලා තියෙනවා.
ලංකාවෙ සිකරට්මය හඩ තමයි සමන්ද සිල්වා. එකක් ඉවරවෙන කොට තව සිකරට් එකක් පත්තු කරගත්තා. ඒ සිකරට් කහට කටහඩේ දැනුනා. අලුත් පරම්පරාවලට නැති swag එකක් සමන්ගෙ තිබුන.
අපි හිටියෙ කටුබැද්දෙ, සමන් හිටියෙ අගුලානෙ. කවදාවත් වයසට නොගිය දගයක් සමන්ගෙ හඩේ තිබුන. ඒ කටහඩට අපි පොඩිකාලෙ ඉඳන් සාදවල නැටුවා.
එයා හිටියෙ ජීවිතේ ආස්වාදය පැත්තෙ. ඩයොනීසියානු අර්ධයේ. වේදනාව වෙනුවට සතුට ගැනයි සමන් සිංදු කිව්වෙ. ලංකාවෙ මේ සතුටු පරම්පරාවෙ උරුමයට මං ගොඩක් ගරු කරනවා. ඒක නාගරික උරුමයක්. වොලී බැස්යන්ලාගෙන්, සීටීලාගෙන් එන උරුමයක්. අපේ ජීවිත ප්‍රීතිමත් කළ පෘතුගීසි උරුමය.
සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න එන්න මිත්‍රයෝ
ඉන්න ඩිංගෙ භේද වෙන්නෙ ඇයි අහෝ මෙසේ..
ඉරිදා උදේට සමන්ද සිල්වා අහනවා කියන්නෙම දවසෙ මල් පිපෙනවා කියන එක. මුලු දවසම කහපාටකින් පිරිලා යනවා. දිව රත් කරන රස විස්කි උගුරක් හොයාගෙන යනවා. ඒක ඉරිදා සමීපතමයන්ගේ සාදයේ පටන් ගැන්මක් වගේ.
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලිින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජො ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ගෝවෙ නොනැසෙන වයලින්..
සමන්ගේ සිංදුවල ජීවිතේ දැක්කෙ අනුරාගී නර්තනයක් වගේ. ඒක සංගීතයෙන් සහ සුන්දර ගැහැණුන්ගෙන් පිරිලා තිබුන.
අපිට ග්‍රාමීය පරම්පරාවලින් එන උරුමය තමයි දුක. ඒක මේ සතුටට ප්‍රතිවාදීව නැගෙන එකක්. ඇතැම් විට ගැඹුරු පැවැත්ම මූලික දාර්ශනික කතිකාවලනුත්, ඇතැම් විට ඉරිසියාව වෛරය මුසු කතන්දරවලිනුත් මේ දුක උරුමය විසින් සතුටු උරුමයට පහර දෙනවා. එතකොට සතුට සිංදු කියනවා.
.තණ නිල්ල දිගේ
ඇදිලා යනවා
සිත මා පිරිලා…
කියලා සමන් කියද්දි මට ඇහෙන්නෙ ඒ සිංදු කියන නිදහස. සතුට. ජීවිත් වෙන්න ආස හිතවන ක්‍රීඩාමය විනෝදය.
Saru FM Media