ජිනීවා මීට් ෂොප් ඇන්ඩ් සුපර්මාර්කට්

0
8

(මේ දිනවල විවෘත කරනු ලැබ ඇත)

ජිනීවා මානවහිමිකම් කොමිසම නමැති මස් කඩය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද සිට මාසයක පමණක කාලයක් සඳහා විවෘත කරන බව දැන ගන්නට තිබේ. මෙය මස් කඩයක් වන්නේ තුන්වන ලෝකයේ දුප්පත් රටවලට ය. ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පංචමහා බලවතුන්ටත් වෙනත් පොහොසත් රටවලටත් මේ මස් කඩය ක්‍රියා කරන්නේ සුපර්මාර්කට් එකක් ලෙසට ය. ඒ රටවල නායකයන්ට මේ සුපර්මාර්කට් එකෙන් ලෝකයේ හොඳම බඩු ලබාගත හැකි ය. ලංකාව වැනි දුප්පත් රටවල් ජිනීවා මස් කඩයට ගිය සැණින් ජාත්‍යන්තරය සඳහා අලෙවි කරනු පිණිස පංචමහා බලවතුන්ගේ මස් කොකුවල එල්ලනු ලැබේ. මේ මස් කොක්කෙහි ටික දිනක් එල්ලී සිටීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති විජිත හේරත් ඊයේ උදයේ ලංකාවෙන් ප්ලේන් එකකට නැග ජිනීවා නුවරට පිටත්ව ගියේය. මෙහිදී ලෝකයේ සියලු බලවත් රටවල් ඔහුට පහර දෙනවා ඇත. ඒ ලංකාවේ මානවහිමිකම් කඩවී ඇති බව කියමිනි. 1983 දී ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී යුද්ධය පටන්ගත්දා සිටම ජිනීවා මානවහිමිකම් කොමිසම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත්තේ ය. ලියෑම් ෆොක්ස් සහ එරික් සෝල්හයිම් ඇතුළු යුරෝපීයයන් ගණනාවක්ම උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන්ට භාරදිය යුතු බව කියා සිටියේ ය. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සිය දේශපාලන කේන්ද්‍රය බවට පත් කර ගත් එම්. ජී. රාමචන්ද්‍රන්, මුතුවේල් කරුණානිධි ඇතුළු දේශපාලනඥයන් රාශියක්ම උතුරු නැගෙනහිර අයිතිය ප්‍රභාකරන්ට පැවැරිය යුතු බව කීවේය. එහෙත් ලංකාව දෙකට කැඩෙනවාට ඉන්දියාව මධ්‍යම රජය තුළ කිසිදු කැමැත්තක් තිබුණේ නැත. එබැවින් ඉන්දිරා ගාන්ධිගේ පටන් බලයට පත්වූ සියලු ඉන්දියානු අගමැතිවරුත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදිනුත් මෙරට ආණ්ඩුවත් විවිධාකාරයෙන් බැලන්ස් කරමින් තම තමන්ගේ ඡන්ද පදනම්වලට හිතැති දේශපාලන ගමනක් ගියහ. මේ දේශපාලන ගමන කෙළවර වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධිත්, ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාසත් බෝම්බ ගසා මරා දැමීමෙන් පසුව ය. ඒ දෙකම කළෝ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ය. ලංකාවේ දී ප්‍රේමදාස ඝාතනය සිදු කළේ ‘බාබු’ නමැති කොටියා ය. මරාගෙන මැරෙන බෝම්බය පුපුරන විට ඔහුගේ හිස කඳින් ගැලවී උඩට ගොස් ආපසු පොළොවට වැටිණ. රජීව් ගාන්ධි ඝාතනයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරියක පිපිරවීම සිදු කළේ ය. ඇගේ නම කලයිවානි රාජරත්නම් ය. කොටි සංවිධානය තුළ ‘ධනු’ යන නමින් ඇය හඳුන්වන ලදී. පිපිරීමෙන් පසු ඇගේ හිස ද ගැලවී උඩ ගිය අතර පසුව බිම තිබී හමුවිය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රහාර නිසා ලංකාවේ බුද්ධිමත්තු ද ජන නායකයෝ ද රණවිරුවෝ ද විශාල ප්‍රමාණයක් මිය ගියහ. එසේම තවත් විශාල ප්‍රමාණයක් සදාකාලික අබ්බගාතයන් බවට පත්වූහ. ජිනීවා මස් කඩයේ දී සාකච්ඡා කරනු ලබන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මානවහිමිකම් පමණි. සිංහල ත්‍රිවිධ හමුදාවේ මානවහිමිකම් සහ හොඳම සිංහලයකුටත් වැඩි සිංහල නැමියාවක් තිබූ සහ හොඳම බෞද්ධයකුටත් වැඩි බෞද්ධ නැමියාවක් තිබූ දෙමළ මිනිසකු වූ ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ කඩවූ මානවහිමිකම් ගැන ජිනීවා මස් කඩයේ දී කවුරුත් කතා නොකරති. ඔවුහු නිතරම චෙම්මනි මිනී වළ ගැන කතා කරති. එහෙත් නැඟෙනහිර පළාතේ දී කොටි සංවිධානය විසින් එකවර ඝාතනය කර, එකම වළකට දමා පස් යට කළ පොලිස් නිලධාරීන් පන්සිය ගණන ගැන ඔවුන් කතා කරන්නේම නැත.

මේ වෙලාවේ දී ලෝකය පුරා බෙදුම්වාදී සටන් සහ ආණ්ඩු විරෝධී ගරිල්ලා යුද්ධ දාහක් පමණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. මේවායේ දී සිදුවන මිනිස් අයිතිවාසිකම් කඩවීම් ගැන කතා කිරීමට ජිනීවා මස් කඩයට වෙලාවක් නැත. පලස්තීනය තුළ ඉතා කෲර යුද්ධයක් පවතී. මීට දෙවසරකට පමණ පෙර ඇරඹි මේ යුද්ධය නිසා ඉස්ලාම් භක්තිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් ඇත. එයින් අඩක්ම කාන්තාවෝ ය. අඩුම ගණනේ කුඩා දරුවන් පන්දහසක් මේ යුද්ධය නිසා බෝම්බ ප්‍රහාරවලට ලක්වී මියගොස් තිබේ. එසේම රුසියාව සහ යුක්රේනය අතර දරුණු යුද්ධයක් පවතී. මේ යුද්ධයේ දී යුක්රේනයේ දහස් ගණන් ජනයා මියගොස් තිබේ. මේ ගැටුම් දෙකම ක්‍රියාත්මක කරන්නේ බලවත් රටවල් දෙකකි. පලස්තීනයට ගහන්නේ ඊශ්‍රායලයයි. යුක්රේනයට ගහන්නේ රුසියාවයි. මේ රටවල් දෙක මානවහිමිකම් කොමිසම කියන දේවල් තඹ තුට්ටුවකට ගණන් ගන්නේ නැත. ඔවුන් බලන්නේ තම රටේ ජනයාගේ ආරක්‍ෂාව පමණි. මේ රටවල් දෙක ඉදිරියේ දී ජිනීවා මස් කඩය වසනු ලැබේ. ඒ මානවහිමිකම් මස් වෙළෙඳාම කරගෙන යෑමට නොහැකි බැවිනි. මේ රටවල් දෙකත්, ඇමෙරිකාවත්, චීනයත් මානවහිමිකම් මස් කඩෙන් මස් ගන්නේම නැත. ඔවුන් මස් ගන්නේ සුපර්මාර්කට්වලින් පමණි.

ජිනීවා මානවහිමිකම් කොමිසම හැම අවුරුද්දකදීම ලංකාවට විරුද්ධව යෝජනාවලියක් සම්මත කරනු ලැබේ. කඩවූ මානවහිමිකම් පිළිබඳ විමර්ශන කිරීම, මිනී වළවල් හාරා ඒවා තුළ ලංකාවේ සුළු ජාතිකයන් සිටී ද යන්න බැලීම, මානවහිමිකම් කඩකළ ත්‍රිවිධ හමුදාවේ අය එල්ලීම, ත්‍රිවිධ හමුදාවලට නියෝග දීමට දේශපාලන තීන්දු ගත් දේශපාලන නායකයන් උල හිඳුවීම යනාදිය එම යෝජනාවලිය මගින් යෝජනා කරනු ලැබේ. එම යෝජනා ක්‍රියාත්මක කරනතුරු ලංකාවට සම්බාධක පැනවීම මානවහිමිකම් මස් කඩයේ වැඩපිළිවෙළ ය. බලයට පත්වුණ හැම ආණ්ඩුවක්ම ඊළඟ අවුරුද්දේ දී ජිනීවා මස් කඩයට එන විට මේ පොරොන්දු ඉටු කරන බව කියමින් ලිස්සා යති. ජිනීවා මානවහිමිකම් කොමිසම ද ඊළඟ අවුරුද්ද පුරාම අපට පෙරළීම සඳහා අලුත් බාල්දියක් තනයි. මේ බාල්දි පෙරළීම ඉවර වන්නේත් නැත; ලංකාව පෙරළුණු බාල්දිය කෙලින් කිරීම ඉවර වන්නේත් නැත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here