ජාත්‍යන්තර කාන්තා දිනය අදට (මාර්තු 08) යෙදී තිබේ සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා කාන්තාවන්ට සුවිශේෂී වූ දිනයක් ලෙස මාර්තු 08 වන දා සැමරීම සිදුවේ.
ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය
එක්සත් ජාතීන්ගේ පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා එය වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහාය.
එහි මූලාරම්භය ඇති වූයේ, 1908 වර්ෂයේදීය. ඒ, කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි. ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසිනි.
මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවකි.

ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීය. එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර විය.
එය පළමු වරට 1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල සැමරිණි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ශතක සැමරුම 2011 වසරේදී සැමරිණි.
1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි. එම දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ, “අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු,” යන්නය.
ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස මාර්තු 08 තෝරා ගැනීම

ජාත්‍යන්තර කාන්තා දිනයක් සම්බන්ධයෙන් ක්ලාරා කළ යෝජනාවේ නිශ්චිත දිනයක් සඳහන් නොවිණි. 1917 දී රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා සිටි යුද්ධ කාලීන වැඩ වර්ජනයක් තෙක් එය විධිමත් නොකෙරිණ. කාන්තා වැඩ වර්ජනයට දින හතරක් ගත වන විට සාර්ට ඉවත් වීමට බල කෙරුණු අතර තාවකාලික රජය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේය. එම වැඩවර්ජනය පැවති දිනය එකල රුසියාවේ භාවිත වූ ජූලියන් දින දර්ශනයට අනුව පෙබරවාරි 23 වන දා විය. ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය මාර්තු 08 ලෙස සටහන් වේ.
ලොව පුරා සැමරෙන කාන්තා දිනය

රුසියාව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර කාන්තා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. මාර්තු 08 දිනය ආසන්න වෙද්දී එම රටවල මල් අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යයි.
චීනයේ මාර්තු 08 වන දා බොහෝ කාන්තාවන්ට දින භාගයක නිවාඩු හිමිවෙයි. ඉතාලියේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ, මිමෝසා මල් ප්‍රදානය කිරීමෙනි. මෙම සම්ප්‍රදායේ ආරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නැත. එහෙත්, එය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු රෝමයෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ.
ඇමෙරිකාවේ මාර්තු මාසය සැලකෙන්නේ, කාන්තාවන්ගේ ඉතිහාස මාසය ලෙසය. ඇමෙරිකාවේ කාන්තාවන් ලැබූ ජයග්‍රහණ සම්බන්ධයෙන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා වාර්ෂික නිවේදනයක් නිකුත් කරයි.
‘ගැහැනු අපි එක මිටට, ඇය නැඟිටින විට, නැඟිටිනවා රට’

‘ගැහැනු අපි එක මිටට, ඇය නැඟිටින විට, නැඟිටිනවා රට’ තේමා කරගෙන 2026 කාන්තා දින සැමරුම කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන අද පෙරවරු 10.00ට පැවැත්වේ.
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන කාන්තා දින ජාතික උත්සවය මෙවර මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයීය රවීනාත් තාගෝර් ශාලාව සහ මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයන්හිදී පැවැත්වේ.
ජාතික ජනබලවේගය විසින් සංවිධාන කරන ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ කාන්තා හා ළමා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගි වෙති.
‘Rights. Justice. Action. For ALL Women and Girls‘ (සියලු කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට: අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය) යන්න මෙවර කාන්තා දින තේමාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමේ ප්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන් සතු සමාජයීය, දේශපාලනික සහ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන්ව වඩාත් සක්‍රිය ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමය.
විශේෂයෙන්ම කොළඹින් බැහැරව මෙවැනි උත්සවයක් සංවිධාන කිරීම හරහා ග්‍රාමීය කාන්තා ව්‍යවසායිකාවන්ට නව වෙෙළඳපොළ අවස්ථා උදාකර දීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම සහ සමාජයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කාන්තාවන් ඇගයීම අපේක්ෂා කෙරේ.
Saru News













