ජීවත්වෙන්න ෆිල්ම් කරන්නේ නැහැ – රොෂාන් රණවන

0
2

රඟපෑමට ඇවිත් වසර විසිඑකයි

ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියකු වන රොෂාන් රණවන රංගනයෙන් දායක වන ‘සිහින සරුංගල්’ ළමා චිත්‍රපටය පසුගියදා තිරගත කිරීම ආරම්භ කළා. ඔය අතරේ රොෂාන් තව අලුත් වැඩ කිහිපයක්ම පටන් ගත්තා කියලත් ආරංචියි. ඉතිං ඒ නිසාම අපි රොෂාන් එක්ක කාලෙකට පස්සේ පුංචි කතාබහක නිරත වුණා.

රොෂාන් කොහොමද ඉතිං?

මේ දවස්වල අතිශය කාර්යබහුලයි. පසුගිය 26 වැනිදා ඉඳලා මම රංගනයෙන් දායක වුණු ‘සිහින සරුංගල්’ කියන ළමා චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා. ලෝක ළමා දිනය කේන්ද්‍ර කරගෙන තමයි ඇත්තටම මේ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ. දෙමාපින් දරුවන්ට අධ්‍යාපනය පමණක් කේන්ද්‍ර කරගෙන දුවන කාලයක්නේ මේ අද කාලේ. දරුවන්ගේ ගුණධර්ම පිරිහිලානේ තියෙන්නේ. ඒ වගේ කාලෙක මේ වගේ චිත්‍රපටයක් කාලෝචිතයි කියලා හිතනවා.

කොහොමද මේ සඳහා ආරාධනාව ලැබුණේ?

මෙහි සම අධ්‍යක්ෂවරයා වන තාරක අධිකාරිව මම කාලයක් තිස්සේ දන්නේ වේශ නිරූපණ ශිල්පියෙක් විදිහට. ඔහු මීට කලින් මාත් එක්ක ගොඩක් චිත්‍රපටවල වැඩ කරලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂණය කරනු ලබන පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න කියලා මට ආරාධනාවක් කළා.

මංගල දර්ශනය නරඹලා එහෙම පුතා මොනවද කිව්වේ?

මම ගොඩක් වෙලාවට එයාට චිත්‍රපට පෙන්වන්නේ නැහැ. එයාට බලන්න පුළුවන් විදිහේ චිත්‍රපට විතරයි මම පෙන්වන්නේ. සිහින සරුංගල් තමයි පුතා බලපු දෙවැනි චිත්‍රපටය.

තාත්තාගේ රංගනයට සතුටු වුණාද?

තාත්තා හොඳට රඟපෑවා කියලා පුතා කිව්වා. පුතා හරි සතුටු වුණා. තාත්තා ගැන හරි ආඩම්බරයි කියලත් කිව්වා.

ඔය අතරේ මේ දවස්වල ටෙලි නාට්‍යයකුත් විකාශය වෙනවා නේද?

කාලෙකට කලින් රඟපෑ ‘සංසාර’ කියලා ටෙලිනාට්‍යයක්. මම හිතන්නේ දුෂේනි ක්ෂේත්‍රයට ආපු කාලෙ වගේ කරපු නිර්මාණයක්. ඔය අතරේ මමයි ශේෂාදියි රඟපාන ශාන් ජයරත්නගේ මගේ ළමයි කියන ටෙලිනාට්‍යයත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

අලුත් චිත්‍රපටයකුත් භාරගත්තා කියන්නේ ඇත්තද?

ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ පුතා අධ්‍යක්ෂණය කරනු ලබන අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් හෙට අනිද්දාම ආරම්භ කරනවා.

ඔබ වැඩිපුර කාලය යොදවන්නේ සිනමාවටද?

එහෙම දෙයක් නැහැ. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමදේම වෙනස් වෙලා තියෙන කාලයක තමයි අපි ජීවත්වෙන්නේ. රංගන ශිල්පියකුට සිනමාව හෝ ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් අතරට හොඳ දෙයක් දෙන්න තමයි ඕනෑ.

මෙතෙක් ආ ගමන ගැන මොකද හිතන්නේ?

මේ තාක් ආපු ගමන ගැන නම් ඇත්තටම සතුටුයි. මම ක්ෂේත්‍රයට ඇවිත් වසර 21යි. නිරූපණ ක්ෂේත්‍රයේ වසර 24ක්. අවුරුදු 25ක් ගියත් තවම ප්‍රධාන ධාරාවේ මොනවා හරි වැඩක් කරලා අපි ඉන්නවා.

මේ වෙනකොට චිත්‍රපට කීයක වැඩ කරලා තියෙනවාද?

ඔය කතාව ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. මමත් හැමදාම මතක් කරලා ගණන් හදාගෙන අද කියන්නම් කියලා ඉන්නවා. නමුත් මටත් හැමදාම අමතක වෙනවා. මම හිතන්නේ තිහකට ආසන්න ප්‍රමාණයක රඟපාලා ඇති.

අදටත් ඔබ ජනප්‍රියයි. ඒක රඳාපවත්වා ගන්නඑක ලේසි නැහැ?

ලේසි නැහැ… ලේසි නැහැ…. මම හිතන්නේ තමන් ඔළුව කල්පනා කරලා ක්ෂේත්‍රයේ ගමන් කරන්න ඕනෑ. තමන් තමන්ගේ අනන්‍යතාවය හදාගත්තේ නැතිනම් තමන්ට මේකේ රැඳෙන්න අමාරුයි. ඒ අනන්‍යතාවය අනුව තමයි තමන්ට ඉදිරියේදී නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ. මම ගොඩක් වෙලාවට වෙළෙඳ සන්නාම එක්ක තමයි වැඩ කරන්නේ. ක්ෂේත්‍රයේ අතළොස්සකට තමයි ඒ අවස්ථාව හම්බවෙන්නේ.

තව චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවද?

තවත් චිත්‍රපට පහක් තිරගත වෙන්න තියෙනවා.

සිහින සරුංගල් සඳහා ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

ඒක සාමුහික ප්‍රයත්නයක්. මේක ළමයින් වෙනුවෙන් කරපු නිෂ්පාදනයක්. වෙන නිර්මාණවල වගේම මේ නිර්මාණයත් ඒ කෝණයෙන් බලන්න හොඳ නැහැ. මේක දරුවන් වෙනුවෙන් කරපු වැඩක්. මගේ පුතා වුණත් ලොක්ඩවුන්වලට පස්සේ බලපු දෙවැනි චිත්‍රපටය.

රොෂාන් නිර්මාණ තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?

ඔව්…ඔව්… අනිවාර්යයෙන්ම. මට දැන් රඟපාන්න දෙයක් නැතිනම් මම ඒ නිර්මාණය භාරගන්නේ නැහැ. එහෙම නැතිව මම ජීවත්වෙන්න ෆිල්ම් කරන්නේ නැහැ. මට ජීවත් වෙන්න ෆිල්ම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ රඟපෑමේ වැඩකටයුතු දියුණු කරගන්න පුළුවන් විදිහේ චරිත ලැබෙනවා නම් තමයි මම නිර්මාණයක් භාරගන්නේ. නැතුව ජීවත්වීම පිණිස මම සිනමාවේ හෝ ටෙලිනාට්‍ය කලාවේ රැඳෙන්නේ නැහැ. ඒක මම ලොකුකමකට නෙමෙයි කියන්නේ.

රඟපෑම් වැඩවලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය?

හැමදාම වගේ ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇය තමයි මගේ හොඳම විචාරකයා.

තවමත් නිරූපණයට ආරාධනා ලැබෙනවාද?

අනිවාර්යයෙන්ම ආරාධනා ලැබෙනවා. නමුත් මම මුලින් සඳහන් කළා වගේම තෝරා බේරාගෙන තමයි ඒ නිර්මාණවලට දායක වෙන්නේ. ඉස්සර වගේ ඕනෑ නම් නියැළෙන්න පුළුවන්. නමුත් මම දැනට විශේෂ අවස්ථාවක් තමයි භාරගන්නේ.

රොෂාන් තවමත් මුල අමතක කරලා නැහැ නේද?

මම රංගන ක්ෂේත්‍රයට එන්නෙත් නිරූපණයෙන්. අනික මම කැමැතිම ක්ෂේත්‍රයත් නිරූපණය. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන්න පුළුවන් වුණෙත් නිරූපණයෙන්. මම ජාත්‍යන්තර තරග හයකට විතර සහභාගි වෙලා තිබෙනවා. මම හිතන්නේ දැනට ලංකාවේ වැඩිම ජාත්‍යන්තර තරග ප්‍රමාණයකට සහභාගි වුණ කෙනා මම. පිරිමි අංශයෙන් මුලින්ම කීර්තියක් රැගෙන ආවෙත් මම. මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් කියල මගේ පළමු වැනි ජාත්‍යන්තර තරගය. 2002 වසරේ තමයි පැවැත්වුණේ. ලෝකයේ ටොප් ටෙන් අතරට ඒ කියන්නේ 7 වැනියා වෙන්න පුළුවන් වුණේ මට. පිරිමින්ගෙන් පළමුවරට එවැනි කීර්තියක් රැගෙන ආවේ මමයි. ඒ හරහා මට තවත් ජාත්‍යන්තර තරග කිහිපයක් ලැබුණා.

දිනේෂ් විතාන
ඡායාරූප -සජීව ලක්ෂාන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here