ජාතික ජන බලවේගය හා ජනතාව අතර ඇති වූ සම්මුතිය ජාතික ජන බලවේග ආණ්ඩුවේ පාලන කාලය තුළ ඉටුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, බේරුවලදී පසුගිය 27 වනදා පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලිය අමතමිනි.
එම රැලිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය,
“පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කිරීමට ජනතාව තීන්දු කළා. එහෙම තීන්දුවක් ගත්තේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂාවන් වුණේ රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම, හොරු ඇල්ලීම, හොරකම දූෂණයෙන් නාස්තියෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති කිරීම වගේ දේවලුයි ආණ්ඩුවට දැන් මාස හයකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. මේ රටත් මේ රටේ ජනතාවත් තිබුණු තත්ත්වයට වඩා ඉහළ තැනකට ගෙන ඒමට අප ඔබලාට පොරොන්දුවක් ලබා දුන්නා. ජනතාව අපට ඡන්දය ලබා දී බලාපොරොත්තු වන සියලු දේ ඉටු කරමින් තිබෙනවා. නමුත් දැන් අඬන්නෙ කවුද? බලය අහිමි වුණු, මෙවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවුණු, බල සිතියම සිහිනයක් බවට පත්වුණු වේදනාවෙන් පෙළෙන කණ්ඩායම් අඬමින් සිටිනවා. ජාතික ජන බලවේගය හා ජනතාව අතර තිබුණු සම්මුතිය අප අපගේ පාලන කාලය තුළ ඉටුකරනවා. ආර්ථික ස්ථාවරභාවය මේ වන විටත් අප කර තිබෙනවා.
ආර්ථික ස්ථාවර භාවය පිළිබඳ මනින සංඥාවන් වන්නේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරභාවයක පවත්වාගෙන යාමයි. මෑත ඉතිහාසයේ අඩුම උද්ධමන අගයක් වාර්තා වී තිබෙන්නේ පහුගිය මාස හයේ කාලය තුළයි. ආර්ථිකය අවස්ථාවරභාවය නිසාම ආයෝජන ව්‍යාපෘති මේ රටින් ඉවත් වුණා. චීන රජය, ජපන් රජය තමන්ගේ ව්‍යාපෘති අතහැර දමා ගියා. නමුත් මේ වනවිට එම රජයන් නැවත එම ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
මේ වසරේදී වාරිමාර්ග ක්ෂේත්‍රය සඳහා පමණක් දස ලක්ෂ 78,000ක් වෙන්කර තිබෙනවා. මේ මුදල වියදම් කිරීමට සැලසුම් හදන්න ඕනේ, ටෙන්ඩර් කැදවන්න ඕනේ, නිවැරදිව සිදුවෙනවාදැයි බලන්න ඕනේ, මේ සියල්ල සිදු කිරීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මේ වනවිට අඩපණ වූ රාජ්‍ය සේවයක් අපට තිබෙන්නේ. ශක්තිමත් රාජ සේවයක් සකස්කස් කිරීමට අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන අධිකාරිය ලියුම් ගන්න අවශ්‍ය වන්නේ නැහැ. හැකියාව සුදුසුකමට වඩා දේශපාලනය උඩට ඒම රාජ්‍ය සේවයේ පිරිහීමට එක ලක්ෂණයක් වෙනවා. රාජ්‍ය සේවය ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කරනවා. මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප උපරිම ලෙස වැඩි කිරීමට ජාතික ජන බලවේගයේ මාස හයේ ආණ්ඩුව තීන්දු කළා.
සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් අප යොමු කර තිබෙනවා. නව සංචාරක ගමනාන්ත හඳුන්වා දෙමින් සංචාරක කර්මාන්තය නව පරිවර්තනය වෙනසක් සිදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අනුරාධපුරය යාපනය වැනි සංචාරක ගමනාන්ත ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරේ පළමුවෙනි රාජධානිය සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීමට ඉන්දියානු ආධාර ඇතිව කටයුතු කරනවා.
අපනයන ආදායම වැඩි කිරීම සඳහාත් වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ලෝකයේ රටක් ආර්ථික තීන්දු ගැනීමේදී අපේ රටේ ආර්ථිකය හාන්සි නොවන තැනකට ශ්‍රී ලංකාව පත් කරනවා.
කිසිදු ජාතිවාදී ආගමික ගැටුමකට යාමට අප ඉඩ තබන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගොඩනැගීමේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකතු වී කටයුතු කළා. ජාතික සමගිය ඇති කිරීමේ දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි. මම ඊයේ හිටියේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේයි. මෑත ඉතිහාසයේ විශාල ජනතාවක් පැමිණ කළ එකම රැස්වීම එයයි. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබාගෙන තිබෙනවා. අප ජාතිවාදය නැවත හිස එසවීමට ඉඩ තබන්නේ නැහැ.
සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙක් වාහනයක් ලියාපදිංචි නොකර පාරක දාන්නේ නැහැ. නමුත් පහුගිය කාලෙ හිටපු දේශපාලඥයෙක් ලියාපදිංචි නොකර වාහන භාවිතා කර තිබෙනවා. එසේ ලියාපදිංචි නොකර වාහන භාවිතා කළ ඇමතිවරු තුන්දෙනෙකුට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න සිදු වේවි. අද නීතිය කාටත් සමානයි. පොලිස්පති පොලීසියට බයේ හැංඟුණු ප්‍රවෘත්තියක් ජනතාවට බලන්න වුණා. ඒ කියන්නේ නීතිය සැමට සමානයි කියන එකයි. ජනාධිපතිවරයාගේ සිට පහළම දේශපාලනඥයා දක්වා ජනතාවගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් ස්ථාපිත කර තිබෙනවා. ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ. මේක තමන්ට ලැබෙන්න හිමිකම තිබෙන දේත් අතහරින ආණ්ඩුවක්. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප, වාහන බලපත්‍ර නොදෙන ආණ්ඩුවක්. ආණ්ඩුවේ වියදම් කප්පාදු කරමින් රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කිරීමට අප මුදල් එකතු කළා. ඉතුරු කරගන්නා සියලු මුදල් ජනතාවට ලබා දෙන්න අපි සූදානම්. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කළා. තවත් ලක්‍ෂ හතරක් අස්වැසුමට එකතු කරන්න සැලසුම් කර තිබෙනවා.
භාණ්ඩාගාරය මුදල් එකතු කරලා එම මුදල් නිවැරදි ආකාරයෙන් ජනතාවට බෙදා දෙනවා. මේ වසර භාණ්ඩාගාරයට වැඩිම මුදල් එකතු වන වසර බවට පත් වේවි. පසුගිය මාස තුනම ආදායම් ඉලක්ක පසු කර තිබෙනවා. ඔබ ගෙවන බද්දෙන් රටට නිවැරදි ලෙස සේවයට යොදා ගන්නා බවට අප ජනතාවට සහතිකයක් දෙනවා.
හොරකම් කළ දේශපාලනඥයන් පිළිබඳව විමර්ශනය සිදුකිරීම මේ වනවිටත් සිදු කරමින් තිබෙනවා. නමුත් දඬුවම් දීමට අවශ්‍ය බලය ආණ්ඩුව සතුව නැහැ. එය සියල්ල අධිකරණයට වාර්තා කරමින් තිබෙනවා. දඬුවම් ලබාදීම අධිකරණය විසින් සිදු කරයි. හිටපු ජනාධිපතිවරයාගේ ලොකු පුතාට එක නඩුවයි මද්දුමයට නඩු දෙකයි, ආච්චිට එක නඩුවයි. මේ වනවිට මහ ඇමතිවරු දෙදෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා. එකම මහ ඇමතිවරයෙක් දඬුවමට ලක්වෙලා තිබෙනවා. දූෂණයට එරෙහි ආයතන මේ වන විට ශක්තිමත් වී තිබෙනවා. එම ආයතනවලට දේශපාලනිකව ඇඟිලි ගහන්නේ නැහැ. කාලයේ වැලිතලාවට යට නොවී අපරාධවලට දඬුවම් ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නැවත ඖෂධ හිඟයක් ඇති නොවීමට මුදල් වෙන්කර තිබෙනවා. රුපියල් බිලියන 604ක් සෞඛ්‍යයට වෙන් කරතිබෙනවා. ලබන වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. දෙමාපියන්ට බරක් නොවන දරුවන්ට පීඩාවක් නොවන අධ්‍යාපනයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. ලෝකයේ දියුණුතම ප්‍රවාහන පද්ධතියක් ඇතිකිරීමට අප සැලසුම් කර තිබෙනවා. රට සුබවාදී දිශානතියකට පරිවර්තනය වෙමින් තිබෙනවා.
මධ්‍යම ආණ්ඩුව පළාත් පාලන ආයතන සියලු දෙනා එකතු වී ගමනක් යා යුතුයි. මහ ආණ්ඩුව හොරකම් නොකරන නාස්ති අවම කරන ආණ්ඩුවක් වෙනකොට හොරකම් කරන, නාස්ති කරන පළාත් පාලන ආයතන තිබිල වැඩක් නැහැ. ඒ නිසා මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් ලබාදීමට කැපවෙන්න.”
Saru FM Media