ජ’පුර මහ රෝහලට 4D Angio CT suite පද්ධතිය සහිත ඒකකය සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකයක්

0
3

දකුණු ආසියානු කලාපයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම 4D Angio CT suite පද්ධතිය සහිත ඒකකය සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය අද (24) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණි.

ජපාන රජයේ රුපියල් මිලියන 1000කට අධික මූල්‍ය පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කළ 4D ඇන්ජියෝ CT පද්ධතිය මෙරට රාජ්‍ය හෝ පෞද්ගලික රෝහල් පද්ධතියේ මෙතෙක් නොතිබූ අතිනවීන තාක්ෂණයෙන් යුක්ත වීම විශේෂත්වයකි. මීට අමතරව නවීන දන්ත පුටු 10කින් සමන්විත දන්ත සෞඛ්‍ය ඒකකය ද විවෘත කිරීමත් සමඟ රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මෙතෙක් නොතිබූ පහසුකම් රැසක් හිමි වේ.

මෙම අවස්ථාව අමතමින් ඇමැතිවරයා අවධාරණය කළේ මෙවැනි අතිනවීන තාක්ෂණික උපකරණවලින් උපරිම ප්‍රයෝජන ගෙන රෝගීන්ට කඩිනම් සේවාවක් සැපයීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමක් බවයි.

රජය සහ විවිධ මිත්‍ර රාජ්‍යයන් ලබාදෙන මෙවැනි උසස් පහසුකම් උපරිම ධාරිතාවයෙන් භාවිත කරමින් රෝගී පොරොත්තු ලේඛන අවම කිරීමට කටයුතු කළ යුතු බවත් පවතින පැරණි ආකෘති සහ පනත් වෙනස් කරමින්, නව යුගයට ගැළපෙන පරිදි කාර්ය මණ්ඩලය සහ නවීන උපකරණ පුළුල් කරමින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙරට විශිෂ්ටතම රෝහලක් බවට පත් කිරීම අපගේ අරමුණ බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම අවස්ථාව සඳහා මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා, මහරගම නගර සභාවේ නගරාධිපති සමන් අමරකෝන් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here