ජයගඟට පෙරළුණා නම් මහා විනාශයක්:
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුට
දිවි අහිමි කළ තලාව මාරක බස් අනතුර
අකුණු ගහනවා වගේ මහා ශබ්ද තුනක් ඇසුණා
සිසුන් කිහිපදෙනකු බස් රථයට යටවී විලාප දුන්නා
බස් රථය පැදවූ රියැදුරා අත්අඩංගුවට
අපරික්ෂාකාරීව ගිය යතුරුපැදියකට ඉඩ දීමට යෑමේ දී අනතුර සිදුවෙලා
ජීවිත බේරාගන්න ප්‍රදේශවාසීහු හා රෝහල් කාර්ය මණ්ඩල මහත් වෙහෙසක් දරති
කලින් තිබූ පාර කාපට් කළ පසු මාර්ගය පටුවෙලා, ඒ මදිවට ගස්වලිනුත් පීඩා
පලාගිය යතුරුපැදිකරු අල්ලන්න සොයයි
තුවාල ලැබූ 47ක් රෝහලට
“ඊයේ දහවල් දොළහයි තිහට විතර මම ගේ ඇතුළෙ හිටියේ. අකුණු ගහනවා වගේ මහා ශබ්ද තුනක් ඇහුණා. දුවගෙන ඇවිල්ල බලනකොට බස් එකක් පෙරළිලා මිනිස්සු කෑ ගහනවා. පාසල් දරුවන් කිහිපදෙනෙක් බස් එකට යටවෙලා ඉන්නවා දැක්කා. බැරිවෙලාවත් බස් එක ජයගඟට පෙරළුණා නම් මහා විනාශයක් වෙන්න ඉඩ තිබුණා” යැයි ඊයේ (10දා) තලාව බස් අනතුර සිදුවූ ස්ථානයේ පදිංචිව සිටි රංජනී සුබසිංහ මහත්මිය පැවසුවාය.
තලාව පොලිස් වසමේ තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් ඊයේ අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී යෑමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව 47 දෙනකු තුවාල ලබා ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව සිටි 411/4 හඟුරන්කෙත ගම්මානයේ පදිංචි කේ. එම්. පසිඳු දිල්ෂාන් නන්දසේන නමැති දහසය හැවිරිදි සිසුවෙකි.
ඊයේ දහවල් 12.15ට තලාව බස් නැවතුම්පළෙන් ගමන් ආරම්භ කර 411 ගම්මානය බලා ධාවනය වෙමින් තිබූ මෙම පෞද්ගලික බස් රථය මුදුනේගමට නුදුරින් 409 තම්මැන්නාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගය අසල තිබූ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙම බස් රථය ධාවනය වෙමින් තිබියදී අපරික්ෂාකාරී ලෙස ඉදිරියෙන් පැමිණි යතුරුපැදියකට ඉඩ දීමට යෑමේදී එම යතුරුපැදිය බස් රථයේ ගැටී බස් රථය පල්ලමට පෙරළී ගිය බව එහි රියැදුරු පවසයි.
බස් රථයේ ගැටුණු බව කියන යතුරුපැදිය එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු සොයා විමර්ශනයක් ආරම්භ කළ බව තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශ නිලධාරියෙක් මෙහිදී සඳහන් කළේය. එම බස් රථය 12.15 ට තලාව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කර විනාඩි 15ක් අතරතුර අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මඟීන් 60කට ආසන්න පිරිසක් ගමන් කර ඇත. එම මඟීන් අතර ඊයේ උසස් පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දී නිවෙස් කරා යන සිසු සිසුවියන්, සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයකට සහභාගි වී නිවෙස් කරා යන සිසු සිසුවියන්, දෛනික කටයුතු සඳහා තලාව තඹුත්තේගම සහ අනුරාධපුරයට පැමිණ යමින් සිටි වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසක් ගමන් කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
බස් රථය අනතුරට ලක්වීමෙන් පසු එහි ගමන් කළ වැඩිහිටියන් සහ පාසල් දරුවන් ඇතුළු 47 දෙනෙකු තුවාල ලබා ඇත. තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ රෝගීන් 37 ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත් එයින් පිරිසක් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර පස් දෙනකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වූ මෙම පාසල් සිසුවා ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රියේ සිටි පිරිස් හඬා වැළපෙමින් තමන් බේරා ගන්නා ලෙස ඉල්ලා විලාප නගමින් කෑගැසූ බවත් වහා එම ස්ථානයට එක් වූ ප්‍රදේශවාසීන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් සමග එක්ව බැකෝ යන්ත්‍ර දෙකක් ගෙනවිත් පෙරළී තිබූ බස් රථය කෙළින් කර තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවත් සිද්ධිය දුටු අය පවසති.
තුවාලකරුවන් තලාව රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව ගිලන් රථ විස්සකට අධික ප්‍රමාණයක් තලාව රෝහලට පැමිණ තිබූ අතර එම ගිලන් රථ මාර්ගයෙන් තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට තලාව රෝහලේ කාර්ය මණ්ඩලය කටයුතු කළහ.
පස්වරුව වන විට අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන රෝගීහු පස්දෙනෙක් පමණක් තලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ. අනතුර සම්බන්ධයෙන් තලාව සහ තඹුත්තේගම පොලිසිවල ර වාහන අංශ නිලධාරීහු කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මෙම මාර්ගය මීට පෙර පළල්ව තිබුණත් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව පටු වූ බවත් මාර්ගයේ වාහන දෙකක් එකිනෙක මාරුවීමට නොහැකි බවත් මාර්ගය දෙසට නැමී ඇති මාර ගස් සියල්ලේම වාහන ගැටී කඩ තොලු වී ඇති ආකාරය දැක ගත හැකි බවත් එම ස්ථානයට රැස්ව සිටි ප්‍රදේශවාසීහු පිරිසක් සඳහන් කළහ.
බස් රථය පැදවූ රියැදුරා වූ අනුරාධපුර පාරේ මොරගොඩ පදිංචි පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මිහින්තලේ – රංග චතූ සහ පර්සි කුරුනේරු – අනුරාධපුර
Saru FM Media



