ජයකොඩිට තියෙන්නේ පරණ නඩුවක්. ගල් අඟුරු සිද්ධිය මම සමීපව අධ්‍යනය කළා, එතන වංචාවක් වෙලාම නෑ – ජනපති කුමාර

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයකුට ඔහුගේ ධුර කාලයට අදාළව යම්කිසි අධිචෝදනාවක් ගොනු වුවහොත් තමන් පසු දිනම ඔහුව තනතුරින් ඉවත් කරන නමුත් කුමාර ජයකොඩි අමාත්‍යවරයාට නඩුවක් ගොනුවී ඇත්තේ 2014 සමයේදී ඔහු රාජ්‍ය නිලධාරියකු වශයෙන් කටයුතු කළ සමයේ සිද්ධියකට අදාළව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ගල් අඟුරු සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් චෝදනාව එන්නේ ඔබතුමාගේ ඇමතිවරයා කුමාර ජයකොඩි මහත්තයාට. ඔහුට දැනටමත් මහාධිකරණය හමුවේ නඩු පවරලා තියෙනවා වෙනත් සිද්ධියකට. විපක්ෂය චෝදනා කරනවා ඇයි ඔබතුමා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්නෙ නැත්තේ කියලා ?

“විශේෂයෙන්ම මම අපේ කවුරු හෝ අමාත්‍යවරයෙක් අමාත්‍යවරයාගේ බලතල, අමාත්‍යවරයාගේ විෂය පථය උපයෝගී කරගෙන කොතනක හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවා නම් පහුවදා ඔහුව මම ඉවත් කරනවා. මතක තියාගන්න. ජයකොඩි පිළිබඳ මතුවෙලා තියෙන ප්‍රශ්නය 2014 ඔහු රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්නකොට ප්‍රසම්පාදනයේදී ඇතිවුණු ගැටලුවක්. මා ඒක උසාවියේ නඩුවක් තියෙන නිසා පැහැදිලි කරන්න යන්නෙ නෑ. මේක උසාවියේ තියෙන්නෙ. හැබැයි ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධිචෝදනා ලබලා අධිකරණයට ගොනුකරලා තියෙන්නෙ, හෙට මම අයින් කරනවා. එහෙමයි.

ඊළඟට ගල් අඟුරු පිළිබඳව. ඉතින් මම හිතන්නෙ දැන් මේකට පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් ඉල්ලලා තිබුණා. එතන විභාගයට ලක්කරන්න පුළුවන්. මොකද මගේ පරීක්ෂණයක් පක්ෂපාතී කියන්න පුළුවන්. මා දන්නෑ තවමත් කවුරුත් අල්ලස් කොමිසමට ගියාද කියලා. පරීක්ෂණ කරන්න පුළුවන්. මා දන්නවා මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ කමිටුවක් හදලා වාර්තාවක් හදාගෙන සුද්ද වෙච්චි ඉතිහාසයක් තිබෙනවා. මා ඒකට එන්නෙ නෑ. මා පැහැදිලිවම – ඒ බලය තිබෙන ආයතනයන් තිබෙනවා, ඒ ආයතනයන් විධිමත් පරීක්ෂණයක් කරයි. මා සතුව තිබෙන තොරතුරු සහ මා ඒක සමීපව අධ්‍යනය කිරීම හරහා මා දන්නවා එතන වංචාවක් වෙලා නෑ. මට තියෙන ඒත්තු ගැන්වීම තමයි එතන වංචාවක් සිදු වෙලා නෑ. වංචාවක් සිදුවෙලා නෑ, එච්චරයි. නමුත් පාර්ලිමේන්තුවට පුළුවන්, කෝප් කමිටුවට පුළුවන්, අල්ලස් කොමිසමට පුළුවන් ඒ පරීක්ෂණ හරහා යම් දූෂණයක් හෝ වංචාවක් පිළිබඳ චෝදනා එල්ල වෙනවා නම් ඒකෙදි මම ඒ ක්‍රියාමාර්ග ගන්නවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) රාත්‍රියේ පැවති විශෙෂ මාධ්‍ය හමුවේදී ය.

The post ජයකොඩිට තියෙන්නේ පරණ නඩුවක්. ගල් අඟුරු සිද්ධිය මම සමීපව අධ්‍යනය කළා, එතන වංචාවක් වෙලාම නෑ – ජනපති කුමාර appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here