ජිනීවා “බාහිර යාන්ත්‍රණ” කුමන්ත්‍රණය සහ ජනතාවගේ වගකීම

0
6

ජිනීවා වර්තමාන සැසිවාරය සැප්තැම්බර් මස අටවෙනි දින ආරම්භ වී ඇත. එහිදී අපේ රට සම්බන්ධයෙන් තවත් යෝජනාවක් සම්මත වන අතර ඒ තුළින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කළ අපේ රණවිරුවන්, සාවද්‍ය චෝදනා මත සහ අප කවුරුත් නොදන්නා අයවලුන් සහ අපට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දෙන සාවද්‍ය සාක්ෂි මත, නිකරුණේ, දේශීය/ විදේශීය අධිකරණ ක්‍රියාදාමයකට මුහුණ දීමේ අවදානමකට ලක්ව සිටී.

බටහිර නායකයන්ගේ ඉල්ලීම් /නියෝග ප්‍රතික්ෂේප කොට අප ත්‍රස්තවාදී යුද්ධය නිම කළ දා පටන් අපට විරුද්ධව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දියත් වන කුමන්ත්‍රණය ගැන අප මීට පෙර ලිපි සහ සම්මන්ත්‍රණ තුළින් ජනතාව දැනුවත් කර තිබේ.

ත්‍රස්තවාදය අප මුළුමනින්ම පරාජය කළේ 2009 මැයි මාසයේ 19 වන දාය. නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා කොටුවී සිටියදී අවසාන මොහොතේ හෝ බටහිර රටවල් තමාව බේරා ගනීවි යන අපේක්ෂාව ප්‍රභාකරන්ට තිබිණ. ඔහුට ජීවිත දානය ලබා දී රටින් පිටමං කිරීමට යෝජනා කරමින් එවකට බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශයේ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිය. රාජ්‍ය නායකයා ඔවුන්ව ඇඹිලිපිටියට ගෙන්වා පැවසුවේ, රටේ ජනතාව වසර තිහක් තිස්සේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට මුහුණ දුන් බවත්, ඔවුන්ව ඒ ම්ලේච්ඡ ඝාතනවලින් මුදා ගැනීම තමාගේ යුතුකම බවත්, එබැවින් කවුරු යෝජනා කළත් යුද්ධය දිගටම ගෙන ගොස් ත්‍රස්තවාදය තුරන් කර රටට සාමය උදාකර දීමට තමා තීරණය කර ඇති බවත්ය.

අප මෙතැනදී මතක් කර ගතයුතු තව වැදගත් කරුණක් තිබේ. එනම් 1987 වර්ෂයේදී මෙපරිද්දෙන්ම ප්‍රභාකරන් වඩමාරච්චි ප්‍රදේශයේ හිරවී සිටිය මොහොතක, ත්‍රස්තවාදය තුරන් කිරීමට ඉතාම ආසන්නව තිබියදී, ඉන්දීය හමුදාව අපේ ගුවන් පථය උල්ලංඝනය කරමින්, අහසින් පරිප්පු දමා, ජේ. ආර්. ජනාධිපති බියට පත් කොට, එම අවසාන මෙහෙයුම නතර කළ බවය. යුද්ධයක ජයග්‍රහණයේ හෝ පරාජයේ වගකීම ගනු ලබන්නේ දේශපාලනඥයා බව සනාථ කිරීමට එයද කදිම සාක්ෂියකි.

ඊට පසුව වූ දේ ඉතා කෙටියෙන් පැවසුවහොත්, 2009 මැයි මාසයේ 19 වෙනිදා යුද ජයග්‍රහණයෙන් පසු ජර්මනිය, රටවල් 17 ක් සමග එකතු වී, අපට විරුද්ධව ජිනීවාහිදී යුද අපරාධ කළා යැයි යෝජනාවක් ගෙනා අතර එය පරාජය කොට අපට පක්ෂව ජිනීවා යෝජනාවක් සම්මත විය. ( S – 11 May 2009) ඒ යෝජනාවෙන්, දරුණු ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් ලක් රජයට ප්‍රශංසා කිරීම, ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හෙළා දැකීම, නැවත පදිංචි කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම යනාදී රජයේ පශ්චාත් යුද ක්‍රියාවලි අගය කිරීම යනාදිය සඳහන් වී ඇත. එය අප කෙරෙහි ධනාත්මක ආකල්පයක් දැක්වූ, යෝජනාවකි.

කරුණු එසේ වුවද, යුද්ධය අවසන් වී දින තුනකට පසු අපට වගවීම් ගැන පහදාදීමට එක්සත් ජාතීන්ගේ මහ සභාවේ ලේකම් බෑං කි මූන් මෙහි පැමිණියේය. යුද්ධයේ අවසාන අදියරේ කොටි ත්‍රස්තයින් අහිංසක දෙමළ වැසියන් ලක්ෂ තුනක් මිනිස් පලිහක් සේ යොදාගන්නා විට හෝ ළමා සොල්දාදුවන් තුන්දාහක් පමණ බඳවා ඔවුන්ව මරු මුඛයට යවන විට හෝ ඒ සියලු දෙනාගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය වන විට හෝ බෑන් කි මූන් මෙහි ආවේ නැති බවත් අප අමතක නොකළ යුතුය.

බෑන් කි මූන් එසේ අවුත් පසුව, ඔහුගේ දැන ගැනීමට යයි කියා දරුස්මාන් (විශේෂඥයින්ගේ කමිටුව) කමිටුව පත්කළ අතර ඔවුන් විසින් රජයේ හමුදාවන් අහිංසක දෙමළ ජනතාව හතළිස් දාහක් පමණ නිකරුනේ ඝාතනය කළ බව වාර්තා කරන ලදී. මේ වාර්තා කිසිදු වෘත්තීයමය පදනමකින් තොර, දෘෂ්‍යමාන, කටකතා ආශ්‍රයෙන් සම්පාදනය කරන ලද වාර්තාවක් බව පරණගම කොමිසමට අනුයුක්ත කර තිබූ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා ඇතුළු විදේශීය යුද අපරාධ විශේෂඥයින් හයදෙනෙක් පැහැදිලිව සඳහන් කොට තිබේ.

ජිනීවා ප්‍රඥප්තිය පවා උල්ලංඝනය කරමින් බෑන් කී මූන් විසින් පත්කරන ලද කමිටුව විසින් දෙන ලද එම වාර්තාව සභාගත කරන විට, ආරක්ෂක කවුන්සලයේදී රුසියාව එයට විරුද්ධ වූයේ, ලේකම්තුමාව පුද්ගලිකව දැනුවත් කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාවක් නිල වාර්තාවක් වශයෙන් සලකන්නේ කෙසේද යැයි ප්‍රශ්න කරමිනි.

කෙසේ හෝ එම වාර්තාව මත පිහිටා 2012 වසරේදී සහ 2013 වසරේදී අපට විරුද්ධව ජිනීවා යෝජනා සම්මත වූ අතර 2014 වසරේ 25/11 යෝජනාවෙන් අපේ රටේ යුද අපරාධ සිදුවීද යන්න විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරයාට බලය ලබා දෙන ලදී. රටක ස්වෛරීත්වයට බලපෑම් කරන එම යෝජනාවට ඉන්දියාව සහ පාකිස්තානය පවා විරුද්ධ වුවද, රටවල් 23 ක් පක්ෂවද, 12ක් විරුද්ධවද, 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන්ද, එය සම්මත විය. එවකට සිටි මානව හිමිකම් කොමසාරිස් විසින් සම්පාදනය කරන ලද එම වාර්තාවෙන් (OISL) අපේ හමුදා, යුද්ධයේදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සිව්වරක්ද, ජාත්‍යන්තර මානුෂීය නීතිය සිව්වරක්ද, උල්ලංඝනය කර ඇති බැව් දන්වන ලදී . (මෙම චෝදනා සියල්ල සාවද්‍ය බවත්, ඒවා පදනම් විරහිත බවත් සාක්ෂි තුළින් සනාථ කළ ලේඛන, අපේ හමුදා යුද අපරාධ කර නැතැයි පෙන්වා දුන් ජාත්‍යන්තර යුද විශේෂඥ හය දෙනාගේ වාර්තාවන්ද සමග අප විසින් ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සලයට භාරදී ඇත).

සෙයිඩ් අල් හුසේන්ගේ එම වාර්තාව මත පදනම් කොට, අපට විරුද්ධව ඇමරිකාව (යුද අපරාධ චෝදනා, සංහිඳියා ක්‍රියාවලි, වගවීම්, ව්‍යවස්ථා සංශෝධන ආදිය ඇතුළත්) 30/1 යෝජනාව ගෙනා අතර එයට යහපාලන රජය විසින් සම අනුග්‍රාහකත්වය දැක්වූ නිසා එම යෝජනාව කිසිම විවාදයකට ලක් නොවී, ඡන්දයකින් තොරව සම්මත විය. එම යෝජනා සියල්ල නිෂ්ප්‍රභ කිරීමට නොයෙක් කරුණු තිබියදීත් මංගල සමරවීර විදේශ ඇමැතිවරයා විසින් ඊට සමානුග්‍රහකත්වය දැක්වීම දේශප්‍රේමී ජනතාව කිසිසේත් අනුමත නොකළ බවත් කිව යුතුය.

ගෝඨාභය රාජපක්ෂ රජය පත් වූ පසු, 2020 වසරේදී, එම ජිනීවා 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් විය. ඉන් වසරකට පසු, එනම් 2021 වසරේදී, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ජර්මනිය සමග එක්වී අපට විරුද්ධව 46/1 යෝජනාව සම්මත කරගන්නා ලදී. ඒ යෝජනාව අනුව අපේ රටේ සිදුවුණා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කිරීමට ‘බාහිර යන්ත්‍රණයක්’ ජිනීවාහි ස්ථාපිත කර ඇති අතර එයට අද වන විට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඩොලර් මිලියන 16ක් ලබා දී තිබේ.

කුමක්ද මේ බාහිර යාන්ත්‍රණය? මෙම කොමිටිය මගින් අපේ රණවිරුවන්ට විරුද්ධව සාක්ෂි එකතු කිරීම, ඒවා පරීක්ෂා කොට තහවුරු කිරීම සහ ගබඩාකොට ආරක්ෂා කිරීම කරනු ලබයි. එසේම මෙය අනෙක් සාමාජික රටවල්වල අධිකරණ ක්‍රියාවලි සඳහා ද ලබාදීමට කටයුතු කරනු ලැබේ. මෙසේ සාක්ෂි දෙන පුද්ගලයන් හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ කවුරුන්දැයි චූදිතයා නොදනී. සාක්ෂි දෙන්නන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ද නොහැකිය. මේ පිළිබඳ කිසිදු වාර්තාවක් ජනගත ද කර නොමැත. දැනට එසේ සාක්ෂි ගොණු 1,05000ක් පමණ සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස රණවිරුවන්ගේ දැනීමකින් තොරව, ඔවුන්ට විරුද්ධව, රටෙන් බාහිරව සාක්ෂි එකතු කිරීම ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. මෙහිදී එකී රණවිරුවන් දෙයාකාරයකින් අවදානමකට ලක්වේ. එවන් රණවිරුවෙක් විදේශගත වූ විට, ඒ රටේ පුරවැසියෙක් ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත් ( තම රටේ, යුද අපරාධ කළා යැයි සාක්ෂි තිබෙන පුද්ගලයෙක් සිටී යනුවෙන්) ඔහුව අත්අඩංගුවට ගත හැකි අතර ඒ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කර ඇතොත් ඔහුව ඒ රටින් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයෑමට බලය ලෙස ලැබේ. (මෙවර මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ අපට ද රෝම ප්‍රඥප්තියට අත්සන් කරන මෙන් උපදෙස් දී ඇත.) එසේ නැතිනම් සර්ව ලෝක අධිකරණ බලය යටතේ ඔහුව ඒ රටේ මහෙස්ත්‍රාත්වරයා විසින් අත්අඩංගුවට ගෙන නඩු ඇසීම ආරම්භ කළ හැකිය.

අපේ රණවිරුවන්ට එසේ අපහාස කිරීමට කොටි ඩයස්පෝරාවෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ඕනෑ තරම් තිබෙන අතර ඔවුන්ට ඉතා පහසුවෙන් එසේ නඩු පැවරිය හැක. මෙවර නිකුත් කරන ලද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ එසේ අප සර්ව ලෝක අධිකරණ බලයට යටත් විය යුතු බැව් ද සඳහන් කර ඇත.

ඊට අමතරව දැනට “ස්වාධීන අභිචෝදක කාර්යාල පනතක්” කරළියට එමින් සිටී. එය ක්‍රියාත්මක වුවහොත් පෙර කී බාහිර යාන්ත්‍රණය තුළින් එකතු කරගත් සාක්ෂි ගෙන්වා අදාළ රණවිරුවන්ට අපේ රටේදී, නීතිපතිගේ අධීක්ෂණයෙන් සහ සහභාගිත්වයෙන් තොරව, එකී අභිචෝදක කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැක.

රණවිරු ජීවිත විසිනව දාහක් රට වෙනුවෙන් පූජා කරමින්, දාහතර දාහකට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් කරගනිමින් , රණවිරුවන්, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ලද එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත කණ්ඩායම පරාජය කොට රටට සාමය උදාකර දුන් බව අපට අමතක නොවේ.

ත්‍රස්තවාදීන් විසින් කරන ලද ම්ලේච්ඡ ඝාතන සහ අනෙකුත් විනාශයන් අප නිතර මතක් කළ යුතු නැත. නමුත් නිවසින් පිටවූ අයෙක් නැවත නිවසට ඒදැයි සැකෙන් සහ බියෙන් බලා සිටි කාලය රටේ ජනතාව අමතක කළ යුතු නොවේ. එසේ නම් තමන්ට එසේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට තම ජීවිත කැප කර දැනට ජීවත් වන රණවිරුවන්ට මෙසේ නිකරුනේ යුද අපරාධ චෝදනා මත නඩු පවරා අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමට පිඹුරුපත් සැකසෙද්දී ජනතාව ඒ දෙස නිහඬව බලා සිටිය යුතුද?

අනික් පැත්තෙන් මේ සම්බන්ධයෙන් හඬක් නගන අය අතර හිටපු යුද නායකයින් සිටින්නේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පමණි. නමුත් සියලු නිලධාරීන්ට විරුද්ධව පෙර කී ලෙස සාක්ෂි ගොණුවන අතර ඔවුන්ට ද ඒ අවදානමට මුහුණ දීමට සිදුවනු ඇත. නමුත් ඒ හිටපු යුද නායකත්වය ද මේ සම්බන්ධයෙන් අද නිහඬ ය. විශ්‍රාම ගිය ධජ නිලධාරීන්ගේ සංගමයක් ද තිබෙන අතර එහි සිටින සියලුම සාමාජිකයින් රටේ ඒකීයභාවය වෙනුවෙන් ජීවිත කැප කළ අය වෙති. ඔවුන් ද අද නිහඬය. මෙම බාහිර යාන්ත්‍රණ ක්‍රියාවලිය වර්තමාන රජය ද ප්‍රතික්ෂේප කොට තිබෙන බැවින් එයට විරුද්ධ වීම රජයට විරුද්ධ වීමක් ලෙස සැලකිය හැකි නොවේ.

අද රණවිරුවා වෙනුවෙන් හඬක් නගන්නේ ජාතික සංවිධාන සහ දේශප්‍රේමීන් ඉතා ස්වල්ප දෙනෙක් පමණි.

අරගලයක් ආරම්භ වුණේ ගෑස් සහ තෙල් නැති වුණු නිසාය. එනම් බඩට වැදුණු බැවිනි. බඩට වදිනකොට එළියට බැස රජයක් වුවත් පෙරළා දමන්නට ශක්තියක් / විභවයක් ඇති ජනතාව, රටට ජීවිත පරිත්‍යාගයෙන් සාමය උදාකර දුන් රණවිරුවාව සාවද්‍ය චෝදනා මත, ඉතා අසාධාරණ ලෙස දන් ගෙඩියට යැවීමට සූදානම් වන විට නිහඬව ඔහේ බලා සිටීම ඉතා ඛේදජනක තත්ත්වයක් නොවේද? එසේ වන්නේ රටේ ජාතික හැඟීමක් නැති බහුතර ජනතාවක් සිටින නිසාද? ඔවුන්ට එවන් ජාතික හැඟීමක් නොමැති නම් එය කාගේ වරදක්ද? රණවිරුවෙක් වුවද වරදක් කර ඇතොත් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් කළ යුතුය. නමුත් ඔවුන් කිසිදා නොකළ වරදකට නිකරුණේ දඬුවම් කිරීමට කවුරුන් හෝ තැත් කරයි නම් දේශප්‍රේමී ජනතාව ඔවුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් විය යුතුය. මන්ද, ඔවුන් තම ජීවිත පුද කරමින් ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ බැවිනි.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here