“ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත ජනමාධ්‍ය ඇමැති අතට

0
2

දිගු කාලීන පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත (Advanced Draft) අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය වෙත නිල වශයෙන් පිළිගැන්වීම ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද ස්වාධීන බහුපාර්ශ්වීය කමිටුවක් විසින් සකස් කරන ලද මෙම ප්‍රතිපත්ති මාලාව, 2023 මැයි මාසයේ සිට 2025 දෙසැම්බර් දක්වා වසර දෙකකට අධික කාලයක් පුරා සිය ගණනක් වූ බහුවිධ පාර්ශ්වකරුවන්ගේ දායකත්වයෙන් යුතුව නිර්මාණය කර තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසකට ප්‍රතිපත්තිමය අවශ්‍යතාවක් පවතින බව මහජන අරගලය මගින් පෙන්වා දුන් බවත්, එම ප්‍රතිපත්ති සැකසීම මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් සිදුවෙමින් පවතින බවත්ය. මෙම ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හුදෙක් අමාත්‍යාංශයේ පමණක් ප්‍රතිපත්තියක් නොවන අතර, අමාත්‍යාංශය විසින් සිදු කළේ මෙම කාර්යය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ස්වාධීන බහුපාර්ශ්වීය කමිටුව විසින් සැමට එකඟ විය හැකි මෙවැනි ප්‍රතිපත්තියක් සකස් කිරීම ඓතිහාසික කර්තව්‍යයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ පුරවැසි බලපෑම පිළිබඳව අමාත්‍යාංශය මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහි මූලික කෙටුම්පත (Zero Draft) 2023 වර්ෂයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සැදුම්ලත් මූලික කෙටුම්පත්කරණ කමිටුව හරහා 2024 ජූලි මාසයේදී සකස් කර ඉදිරිපත් කෙරිණි.

වත්මන් ආණ්ඩුව විසින් 2025 මුල් භාගයේදී යළි පත් කරන ලද සාමාජිකයින් 28 දෙනෙකුගෙන් සැදුම්ලත් බහුපාර්ශ්වීය කමිටුව විසින් මෙම සංවර්ධිත කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරන ලදී. එහිදී මහජන අදහස් ලබා ගැනීම සඳහා මූලික කෙටුම්පත 2025 ජූනි මස සිට භාෂා ත්‍රිත්වයෙන්ම අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කිරීමට පියවර ගැනිණි. තවද, ජනමාධ්‍ය අමාත්‍යාංශය, South Asian Women in Media (SAWM) සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) වැනි සංවිධානවල සහයෝගීතාව ඇතිව කොළඹ, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිවිල් සමාජ නියෝජිතයින්, මාධ්‍යවේදීන් සහ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ අදහස් ලබා ගනිමින් මෙම කාර්යය සඳහා වූ මහජන දායකත්වය ඉහළ නංවාගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන – ජනමාධ්‍ය) නෙළුම් දිල්ෂාරි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරන ලද විද්වත් කමිටුවේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here