ජාජබ ආණ්ඩුවට වධයක් වූ රනිල්ගේ දූෂණ විරෝධී පනත!

0
3

දූෂණ, වංචා, අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ මැඬලන නීති විධායකයට, ව්‍යවස්ථාදායකයට බාධාවක්

දෙරණේ කලිඳුට පාන් ද?

දූෂණයට එරෙහි සටනට ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5, ලෝක බැංකුවත් සම්බන්ධ වේ

විජයදාස රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක්

නන්දන ගුණතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සුජාතභාවය ප්‍රශ්න කරයි

ජපානය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ (UNDP) හරහා මෑතකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක ආයෝජනයක්‘ කළේය. ඒ 2025 ජුලි 1 දින අත්සන් කළ දූෂණය මැඩපැවැත්වීමේ නිශ්චිත ක්‍රියාමාර්ගයක් (The Project for Promoting Prosecution of Corrupt Practices through the Establishment of Anti-corruption Mechanism) ක්‍රියාත්මක කිරීමටයි. මීට සති කිහිපයකට පෙර විදේශ අමාත්‍යාංශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් පරාක්‍රම ඉද්දවෙල ලෝක බැංකු නියෝජිතයින් වියානා නුවර දී හමුවී දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කළ බව ප්‍රකාශ කළේය. අපරාධවලින් ලැබුණු දේපළ පිළිබඳ පනත පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බව අමාත්‍යාංශය අවධාරණය කළේය.

දූෂණය, වංචාව සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘කප්’ ගසා ඇති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් දැඩි විනය ක්‍රියාමාර්ගයකට යටත් කර ඇති බව අතිශයෝක්තියක් නොවේ. බලයට පත්වෙන ඕනෑම පක්ෂයක් නියම කර ඇති පාරේ ගමන් කිරීමට පසුගිය වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව ඡන්දයකින් තොරව සම්මත කර ගත් ආර්ථික පරිවර්තන පනත හරහා පොරොන්දු විය. එවැනි පසුබිමක ජාජබ රජයේ පාරදුෂ්‍යභාවය අභියෝගයට ලක්වීම හොඳ නැත. ඒ ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) රජය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මාතෘකාවක් ජනතාවගේ අවධානයට යොමුවී ඇත. ජාජබ නියෝජනය කරන ඉදිරිපෙළ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ වත්කම් පිළිබඳ ප්‍රශ්නය ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම රත් කර ඇති බවට සැකයක් නැත. එම මාතෘකාව මැති සබයද උණුසුම් කර ඇති අතර ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් කර ඇත. මාධ්‍යයට මුහුණ දීමට නොහැකි වී ඇත. සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුව අවඥාවට ලක් වීම ද වැළැක්විය නොහැක. මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වූයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම ධුරයේ පළමුවන වසර සනිටුහන් කරන අවස්ථාවේදීය.

දෙවන කැරැල්ලේ අති විනාශකාරී පරාජයෙන් පසුව (1987-1990) ප්‍රධාන දේශපාලන ධාරාවට එකතු වූ ජවිපෙ මහජන නියෝජිතයින්ට දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ නැත. අප දන්නා තරමින් ඔවුන්ගේ වත්කම් පිළිබඳව කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් ඇති වූයේ නැත. නමුත් යම් නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ විට පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහාම ක්‍රියාත්මක විය. ජපානයට වංචාකාරී ලෙස පුද්ගලයකුට ඇතුළු වීමට උදව් කළ බවට චෝදනාවට ලක්වූ ජවිපෙ කෑගල්ල මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල පක්ෂයේ නියෝගයක් මත ඉල්ලා අස්විය. ඒ 2008 සැප්තැම්බර් පළමුවන සතියේය. චෝදනාවට ලක්වූ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු විය. නීතිය නිහඬ විය. නමුත් පක්ෂය අවශ්‍ය පියවර ගැනීමට පසුබට වූයේ නැත. (දේශපාලනිකව නොයෙකුත් තැන්වල රැඳුන පොල්ගම්පොල මන්ත්‍රීවරයා පසුව ජනාධිපතිවරණයට ද ඉදිරිපත් විය. ඒ මන්ත්‍රීවරයකු වීම රටේ මැතිවරණ නීතිය අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකමක් බැවිනි.)

එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) නියෝජනය කළ/කරන බොහෝ දේශපාලනඥයින්ගේ වත්කම් සහ බැරකම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඝාතනයට ලක්වූ ගාමිණී දිසානායකගේ මැදිහත්වීමෙන් දේශපාලනයට පිවිස වසර 2000 පැවැත් වූ මහමැතිවරණයෙන් එජාපයෙන් පළමුවන වරට පාර්ලිමේන්තුවට පත්වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පමණක් නොව ඔහුගේ බෑනා කෙනෙකුද ඇතුළුව පවුලේ සාමාජිකයන් මුහුණ දෙන නීතිමය අභියෝගය සුළුපටු නැත. රඹුක්වැල්ල පවුල පිළිබිඹු කරන දේශපාලන පරිහානිය හුදකලා තත්ත්වයක් නොවන බව දූෂණ විරෝධී පනත හෙළිදරව් කර ඇත. නමුත් එම පනත ජාජබ ආණ්ඩුවට ප්‍රශ්නයක් වීම ලෝක පුදුමයකි. ඒ පසුගිය වසරේ ජාතික මැතිවරණ වේදිකාව මත දූෂණයට එරෙහිව ජනමතයක් ගොඩනැගූ ජාජබය මැති සබයේ නියෝජනය කරන කිසිවකුට වත්කම් සහ බැරකම් පිළිබඳ ගැටලුවකට මුහුණ දීමට සිදුවේවි යයි කිසිවකු නොසිතූ බැවිනි. නමුත් කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක ජාජබ 2023 අංක 09 දූෂණ විරෝධී පනතේ පැටලී ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන් එවකට අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ විසින් 2023 ජුනි 21 මැති සබයට ඉදිරිපත් කර ජුලි 19 වැනි දින ඡන්දයකින් තොරව සම්මත කර ගනු ලැබූ 2023 අංක 09 දූෂණ විරෝධී පනත සියලුම දේශපාලන පක්ෂ නිරාවරණය කර ඇත. කිසිවකුට වංගු ගැසීමට නොහැකිය.

යම් මහජන නියෝජිතයකු නීති ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශය මත විමර්ෂණයක් ඉල්ලීමට අදාළ පනත මගින් දී ඇති අවස්ථාව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ප්‍රයෝජනයට ගෙන ඇත. මෙම වසර සඳහා වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් විමර්ශන කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් මිලියන 275 ක් වටිනා වත්කම් ලැයිස්තුව ඉදිරිපත් කරමින් ඔහු සම්බන්ධයෙන් පමණක් නොව තවත් අමාත්‍යවරු පස් දෙනකු පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල් රංග දිසානායකගේ අවධානයට සජබ ලක් කර ඇත.

එම අමාත්‍යවරුන් වන්නේ සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, පුණ්‍යසිරි ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලයි. චෝදනාවට ලක්වී ඇති කණ්ඩායමෙන් පුණ්‍යසිරි ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අරගලයෙන් පසුව පාර්ලිමේන්තුවට ඇතුළු වූ මහජන නියෝජිතයින් කණ්ඩායම අතර විය.

යමක් අවධාරණය කළ යුතුව ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ අමාත්‍යවරු සම්බන්ධයෙන් විපක්ෂය විසින් පැමිණිලි කළ පමණින් ඔවුන් නීති විරෝධී ලෙස වත්කම් ඉපැයූ බවට නිගමනය කළ නොහැක. වරදකරුවන් වන්නේ නැත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිනි ගොඩක බව කිව යුතුය. අමාත්‍යවරුන් රොත්තක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් අදාළ කොමිෂන් සභාවට තිබේද? එම කොමිසම මීට පෙර කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් නැත. යහපාලන අධිකරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ එම කොමිසම පාර්ලිමේන්තුව තුළ සහ පිටත පතුරු ගැසුවේය. අවඥාවට ලක් කළේය. නව නීතිය යටතේ කොමිසමට තම අවංකභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ඇත.

ජුලි 19, 2023 ඡන්දයකින් තොරව 2023 අංක 09 දූෂණ විරෝධී පනත සම්මත වන අවස්ථාවේ මැති සබය නියෝජනය කළ ජාජබ මන්ත්‍රී කණ්ඩායම තිදෙනෙකුගෙන් සමන්විත විය. ඒ ජවිපෙ සහ ජාජබ නායක අනුර කුමාර දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත්ය. ඒ අවස්ථාවේ දී සජබ ඉලක්ක කර ඇති කිසිවකු මැති සබයේ සිටියේ නැත. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාජබ ආණ්ඩු පක්ෂ කණ්ඩායම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 18 දෙනෙකු සමග 159 කි. එජාප නායකත්වයෙන් 1989 සිට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය තුළ පක්ෂයක් ලබා ඇති හොඳම ප්‍රතිපලය එයයි. ඒ පිළිබඳව කිසිදු සැකයක් අවිනිශ්චිතභාවයක් තිබිය නොහැක. නමුත් දූෂණ චෝදනා මත ඇති කරන සැකය එවැනි ශක්තිමත් කණ්ඩායමක් පවා දුර්වල කළ හැකිය. ජනතා විශ්වාසය දැඩි ලෙස පළුදු විය හැකිය. අමාත්‍ය හඳුන්නෙත්ති සහ දෙරණ නාලිකාවේ කළිඳු කරුණාරත්න අතර පසුගිය සතියේ විකාශනය කළ ‘360’ වැඩසටහනේදී වත්කම් බැරකම් ප්‍රකාශ මත අමාත්‍යවරයාව ප්‍රශ්න කිරීමට මාධ්‍යයට තිබෙන අයිතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වචන හුවමාරුවක් සිදුවිය. අමාත්‍යවරයාගේ ස්ථාවරය පුදුමාකාරය. මාධ්‍යයට අවශ්‍ය නම් වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ හැකිය. නමුත් අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ නොහැක. එලෙසම යම් භාණ්ඩයක් හෝ මුදලක් කැමැත්තෙන් දෙන අවස්ථාවක එය භාර ගැනීම අල්ලසක් නොවේ. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන කලිඳුට පාන්ද කියා ඇසීමට එම අමාත්‍යවරයා පෙළඹීම නිර්ලජ්ජිත දේශපාලන පාලන බලයේ සැබෑ ස්වරූපය නැවත ජනතාවට මතක කර දී ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළ 1999 ජනාධිපතිවරණයේදී ජවිපෙ (ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ) අපේක්ෂක වූ නන්දන ගුණතිලක පක්ෂ ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශ මත ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. වත්මන් පක්ෂ නායකත්වය දෙවන කැරැල්ලට දුන් දායකත්වය ප්‍රශ්න කළ ගුණතිලක පූර්ණ කාලීනව පක්ෂ දේශපාලනයේ යෙදුනා නම් කිසිදු ජවිපෙ ප්‍රබලයකුට ඒ ආකාරයේ වත්කම් තිබිය නොහැකි බව හිරු ‘බලය’ වැඩසටහනේදී අවධාරණය කළේය. පසුව තමන්ගේ පක්ෂය විනාශ කළ එජාපයේ සාමාජිකත්වය ගත් ගුණතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සුජාතභාවය ද ප්‍රශ්න කර ඇත. ඒ එම කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක තමන් දේශපාලන මණ්ඩලයේ සභිකයකු ලෙස කැඳවූ නීති කමිටුවේ සාමාජිකයකු වූ බව හෙළිදරව් කළ ගුණතිලක, නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල එම කමිටුවේ ලේකම් බව අවධාරණය කළේය. සජබ, කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට ලිවූ ලිපියේ සඳහන් කර ඇති මහජන නියෝජිතයන් හය දෙන අතර සුනිල් වටගල ද සිටින බව පෙන්වා දී ඇත.

ජාජබ/ජවිපෙ තුළ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවංක පසු විවරණයක් සිදු විය යුතුය. ආණ්ඩුවට වැරදි ඇත. ප්‍රශ්නයට මුහුණ දිය යුතුය. ඒ ම්ට පෙර ආර්ථිකය නැති භංගස්ථාන කළ දේශපාලන පක්ෂ රඟන නිසා නොවේ.

දූෂණ විරෝධී පනත පිළිබඳව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ නීතිඥවරයාගෙන් මෙම ලියුම්කරු පසුගියදා විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවසරයෙන් දූෂණ, වංචා, අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිටුදැකීමට නව පනත් තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බවයි. දූෂණ විරෝධී පනත එයින් එකක් බවත්ය. හිටපු අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය: “රට බංකොලොත් බවට මහ බැංකුව විසින් 2022 අප්‍රේල් මාසයේ කළ ප්‍රකාශය පසුබිමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) විශ්වාසය දිනා ගැනීම වහාම කළ යුතු විය. ඇතිවී තිබෙන දේශපාලන-ආර්ථික-සමාජීය අභියෝගය ජය ගැනීමට දූෂණ, වංචා, අක්‍රමිකතා සහ සංවිධානාත්මක අපරාධ පිටුදැකීමට අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය විය.

පළමුවෙන්ම අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්මත කර ගැනීම සිදුවිය. ඒ 2023 ජනවාරි 24 වැනි දිනය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට අවශ්‍ය සහයෝගය ලබාදීමට මැලිවිය. අවසානයේ එම පනතට පක්ෂව මැතිසබයේ ඡන්ද 97 ලැබුණ අතර 36 දෙනකු ඊට එරෙහි විය. එම පනතට එරෙහි වූ මන්ත්‍රීවරු අතර සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ද විය.”

එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ අනෙකුත් මන්ත්‍රීවරු වූයේ රිෂාඩ් බදුයුදීන්, ගයන්ත කරුණාතිලක, චම්පික රණවක, ජී. එල්. පීරිස්, තලතා අතුකෝරල, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හර්ෂ ද සිල්වා, දිලිප් වෙදආරච්චි, නිරෝෂන් පෙරේරා, එරාන් වික්‍රමරත්න, ජේ. සී. අලවතුවල, ඩලස් අලහප්පෙරුම, විජිත හේරත්, අශෝක් අබේසිංහ, අජිත් මාන්නප්පෙරුම, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ආචාර්ය හරිනි අමරසූරිය, කේ. සුජිත් සංජය පෙරේරා, එස්. එම්. මරික්කාර්, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, මුජිබුර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, රෝහිණී කුමාරි විජේරත්න, චමින්ද විජේසිරි, වරුණ ලියනගේ, චන්දිම වීරක්කොඩි, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, කින්ස් නෙල්සන්, රෝහණ බණ්ඩාර, බී. වයි. ජි. රත්නසේකර සහ වීරසුමන වීරසිංහ. මැති ඇමැතිවරු 225 කින් ඡන්දය ගනු ලැබූ අවස්ථාවේ මැති සබයේ සිටියේ 133 පමණි. මැති ඇමැතිවරු 92 සිටියේ නැත. දූෂණ විරෝධී පනත 2023 ජුලි 19 සම්මත කර ගැනීමෙන් පසුව පෙර තීරණය කර ගත පරිදි තුන්වන සහ අවසාන පනත වූ අපරාධවලින් ලැබුණු දේපළ පිළිබඳ පනත සම්මත කර ගැනීමට විජයදාස රාජපක්ෂට නොහැකි විය. 2023 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා කාලය තුළ අපරාධවලින් ලැබුණු දේපළ පිළිබඳ පනත සම්මත කර ගැනීමට මැති සබයේ එකඟතාවයක් නොවීය. අවසානයේදී එම පනත ජාජබ විසින් ඒකමතිකව 2025 අප්‍රේල් 8 වැනි දින සම්මත කර ගන්නා ලදී.

ඉහත සඳහන් පනත් තුන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් දේශපාලන භූමියේ අදහාගත නොහැකි වෙනසක් නැතහොත් විපර්යාසයක් කළ හැකි බවට විජයදාස රාජපක්ෂ අවධාරණය කළේය. අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළ 2024 සැප්තැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. හිටපු අමාත්‍යවරයා 2024 නොවැම්බරයේ පැවැත් වූ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීය. අරගලයෙන් පසුව (2022 මාර්තු-ජුලි) පාර්ලිමේන්තුව විසින් 2022 ඔක්තෝබර් සම්මත කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොසලකා 2023 සහ 2025 ක්‍රියාත්මක කළ පනත් තුන පිළිබඳව සාකච්ඡා කිරීම නිෂ්ඵල බව විජයදාස රාජපක්ෂ අවධාරණය කළේය. “21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදු වූයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආඥාදායක 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ නිසයි. ආඥාදායක නැඹුරුතාවය ආපස්සට හැරවීම කළ යුතුව තිබිණි. අරගලය සිදු වූයේ නැතිනම් 21 සංශෝධනය හෝ දේශපාලනය මූල්‍යමය පාලනයකට යටත් කළ පනත් තුන මොනයම්ම ආකාරයකින්වත් නීති පොතට එකතු වන්නේ නැහැ.”

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව 2004 දී අත්සන් කළ අදාළ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (United Nations Convention against Corruption) අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බවයි. මෙම ලියුම්කරු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එතුමා ප්‍රකාශ කළේ 2005 සිට 2015 දක්වා ජනාධිපති වූ මුදල් අමාත්‍ය ධුරය ද දැරූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දූෂණ විරෝධී පනත ගෙන ගෙන ඒමට කටයුතු නොකළ බවයි. යහපාලන සමයේදී තමන් අධිකරණ අමාත්‍යවරයා ලෙස එම පනත ගෙන ඒමට කළ උත්සාහය 2017 දී කඩා වැටීම සිදු වූයේ හම්බන්තොට වරාය චීනයට වසර 99 කට බදුදීමට එරෙහි වීම හේතුවෙන් තමන්ව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා බව හිටපු අමාත්‍යවරයා මතක් කළේය.

දූෂණ විරෝධී පනත යටතේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ඇමෙරිකානු ඩොලර් 3,000 වටිනා ක්‍රිප්ටො (රුපියල් මිලියන 1 ක් පමණ) හිමිකම් කීම සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න 1,850 USDT Binance account (ලොව ප්‍රමුඛ ක්‍රිප්ටො මුදල් හුවමාරුව) පිළිබඳව සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර ඒ පිළිබඳව විමර්ශනයක් සහ පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීම ගැටලුකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය කිරීමකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමට පෙර කළ විදේශ සංචාර කළ ආකාරය සම්බන්ධයෙන් ද දූෂණ විරෝධී පනත යටතේ ප්‍රශ්න කර ඇත. පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මෑත පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කතා බහට ලක් වන මේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තිබෙන්නේ 2024 අප්‍රේල් 1 දා සිට 2025 මාර්තු 31 දක්වා කාලයටය. 2024 ජූනි 13 සිට 15 දක්වා එංගලන්තයේ සංචාරයක ජනාධිපතිතුමා නිරත වුණා. එතුමාට ඒකට ගුවන් ටිකට්පත්වලට මුදල් ගෙව්වේ කවුද? හෝටල්වලට ගෙව්වේ කවුද? මේ තොරතුරු සියල්ලම වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා මේ තොරතුරු දාලා නෑ. ඒ වගේම එතුමා 2024 දී ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාරවල නිරත වුණා. මේවාට වියදම් කළේ කවුද කියන එක වත්කම් ප්‍රකාශනයේ දාන්න ඕනි. ඒ වගේම ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගියාම ජනපති මන්දිරයේ නතර වෙන්නේ නෑ. නතර වෙන්නේ ප්‍රමිෂ්කා නෝනාගේ හමිං බර්ඩ් හෝටලයේ කියලා මාලිමාවෙන්මයි කිව්වේ. එහෙම නම් ඒ තොරතුරු වත්කම් ප්‍රකාශනයේ “8.2 ත්‍යාග ඇතුළු සංචාර ප්‍රතිපූර්ණයන්” යටතේ දාන්න ඕනි. නමුත් ඒක දාලා නෑ. හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත සම්මත කරලා වත්කම් ප්‍රකාශයක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට තමන්ගේ ආණ්ඩුව ගනු ලැබූ තීරණයෙන් වත්මන් රජය බරපතල අමාරුවක වැටී ඇති බවයි. නීතිඥ ගම්මන්පිල පෙන්වා දුන්නේ මෙම පනත සම්මත කරන්න කලින් වත්කම් ප්‍රකාශය කියන්නේ රහසිගත ලේඛනයක් බවත් මහජන නියෝජිතයන් ලේඛනය සකසා අලවපු ලියුම් කවරයක සීල් කර භාර දුන් බවත්ය. “අධිකරණ නියෝගයකින් විතරයි ඒක විවෘත කරන්න පුළුවන්. නමුත් නව පනතින් ඒක වෙනස් වුණා. පෞද්ගලික තොරතුරු හැර අන් සියල්ලම අල්ලස් කොමිසම විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. අවාසනාවට මාලිමා නායකයන් මෙහෙම පනතක් සම්මත වෙන බව දැනගෙන ඉඳලා නෑ. ඒ නිසා මේ අය කිසිම බයක් නැතිව වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් වැදගත් තොරතුරු සඟවන්නත් කටයුතු කරලා තිබෙනවා.”

මෙය බරපතල චෝදනාවකි. හිටපු අමාත්‍යවරයා සිතාමතා ජනතාව ඇන්දවීමට අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ කළහොත් ඊට ආණ්ඩුවේ ප්‍රතිප්‍රහාරයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ගම්මන්පිල අමාත්‍යවරයා විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර සමග එකතුවී ගෝඨාභය රාජපක්ෂ රජය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ යුගදනවි කැබිනට් පත්‍රයට එරෙහිව රටේ ඉහළම උසාවියේ මැදිහත්වීම පැතූ බව අපට අමතක නැත.

අරගලයෙන් පසුව පාර්ලිමේන්තුව එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ දැඩි කැපවීමෙන් 2023 දී සම්මත කළ (1) දූෂණ විරෝධී පනත, (2) මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සහ ජාජබ මේ වසරේ සම්මත කළ (3) අපරාධවලින් ලැබුණු දේපළ පිළිබඳ පනත නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාත්මක කළහොත් විධායකය සහ ව්‍යවස්ථාදායකය උඩු යටිකුරු වෙනු ඇත. අතිශය කාර්ය බහුල කාලයකින් පසුව අධිකරණයට සාපේක්ෂව විවේක කාලයක් ලැබෙනු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here