ජීවන වේදිකාවෙන් බැසගිය නලින්…

0
5

ආදරණීය සහෘදයෙක්, ජනතාවාදි කලාකරුවකු වූ ප්‍රවීණ රංගන ශිල්පි නලින් ප්‍රදීප් උඩවෙල 23දා අපෙන් සදහටම නික්ම ගියේය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ මත්තෙගොඩදී සිදුවිය. නලින් 56 වැනි වියේදී සිය දිවි ගමන අකාලයේ නිමා කරන්නේ මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ජූරිය, කැලණි පාලම, මේඝ, මෝදර මෝල, මීහරක්, නව හුණුවටයේ කතාව, සෙවනැලි ඇද මිනිස්සු, සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍ය වලින් නලින් දැක්වූ විශිෂ්ට රංගන කෞෂල්‍ය කවදාවත් අමතක නොවනු ඇත. බට්ටි, බාලෝලි, ඇත්කඳ ලිහිණි, ඉර අවර, ඉසුරු පවුර, මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍ය රැසකට ඔහු රංගනයෙන් දායක වී ඇත.

මේ ආදරණීය කලාකරුවා කලකට ඉහතදී දිවයින පුවත්පත සමග කළ සංවාදයක කොටසක් යළි මෙලෙස පළකරනුයේ ඔහුට උපහාරයක් වශයෙනි.

දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු… යැයි එදා හෙන්රි ජයසේනයන් හුණුවටයේ කතාව නාට්‍යයේ අසඩක් ලෙස කළ ප්‍රබල ප්‍රකාශය ඔහු එම චරිතයෙන් මිදී අවුත් හෙන්රි ජයසේන ලෙස පෙනී සිටිමින් සැබෑ ලෙස ප්‍රකාශ කර තිබිණි.

ඒ ඔහු මිය යෑමට පෙර හුණුටටයේ කතාව සඳහා නවක රංගන ශිල්පීන් තෝරාගත් අවස්ථාවේදීය. අසඩක්ගේ චරිතයට විවිධ ශිල්පීන් යොදා නාට්‍ය පුහුණුවීම් කළත් ඔහු එයින් සෑහීමකට පත්ව තිබුණේ නැත. පුහුණුවීම් අවසානයේ නිවසට ගොස් කනස්සල්ලෙන් සිටියදී දිනක් සිය බිරිඳ මානෙල් ජයසේන මහත්මිය එක් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ නලින් ප්‍රදීප් උඩවෙල නම් වූ රංගන ශිල්පියා ඒ චරිතය සඳහා සුදුසු දැයි පරීක්‍ෂා කරන ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි ඔහු නලීන්ට ඇරයුම් කර තිබිණි. සති තුනක පමණ කාලයක් බොරැල්ල පුංචි තියටරිහිදී පුහුණුවීම් කරගෙන යන අතරතුර දිනක හෙන්රි ජයසේනයන් ප්‍රේක්‍ෂකාගාරයේ සිට දෑත් ඉහළට නගමින් අත්පොළසන්දී නලින් වෙත පැමිණ එකී රංගනයෙන් සෑහීමකට පත්වූ බව මහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කර තිබුණේ එම නාට්‍යයේම මෙකී දෙබස් ඛණ්ඩයද පවසමිනි.

වසර හතළිහකට වැඩි කාලයක් තමා ජීවත් වූ අසඩක් චරිතය වෙනත් තරුණ ශිල්පියෙකුගෙන් නැවත දකින්නට තරම් ඔහු සතුව තිබූ නිහතමානී ගුණය මට ඇත්තටම පුදුමාකාර ධෛර්යයක් වුණා. මම මේ නාට්‍යය ඊට පෙර නරඹලා තිබුණෙත් එක් වතාවයි. පිටපත අතේ තියාගෙන සති දෙකක් විතර දෙබස් කිව්වා. එතැනදී හෙන්රි මහත්මයා කිව්වා දෙබස් ඇඟට අරගෙන පිටපත ඈත් කරන්න කියලා. පසුබිමින් දෙබස් කියවන්නෙක් හිටියත් ඒ ගැන බලාපොරොත්තුවෙන් රඟපාද්දී චරිතයේ තාත්ත්වික බව ගිලිහෙන බව එතුමා මට පැවසුවා. පසුව මම ඒ ගැන උනන්දු වුණා. සතියක් විතර පිටපත නැතුව පුහුණුවීම් කළා. අවසානයේ එතුමා පුදුම විදිහට සතුටට පත් වුණා. එතුමා ජීවිතයෙන් සමුගන්න ඇත්තෙත් ඒ සැහැල්ලුවෙන් වෙන්න ඇති. එතුමාගේ හිතේ බරක් තිබුණේ නැහැ. මානෙල් ජයසේන මහත්මිය මිය යෑම ඔහුට දැඩි වේදනාවක් තනිකමක් ඇති කළා. ඒ හැර ඔහුට ජීවිතයේ වෙනත් දුකක් තිබුණා කියා මම කියන්නේ නැහැ. කොහොම වුණත් මුල් කාලයේ ජාතික තරුණ සේවා සභාවේදී එතුමා ගුරුවරයෙක් විදිහට මට මුණ ගැසුණා. නාට්‍ය කලාවේ අත්පොත් තබන කාලයේ එතුමාගේ ගුරුහරුකම් මගේ කලා ජීවිතයේ අත්තිවාරම් ලෑවා. එවැනි බොහෝ ප්‍රවීණයෙන්ගේ ඇසුර මගේ ජීවිතයට ආලෝකයක් වුණා. අපේ රටේ නාට්‍ය කලාවේ දැවැන්ත එහෙමත් නැත්නම් ප්‍රතාපවත් චරිත හැටියට සැලකෙන්නේ මනමේ, සිංහබාහු සහ අසඩක් යන චරිතයි. එයින් එක් චරිතයක් හෝ රඟපාන්න ලැබෙනවා කියන්නේ රංගන ශිල්පියෙකුට පුදුම වාසනාවක් කියා මම හිතනවා. නලින් පැවැසීය.

බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය නිර්මාණයක් වූ හුණුවටයේ කතාව දුරස්තකරණය නම් රංග රීතිය යටතේ නිර්මාණය වූ අති ප්‍රබල වේදිකා නාට්‍යයකි. හැදූ මවත්, වැදූ මවත් අතර දෝලණය වන දරු සෙනෙහසක සැබෑ සංවේදී මානුෂීය යථාර්ථය මෙම නාට්‍ය හරහා අපූර්වට විග්‍රහ වේ. මෙකී උභතෝකෝටික අර්බුදයේ මැදිහත්කරු බවට පත්වන්නේ අසඩක් ය. ඔහු නඩුකාර හාමුදුරුවන්ය. එහෙත් ඔහුගේ ආධ්‍යාත්මය හැසිරෙන්නේ සැබෑ පීතෲ සෙනෙහසකිනි. ඔහුගේ අවසාන විනිශ්චයටද ඉවහල් වන්නේ එකී පීතෲ හැඟීම මිස නඩුකාර හාමුදුරුවන්ගේ භූමිකාව නොවේ. මෙකී චරිතයේ මතුපිට භූමිකාවත් මනස හා අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයත් වඩාත් හොඳින් තහවුරු කරගනිමින් හෙන්රි ජයසේනයන් එය ප්‍රේක්‍ෂකයන්ට හුවා දැක්වූයේ අපූර්ව ආකාරයෙනි. නලින් ප්‍රදීප් ඊට සාධාරණය ඉටු කරන බවට එකම සාක්‍ෂිකරු වන්නේද හෙන්රි ජයසේනයන්ම වීම විශේෂත්වයකි. බොහෝ වේලාවට පෘතග්ජන මිනිසුන් හැටියට තමන් රඟපෑ චරිතයක් තව කෙනෙක් රඟපාද්දී සියුම් හෝ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. නමුත් හෙන්රි ජයසේනයන්ගේ නිහතමානීකම කොතෙක්ද කියනවා නම් එතුමාට අවශ්‍ය වුණේ මේ නාට්‍යය එතුමාගෙන් පසුවත් මිනිසුන් අතර තව චිරාත් කාලයක් පවතින්න ඉඩ සැලැස්වීමයි. ඔහු මගේ රඟපෑම්වල අඩුපාඩු අවංකව ම පෙන්නා දීලා චරිතය හරි තැනකට ගන්න දැරූ උත්සාහයෙන්ම ඒ බව තහවුරු වෙනවා. අනික තමයි එතුමා හැම විටම කිව්වේ මේ චරිතය හරියටම කරන කෙනා මම නෙවෙයි, මට වඩා හොඳට වෙන කෙනෙක් මේ චරිතය රඟපායි. එතැනට එන්න උත්සාහ කරන්න කියලයි.

එතුමා තවත් ප්‍රකාශයක් නිතරම කරනවා ඒ තමයි මාව අනුකරණය කරලා මම වගේ රඟපාන්න උත්සාහ කරන්න එපා. චරිතය තේරුම් අරගෙන ඊට සාධාරණය ඉටු කරන්න කියලා. මම හිතනවා මම ඒ සාධාරණය ඉටු කරනවා කියලා. අදටත් මගේ රඟපෑමේ අඩුපාඩු කවුරුහරි කිව්වොත් මම ඒ ගැන දෙවරක් කල්පනා කරනවා. ඒ නිහතමානීකම එතුමාගෙන් මම ඉගෙන ගත්තා. මම මගේ ප්‍රේක්‍ෂකයන්ට පවසන්නේ මේ දිනවල හුණුවටයේ කතාව නව නිෂ්පාදනය වේදිකා ගත වෙනවා. ඇවිත් නරඹලා අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා මම ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා හෙතෙම පැවැසීය.

නලින් මේ කාර්යයට අමතරව ඉන්දික ෆර්ඩිනැන්ඩිගේ පිටපතත් ඇසුරෙන් ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරන අළුපාට හීන වේදිකා නාට්‍යයේ රූගත කිරීම්වලටත් මේ දිනවල සම්බන්ධ වී සිටී. ඊට සමගාමීව උදයසිරි වික්‍රමරත්නගේ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල ද නිරතව සිටී.

උදයසිරිගේ වේදිකා නාට්‍යය මම හිතනවා මම තවදුරටත් වේදිකා නාට්‍ය කලාවේ ඉන්නවාද නැද්ද කියලා තීරණය කරන්නා වූ නාට්‍යයක් බවට පත් වේවි කියලා. ඒකෙ නම සුද්දෙක් ඔබ අමතයි මෙහිදී සිදුවන්නේ සිංහල තරුණයෙක් සුද්දෙකුගේ හැසිරීම් ජීවන චර්යාවන් පමණක් නොව සිතුම් පැතුම් පවා අනුකරණය කරමින් ඒ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන ආකාරයයි. මේක පහසු දෙයක් නොවෙයි. එහෙම ජීවත්වෙන එක අමාරු තරමටත් වඩා එවැනි චරිතයක් නිරූපණය කිරීම අපහසුයි. මේ නාට්‍යයේ නාට්‍ය කොටස් තුනකින් සමන්විතයි. ඉතිහාසඥයෙක් ඔබ අමතයි කියලා තියෙන කොටස ජයලත් මනෝරත්න මහත්මයා රඟපානවා. මාධනී මල්වත්ත රඟපාන්නේ එහි ස්ත්‍රියක් ඔබ අමතයි කියන කොටසයි. මනෝ අයියා නම් මොනවා ම හරි කර ගනියි. මටයි මාධනීටයි තමයි යන එන මං නැති වෙන්නේ.

(සිනාසෙමින්) මේක අපට අලුත් රංග ක්‍රමයක් වුණාට ලෝකයේ වෙනත් රටවල මෙවැනි ක්‍රම සහිත නාට්‍ය තියෙනවා. මේකෙදි එක චරිතයක් විනාඩි හතළිස් පහක් පමණ එක දිගට වේදිකාවේ රඟපානවා. එකම චරිතයක් වැඩි වේලාවක් වේදිකාවේ රැඳී සිටීම ප්‍රේක්‍ෂකයන්ට දැඩි අපහසුවක් වුවත් රඟපෑමේ ප්‍රබලතාව අනුව එය ප්‍රේක්‍ෂකයන්ට රසවත් වෙන්න පුධවන්කම තියෙනවා. ඉතිං මේ චරිත අපි කොතරම් ප්‍රබලව රඟපානවාද කියලා දැනගන්න වෙන්නේ නාට්‍ය වේදිකාගත වෙද්දී ප්‍රේක්‍ෂකයන් එක්කෙනා දෙන්න නැගිටලා යද්දි තමයි. කොහොම වුණත් මෙතෙක් නාට්‍ය කලාවේ ලැබූ අත්දැකීම් හා පුහුණුව උපයෝගි කර ගනිමින් ඉතා හොඳින් ඒ චරිතය රඟපාන්න උත්සාහ දරනවා.

තුෂාරී කළුබෝවිල

ඡායා – සමන් අබේසිරිවර්ධන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here