ලෝක නායකයෝ 30 දෙනෙක් එම අවස්ථාවට එක් වෙති
ඊජිප්තුවෙන් ට්‍රම්ප්ට එරට ඉහළම සම්මානය
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා නිදහස් කිරීමේ අවස්ථාව අධීක්ෂණය කිරීම සඳහා ඊශ්‍රායලයේ කෙටි සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරුව ඊජිප්තුවට ගොස් ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කර සාමය උදාකරලීම පිළිබඳ ප්‍රකාශනයට අත්සන් තබා තිබේ. අදාළ සාම ප්‍රකාශනයට ජනාධිපති ට්‍රම්ප්ට අමතරව ඊජිප්තුව, කටාරය හා තුර්කිය යන රටවල රාජ්‍ය නායකයන් විසින් අත්සන් තබා ඇති අතර ඊජිප්තුවේ ෂාම් එල් ෂික් නගරයේ පිහිටි නිවාඩු නිකෙත්නයකදී පැවති අදාළ ගාසා සාම ප්‍රකාශනයට අත්සන් තැබූ අවස්ථාව සඳහා රටවල් 30ක රාජ්‍ය නායකයන් සහභාගී වී තිබේ. මෙහිදී ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි විසින් ජනාධිපති ට්‍රම්ප් හට ගාසා තීරයට සාමය උදාකරලීම නිමිත්තෙන් ඊජිප්තුවේ යමෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පිරිසිදු රත්‍රන්වලින් නිමවූ මාලයක් සහිත ‘ඕඩර් ඔෆ් ද නයිල්’ සම්මානය පිරිනමා තිබේ. මෙහිදී රැස්ව සිටි පිරිස අමතා කථා කර ඇති ජනාධිපති ට්‍රම්ප් මේ වන විට ගාසා තීරයට සාමය උදාවීම සම්බන්ධයෙන් සැවොම ප්‍රීතියෙන් සිටින බව පවසා තිබේ. මෙවැනි තත්ත්වයක් උදාවීම සඳහා වසර 3000ක් වත් ගත වීමට ඉඩ තිබුණා. ඔබලා විශ්වාස කරනවද? මෙම තත්ත්වය දිගටම පත්වාගෙන යනවා යැයි ඇමරිකානු ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිස අමතා පවසා තිබේ.
මේ අතර ඊජිප්තුවට පැමිණීමට පෙර ඊශ්‍රායලයට ගොස් එරට පාර්ලිමේන්තුව වන ‘ක්නිස්සෙට්’ අමතා ඇති ජනාධිපති ට්‍රම්ප් ප්‍රීතිඝෝෂා නගමින් සිටි ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා පවසා ඇත්තේ දිගුකාලීන හා වේදනාකාරී නපුරු සිහිනය අවසානයේදී නිමාවට පත් වූ බවයි. මේ අතර ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතන අවස්ථාව ටෙල් අවිව් නගරයේ හොස්ටේජ් ස්ක්වෙයාර් හි සිට නරඹා ඇති ඊශ්‍රායල වැසියන් ට්‍රම්ප් ජනාධිපතිවරයාට සිය ප්‍රසාදය පළ කරමින් ප්‍රීති ඝෝෂා කරඇති අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පාර්ලිමේන්තුව අමතන විට ඔහුට හූ හඬ නගා ඇති බව වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් සකස් කර තිබූ කරුණු 20කින් සමන්විත ගාසා සාම සැලැස්ම යටතේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටියදී මියගොස් ඇති ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 28 දෙනෙකුගේ දේහයන් ද ඊශ්‍රායලයට භාර දිය යුතු බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර යෝජිත ගාසා සාම සැලැස්මේ දෙවැනි අදියරය සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා අරඹා තිබේ. ඊජිප්තුවේ පැවැති ගාසා සාම ප්‍රකාශනයට අත්සන් තැබීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සමග එම අවස්ථාවට එක් වූ රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට පෙනී සිට ඇති අතර එම ඡායාරූපයට පෙනී සිටි රාජ්‍ය නායකයන් අතර පලස්තීන අධිකාරියේ ජනාධිපති මුහමද් අබ්බාස් ද සිටි බව වාර්තා වේ. පලස්තීන නායකයාට පසුගියදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීම සඳහා පැමිණීම අවහිර කර තිබුණේ ද ඇමරිකාව විසිනි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ
Saru FM Media