
පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය සිය ජයග්‍රහණය ප්‍රකාශ කළද, ආයතන 132ක විපක්ෂයට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිව ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. ජාතික ජන බලවේගය මුළු රටේම පළාත් පාලන ආයතන 258ක වැඩි මන්ත්‍රී ධුර දිනා ගත්තද, කොළඹ මහ නගර සභාව සහ තංගල්ල නගර සභාව ඇතුළු සභා 132ක විපක්ෂයේ දේශපාලන පක්ෂවලට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිව ඇත.
විපක්ෂයට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි වූ ප්‍රාදේශීය සභා අතර ලග්ගල, උකුවෙල, ගලේවෙල, රත්තොට, අඹගහකෝරළය, මස්කෙළිය, ආගරපතන, නුවර එළිය, කොත්මලේ, උඩ පළාත, පාතහේවාහැට, බුලත්කොහුපිටිය, යටියන්තොට, මහනුවර, මාවතගම, මැදවච්චිය, බිංගිරිය, කුලියාපිටිය, දඹුල්ල, පදියතලාව, තණමල්විල, මුලටියන, වැලිකන්ද, නිවිතිගල, බුලත්සිංහල, මතුගම, හොරොව්පතාන, බඩල්කුඹුර, වළල්ලාවිට සහ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ඇතුළත් වේ.
එමෙන්ම හැටන් දික්ඔය නගර සභාව, තලවකැලේ ලිදුල නගර සභාව, නාවලපිටිය නගර සභාව, මාතලේ මහ නගර සභාව, වත්තල මා බෝල නගර සභාව, ජා ඇල නගර සභාව, ආරච්චිකට්ටුව නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ද විපක්ෂයට වැඩි ශක්තියක් හිමි වූ සභා වේ.
පෑළියගොඩ, රත්නපුර, මැදගම, කන්තලේ, නාගොඩ, බුත්තල, බෙන්තොට, මාලිම්බඩ, හල්දුම්මුල්ල, රජිගම, මහඔය, කන්දකැටිය සහ බදුල්ල ලුණුගල ප්‍රාදේශීය සභාද විපක්ෂයට වැඩි බලයක් හිමි වූ ප්‍රාදේශීය සභා වේ.
කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගයට සභිකයන් 48 දෙනෙකු තනිව හිමි වූ නමුත් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට පොදුවේ හිමි වූ සභිකයන් සංඛ්‍යාව 69කි. මේ නිසා කොළඹ නගර සභාවේ පාලනය ඉදිරියේදී බොහෝ දුරට විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු වී පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ජාතික ජන බලවේගය සහ සෙසු පක්ෂ වෙන වෙනම ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව සමාන මට්ටමක පවතින පළාත් පාලන ආයතන 29ක් ද සොයාගෙන ඇත.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 14ක බහුතර බලය හිමිකරගෙන ඇත. අගලවත්ත, පාලින්දනුවර, උඩුදුම්බර, අකුරණ, අඹන්ගඟ කෝරළේ, ලග්ගල පල්ලේගම, මන්නාරම, කෝරලෙයිපත්තු, මුසලි, කල්පිටිය, පොංගල සෙට්ටිකුලම ප්‍රාදේශීය සභා, කින්නියා නගර සභාව සහ ගම්පොළ නගර සභාව මේ අතර වේ.
එසේම දෙමළ දේශපාලන පක්ෂයක් වන තමිල් අරසු කච්චි පක්ෂයට ආයතන 37ක බලය හිමි වී ඇති අතර,
සමගි ජන බලවේගයට ආයතන 14ක බලයද, මුස්ලිම් කොංග්‍රසයට ආයතන 5ක බලයද, සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට ආයතන 18ක බලයද හිමි වී ඇත.
මුළු රටේම පළාත් පාලන ආයතන 339න් 265ක වැඩි සභික ධුර දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇත. මේ අනුව එම බලවේගයට ස්ථිරම ආයතන 116ක පමණ බලය පිහිටුවීමට හැකිවනු ඇතැයි අනුමාන කෙරේ.
පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂය-විපක්ෂය ලෙස වෙනසක් නොමැති බවත්, බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයෙකු සභාපති ලෙස පත් කර ගැනීමට හැකි බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. තනි කණ්ඩායමක් හෝ පක්ෂයක් 50%කට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගත් විට එම කණ්ඩායමේ අයෙකු සභාපති ලෙස පත් කිරීමට පක්ෂ ලේකම්වරයාට හැකි බව ඔහු පැහැදිලි කරයි. උදාහරණයක් ලෙස සභිකයන් 30 දෙනෙකු පත්වන ප්‍රාදේශීය සභාවක එක් කණ්ඩායමකට සභිකයන් 16 දෙනෙකු සිටින විට එම කණ්ඩායමට සභාපති ධුරය හිමි වනු ඇත.
මෙම මැතිවරණයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ වැඩිම සභිකයන් පිරිසකගේ වැඩිම මනාප තිබෙන ඕනෑම අයෙකුට සභාපති වීමට හැකි බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (අයිරෙස්) සඳහන් කරයි. පළාත් පාලන ආයතන ඡන්දයේදී 50%ක ඡන්දයක් නොමැති වූ විට පළාත් පාලන ආයතන කොමසාරිස්වරයා කැඳවන පළමු රැස්වීමේදී වැඩිම කැමැත්තක් තිබෙන පුද්ගලයා සභාපතිවරයා ලෙස පත්කිරීමට හැකි බව මංජුල ගජනායක මහතා පවසයි. එහිදී කොමසාරිස්වරයා ඡන්ද විමසීමක් පවත්වන අතර, ඕනෑම මන්ත්‍රීවරයෙකුට සභාපති ධුරය සඳහා ඉදිරිපත් වීමට හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය තුළ ජාතික ජන බලවේගය තනිව බලය පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල සභාපති ධුරය හිමිකර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ අතර සංධාන ගොඩනැගීමේ උත්සාහයන් ඇරඹී ඇති බව පෙනේ.
Saru FM Media