ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

0
2

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ආකාරයෙන් ක්‍රියා කිරීම හරහා රජයට රුපියල් එක්කෝටි විස්හත් ලක්ෂ පනස්දහසක් පාඩු කොට දූෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකාර අතිරේක සාමාන්‍යාධිකාරීවරයා තවමත් අදාළ ආයතනයේ සේවය කරන බව සහ ඔහු යටතේ සිටින සේවකයින් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවඳ අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවොත් ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමේ හැකියාව ඇති නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත.

සැකකාර අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ ආයතනයේ වසර තිස් දෙකක සේවා කාලය සම්පූර්ණ කළ අයකු බැවින් ඔහු නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත බවය.

මෙම විමර්ශන පැවැත්වෙන අතරතුර සිය සේවා දායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුවන්ට ඇප මත මුදා හරින ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන විසි වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here