ජිනීවා චෝදනා ගොන්නට අනපේක්ෂිත පැමිණිල්ලක්!

0
3

ඉන්දියාව අපහසුතාවට ලක්කළ යැස්මින් සූකාගෙ මෙහෙයුම

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට අලුත් චෝදනාවක්

කොටි ත්‍රස්තවාදීන් කළ අපරාධ ගොන්නට වන්දි ගෙවන්නේ කවුරුද?

පාර්ලිමේන්තුව දැන්වත් නින්දෙන් අවදි විය යුතුයි

ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නීතිඥ යැස්මින් සූකා ශ්‍රී ලංකාවට නොනවත්වා යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. බටහිර බලවේගවල අවශ්‍යතා අනුව එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට එරෙහිව 2009/2010 දී දියත් කළ ‘මානව හිමිකම් යුද්ධයේ’ ආරම්භක වෙඩිමුරය පත්තු කිරීමට ඇය ඍජුව සම්බන්ධ විය. ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපෘතිය තමන්ගේම කර ගත් සූකා අනුකම්පා විරහිතව ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් ඉහළ හමුදා නිලධාරීන් ඉලක්ක කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉහළ දායකත්වයක් දුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 දී යුද හමුදාපති ලෙස පත්කිරීමට සූකාගේ කණ්ඩායම එරෙහි විය. යුද හමුදා බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ද ඇයගේ ‘ප්‍රියතම’ ඉලක්කයක් විය. ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක පැනවිය යුතු බවට සූකා දීර්ඝ කාලයක් හඬ නගයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සේවය කළ මානව හිමිකම් චෝදනාවලට ලක්වූ ඉන්දීය හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට වීසා නිකුත් කිරීමට ඇය යෝජනා කළේය. තේරුමක් නැති යෝජනාවකි. ඇස් බැන්දුමකි.

නමුත් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට ත්‍රස්තවාදී ව්‍යාපෘතිය ආරම්භ කර තම හමුදා ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමට කටයුතු කළ ඉන්දියාව සම්බන්ධයෙන් සූකා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන්දියාවේ වගකීම සහ වගවීම කිසිවිටක මාතෘකාවක් වූයේ නැත.

කෙසේ වෙතත් සූකාගේ කණ්ඩායම වැල්වැටිතුරේ පුරවැසි කමිටුව සමග එක්වී ජිනීවා මානව හිමිකම් ‘කතාවේ’ නව පරිච්ජේදයක් ලිවීම ආරම්භ කර ඇත.

දකුණු අප්‍රිකානු ජාතික නීතිඥ යැස්මින් සූකා දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දඬුකඳේ ගැසීමට මූලික විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් දකුණු කොරියානු ජාතික බැන්-කී-මූන් යුද සමයේදී සිදු වූ සිද්ධීන්/අපරාධ පිළිබඳව විමසීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකාවක ලෙසිනි. එම කමිටුවේ සභාපති ලෙස ඉන්දුනීසියාවේ හිටපු නීතිපතිවරයකු වූ මර්සුකී දරුස්මාන් කටයුතු කළ අතර අනෙක් සාමාජිකයා වූයේ ඇමෙරිකානු නීතිඥයකු වූ ස්ටීවන් රැට්නර් ය.

ජනවාරි 1 – මැයි 19, 2009 නැගෙනහිර වන්නියේ සිදු කළ තීරණාත්මක මෙහෙයුම් හේතුවෙන් ආරක්ෂක හමුදා අතින් සිවිල් වැසියන් අවම වශයෙන් 40,000 මරණයට පත්වූ බව දරුස්මාන් වාර්තාව චෝදනා කළේය. එම නිල වාර්තාව ප්‍රකාශයට පත් කළේ 2011 මාර්තු 31 දිනය. දරුස්මාන් සහ රැට්නර් වාර්තාව භාර දුන් පසුව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටි බව නිරීක්ෂණය විය. නමුත් 68 හැවිරිදි සූකා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තලයේ තමන්ගේම ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ත්‍රස්තවාදය පරාජය කළ හමුදා සහ දේශපාලන නායකත්වය ඉලක්ක කර සූකා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයයේ ක්‍රියාමාර්ගයට සමගාමීව ක්‍රියාත්මක විය. අදටත් එම තත්ත්වයේ වෙනසක් නැත.

ලන්ඩනය කේන්ද්‍ර කරගත් සූකා නායකත්වය දුන් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project ITJP ) 2013 ආරම්භ විය. පිටු 200 කින් පමණ සමන්විත වූ දරුස්මාන් වාර්තාව හෝ සූකාගේ ව්‍යාපෘතිය කිසිවිටක ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ වගකීම හෝ වගවීම පිළිබඳව අවධානය යොමු කළේ නැත. ත්‍රස්තවාදය පරාජය කිරීම කිසිසේත්ම දරා ගත නොහැකි වූ දෙස්-විදෙස් පාර්ශ්ව දශක තුනක් පැවතුන යුද්ධය සමස්තයක් ලෙස ආරක්ෂක හමුදා සහ දෙමල සිවිල් වැසියන් අතර ‘සටනක්’ ලෙස සැලකීය. ඉන්දියාව 80 දශකයේ ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම නොවන්නට 2009 මුල්ලිවෛක්කාල් හෝ නන්දිකඩාල් මොහොතක් උදානොවන බව පිළිගැනීමට දරුස්මාන් වාර්තාවට හෝ සූකාගේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියට අවශ්‍ය නොවීය.

එවැනි තත්ත්වයක් පසුබිමේ සූකාට ඉන්දියාවේ වගකීම සහ වගවීම හදිසියේ මතක්වීම ඇත්ත වශයෙන්ම විමතියට හේතුවකි. තේරුම්ගත නොහැකි තත්ත්වයකි. උභතෝකෝටිකයකි. ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ සිදුකළ එක සමූලඝාතනයක් පිළිබඳව වැල්වැටිතුරේ පුරවැසි කමිටුව සූකාගේ ආයතනයේ සහයෝගයත් ඇතිව ශ්‍රී ලංකාවේ හානි පූර්ණ කාර්යාලයට මෑතකදී කළ පැමිණිල්ල අතිශය සංවේදීය. අනපේක්ෂිත මෙහෙයුම හේතුවෙන් ඉන්දියාව දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එම පැමිණිල්ල පිළිබඳව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රතිචාරය පසුගිය සඳුදා (ඔක්තෝබර් 20) මෙම ලියුම්කරු විසින් ඉල්ලා සිටි නමුත් පිළිතුරක් සැපයීමෙන් ඔවුන් වැළකී සිටියේය.

වැල්වැටිතුරේ පුරවැසි කමිටුවේ ලේකම් එන්. ආන්අන්තරාජ් විසින් ඔක්තෝබර් 16, 2025 දින රුපියල් බිලියන 4.3 (ඇමෙරිකානු ඩොලර් මිලියන 14.6) වන්දි ඉල්ලා හානිපූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල්ට ඉදිරිපත් කළ පැමිණිල්ල සූකාගේ ආයතනය විසින් දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සිට ඔක්තෝබර් 17, 2025 නිකුත් කළ නිවේදනයකට එකතු කර තිබීම අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුම පුළුල් කර ඇති බවයි. එනම් ඉන්දියාවත් පළමුවරට ඉලක්කයක් වී ඇති බවයි. සමස්ත ක්‍රියාවලිය තුළ අවධාරණය කළ යුතු විශේෂ කරුණක් ඇත. සූකාගේ කණ්ඩායම කළ ඇස්තමේන්තුව අනුව 2025 මැයි 1 වන දිනට ගණනය කළ හානිය රුපියල් බිලියන 4.5 කි (ඇමෙරිකානු ඩොලර් මිලියන 15.1 කි) හානිපූරණය සඳහා වන කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ හානිපූරණ රෙජීමය කළමනාකරණය කිරීම හා අර්බුද හේතුවෙන් පීඩාවට පත් වූවන් හට හානිපූරණයන් ප්‍රදානය කරනු වස් 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත මඟින් ස්ථාපිත කරනු ලැබූ ස්වාධීන ආයතනයකි.

පසුගියදා අදාල වාර්තාව ඉන්දීය හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර ගැටුම් සිදු වූ ප්‍රදේශයේදී ආන්අන්තරාජ් විසින් ජනාධිපති නීතිඥ සහ හිටපු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කයේ නියෝජනය කළ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ට පිළිගැන්වීම සිදුවිය.

පැමිණිල්ලට අනුව ඉන්දියානු හමුදාව 1989 අගෝස්තු 2, 3 සහ 4 සිදුකළ ප්‍රහාර හේතුවෙන් දෙමළ සිවිල් වැසියන් 66 දෙනකු මරණයට පත්වී 34 දෙනකු තුවාල ලැබීය. ඊට අමතරව නිවාස, කඩ සාප්පු, ධීවර යාත්‍රා, වාහන සහ කර්මාන්ත විනාශයට පත්විය. වැල්වැටිතුරේ පුරවැසි කමිටුව හානිපූර්ණ කාර්යාලය හරහා ශ්‍රී ලංකා රජයට ඉල්ලීම් හතරක් කළ අතර එම ඉල්ලීම් පහත සඳහන් වේ: (1) වැල්වැටිතුරේ සමූල ඝාතනය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් බරපතල උල්ලංඝනය කිරීමක් ලෙස නිල වශයෙන් පිළිගැනීම (2) සිදු වූ ජීවිත, දේපළ සහ අනෙකුත් අලාභ හානිවලට පූර්ණ වන්දි (3) ශ්‍රී ලංකා රජය වින්දිතයින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමක් සහ (4) ඉන්දියාව සමස්ත ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සහ ඉන්දියාව වින්දිතයින්ගෙන් සමාව ඉල්ලීමක්.

වැල්වැටිතුරේ පුරවැසි කමිටුව හෝ සූකාගේ ව්‍යාපෘතිය ඉන්දියානු හමුදා දින තුනක භීෂණයක් මුදාහැරීමට පාදක වූ සිද්ධිය /සිද්ධීන් පිළිබඳව කිසිදු සඳහනක් කර නැත. ඉන්දියානු හමුදාව ක්‍රියාත්මක කළ වැල්වැටිතුරේ සංහාරය සිදුවීමට ආසන්නම හේතුව වූයේ 1989 අගෝස්තු 2 වන දින උදෑසන 11 ට පමණ වැල්වැටිතුරේ නගරයේ ප්‍රධාන වෙළඳපොළ අසල සිදු වූ ගැටුමයි. සිවිල් වැසියන් අතර සිටිමින් එල්ල කළ එම ප්‍රහාරයේදී ඉන්දීය සෙබළුන් හය දෙනකු ජීවිතක්ෂයට පත්විය. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදී සංවිධානය එම ප්‍රහාරය වැල්වැටිතුරේ නගර මධ්‍යයේ එල්ල කළ හේතුව තේරුම් ගැනීමට අපහසු නැත. ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ තමන් සිවිල් වැසියන් අතර සිට එල්ල කළ සාර්ථක ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන් ඉන්දීය හමුදාව අමානුෂික ප්‍රතිචාරයක් දැක්වීමයි. එම සංහාරය දින තුනක් පුරා සිදුවිය.

ඉන්දීය හමුදා නායකත්වයට සාමාන්‍ය සෙබළුන් පාලනය කර ගැනීමට නොහැකි විය. වැල්වැටිතුරේ සංහාරය සිදු වූ දේශපාලන පසුබිම ද අවධානයට ලක් කළ යුතුය. එලෙසම, ඉන්දීය හමුදාව වැල්වැටිතුරේ ස්ථානගතවීම පිළිබඳව ද විමසා බැලිය යුතුය.

දෙසැම්බර් 19, 1988 පැවැත්වූ ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රණසිංහ ප්‍රේමදාස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය/අත ලාංඡනය) පරාජය කළ අතර වහාම කොටි ත්‍රස්තවාදීන් සමග ඍජු සාකච්ඡාවකට යොමු විය. එම තීරණාත්මක මැතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ඉන්දීය හමුදාව රටින් ඉවත් කිරීම මූලික පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) මුදාහළ භීෂණය එජාප අපේක්ෂකයාගේ වාසියට හේතු වූ අතර උතුරු සහ නැගෙනහිර ඡන්දය ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ පැවැත්වූ බව මතක් කර දිය යුතුය. ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 මැයි මාසයේදී කොටි ත්‍රස්තවාදීන් සමග එළිපිට සාකච්ඡා ඇරඹීය. දෙපාර්ශ්වය අතර එකඟතාවය අනුව ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන්ට මුදල් (අවම වශයෙන් රුපියල් මිලියන 125), අවි ආයුධ සහ අනෙකුත් දේවල් ලබා දීමට කටයුතු කරන ලදී. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්දීය හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කරන ලද අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන මෙහෙයුම් නතර කිරීමට ද බල කළේය.

කොටි ත්‍රස්තවාදීන් ඉන්දීය හමුදාව ප්‍රකෝප කිරීම පරම චේතනාවෙන් වැල්වැටිතුරේ ප්‍රහාරය එල්ල කිරීම ඒ අවස්ථාවේ රටේ තිබූ දේශපාලන වාතාවරණය නොසලකා විමසා බැලිය නොහැක. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වපුරා සමස්ත රටම අස්ථාවර කළේ 1987 ජුලි මාසයේ 29 වැනි දින ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට එවීමට ගිවිසුමක් අත්සන් කිරීමට බව කවුරුත් දන්නා ඉතිහාසයයි. එම ක්‍රියාවලියේ ප්‍රධානතම අංගයක් වූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත අඹරා නැගෙනහිර පළාත උතුර සමග ඒකාබද්ධ කර උතුරු-නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමයි. ඉන්දියාව එම ඉලක්කය ද සපුරා ගත්තේ මහා විනාශකාරී තත්ත්වයක් තුළය. ඉන්දියානු හමුදා 1990 මාර්තු මාසයේ 24 වැනි දින සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ අතර 1990 ජුනි 11 දෙවන ඊළාම් යුද්ධය ආරම්භ විය. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝගයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවූ කොංග්‍රස් නායක රජීව් ගාන්ධි 1991 මැයි 21 මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විනාශ කිරීම අවධාරණය කළේ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ වැරදි උපායමාර්ගයේ ප්‍රතිවිපාකයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකතුවී වැල්වැටිතුරේ වින්දිතයින්ට වන්දි ගෙවිය යුතු ආකාරය සූකාගේ ආයතනය අපූරුවට පෙන්වා දී ඇත. වැල්වැටිතුරේ පුරවැසි කමිටුවේ පැමිණිල්ල ශක්තිමත් කිරීමට සූකාගේ කණ්ඩායම දැඩි උත්සාහයක් ගෙන ඇත. සූකාගේ කණ්ඩායම වැල්වැටිතුරේ වින්දිතයින්ට වන්දි ගණනය කළ ආකාරයටම කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ජිවිත සහ දේපළ හානි ඇස්තමේන්තු කළ යුතු නොවේද? ප්‍රහාරයට ලක්වූ වැල්වැටිතුරේ ජනතාවගේ ජීවනෝපාය අහිමි කිරීමෙන් සිදු වූ පාඩුව ද පොලියත් සමග ගණනය කර ඇත. වරදක් නැත.

එම සූත්‍රය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ පොලිසියට ද අදාළ වන බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ නම් කොටි සංවිධානය කළ සියලු ඝාතන, දේපළ විනාශ කිරීම් මෙන්ම ජීවනෝපාය අහිමි කිරීම්වලට වන්දි ගෙවීමේ වගකීම කවුරුන් විසින් භාර ගත යුතුද? කොටි සංවිධානය ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ස්ථාපිත කළ ඉන්දියාවද? දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කොටි සංවිධානය/වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් කළ දෙමළ ජාතික සන්ධානයද? මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද කොටි ත්‍රස්තවාදීන් මෙන්ම අනෙකුත් දෙමළ ත්‍රස්තවාදී සංවිධාන (මෙම කණ්ඩායම් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්විය.) කළ ඝාතනවලට වගකීම ආණ්ඩුව ගත යුතු නැත.

උතුරේ ජීවත් වූ මුස්ලිම් ජනතාව 1990 ඔක්තෝබර් මාසයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් සම්පූර්ණයෙන්ම එම පළාතෙන් පලවා හරින ලදී. කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් ඊට එරෙහි නොවීය. එම ක්‍රියාදාමය තුළින් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ මූල්‍ය හානිය ගණනය කිරීමේ අභියෝගය සූකාගේ කණ්ඩායමට භාර ගත හැකිය. මෙය කොටි ත්‍රස්තවාදීන් කළ එක අපරාධයක් පමණි.

වැල්වැටිතුරේ පුරවැසි කමිටුව සහ සූකාගේ කණ්ඩායම අනපේක්ෂිත අවස්ථාවක ඇති කළ තත්ත්වය ශ්‍රී ලංකාවට ඉතාමත් වාසිදායකය. වර්තමාන ආණ්ඩුවට සැබෑ වුවමනාවක් තිබේ නම් ජිනීවා ක්‍රියාවලිය කණපිට හැරවිය හැකිය. ශ්‍රී ලංකාවේ සිදු වූ ලේ වැගිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වගකීම සහ වගවීම තවදුරටත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නොසලකා කටයුතු කිරීමට නොහැකිය. ත්‍රස්තවාදය පරාජය කළ වසරේ සිට ඉදිරිපත් වූ කිසිදු ජිනීවා යෝජනාවක ඉන්දියාවේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් එක වචනයක් නැත.

සූකාට අවධාරණය කළ යුතු කරුණක් ඇත. ඉන්දියාවේ වගකීම සහ වගවීම වැල්වැටිතුරේ ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොවේ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය 80 දශකයේ මුල් කාලයේ තීරණය කිරීම නොසලකා ඉන්දියාවේ වගකීම සහ වගවීම පිළිබඳව විමසා බැලිය නොහැක. වැල්වැටිතුරේ වින්දිතයින්ට පමණක් විශේෂ අගයක් තිබිය නොහැක.

ජිනීවාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවාහි අවසන් වරට කරුණු දක්වන අවස්ථාවේ වැල්වැටිතුරේ පැමිණිල්ල කරළියට පැමිණ තිබුණේ නැත. පසුගිය ජුනි මාසයේ චෙම්මනි සමූහ මිනීවළ ලෝකයට ගෙනගිය මානව හිමිකම් ප්‍රධානි වොල්කර් ටර්ක් වැල්වැටිතුරේ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අප දැඩි අවධානයෙන් බලා සිටිමු.

වැල්වැටිතුරේ මෙහෙයුම ශ්‍රී ලංකාවට/ආණ්ඩුවට සමස්ත ජිනීවා ක්‍රියාවලි සම්බන්ධයෙන් නැවත විමසීමක් කිරීමට බල කර ඇත. පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක විය යුතුය. ත්‍රස්තවාදය පරාජය කළ හමුදා නායකත්වය ජිනීවා ඉලක්කයක් වී ඇති මේ අවස්ථාවේ සුකා ක්‍රියාත්මක කළ මෙහෙයුම ශ්‍රී ලංකාවේ වාසියට හරවා ගැනීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වගකීමෙන් ආණ්ඩුවට ගැලවිය නොහැක.

කවදත් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට නිවැරදිව සහ සාර්ථකව මුහුණ දීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ දේශහිතෛෂී ජාතික පෙරමුණ මේ අවස්ථාවේ රට දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවට සැකයක් නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here