හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.
මෙහි අරමුණ වන්නේ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබාදීම බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට නිල වශයෙන් දියත් කෙරේ.
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකමක් පවතින අතර, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 89%කට බැංකු පහසුකම් පවතී.
එමෙන්ම එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතියද අද වන විට සක්‍රීයව පවතී. කෙසේ වෙතත්, තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන අතර, 2025 තුන්වන කාර්තුව වන විට LankaQR මඟින් සිදු වූයේ මසකට රුපියල් 395,000ක පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයකි. මෙම පරතරය අවම කිරීම සඳහා හෙට ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ.
එමෙන්ම, QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව පළමු, දෙවන සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා රුපියල් 1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද හෙට සිට ආරම්භ කෙරෙන අතර දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සැකසූ “සමාජ දෘශ්‍යතා දර්ශකය” (Social Visibility Index) මඟින් මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කර ඇත.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණික පියවරක් තැබීම පමණක් නොව, රටේ අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සුවිශේෂී පියවරකි. QR ගනුදෙනු ආරම්භ කිරීම ඔස්සේ වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින් කුමන ප්‍රදේශයක ජීවත්වුවද, කුමන භාෂාවක් කතා කළද රටේ සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම රජයේ අපේක්ෂාවයි.
Saru News
















