ජනාධිපතිගේ නිදහස් දින පණිවුඩය – Saru News | සිංහල

0
2

“නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇතත් මෙවර එම වරද සිදු නොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු.” යැයි සඳහන් කරමින් ජනාධිපති අනුර දිසානායක අභිමානවත් 78වන නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් සඳහන් කරයි.

ජනාධිපති අනුර දිසානායක 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහතින් දැක්වේ,

“78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට  සන්නාමගත කිරීමට අපි සමත් වීමු.

අප ලද සාර්ව ආර්ථික ප්‍රතිලාභ ලංකාවේ සියලු පළාත්වල සියලු ජාතීන්ට අයත් ප්‍රජාව වෙත ගලා යාමට සැලැස්වීම අපගේ ඊළඟ ප්‍රධාන අරමුණ වේ. එය සිදු නොකර, අලුතින් ගොඩනැඟෙන සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ රිද්මය සාක්ෂාත් කිරීමට නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු.

මෑතකාලයේ සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට අපට සිදු විය. එම ව්‍යසනයේ අත්දැකීම වේදනාකාරී වුවද, ගෙවුණු වසර එකහමාරක කෙටි කාලය තුළ අප ගොඩනඟා ගත් ස්ථාවර පදනම් මත, සියලු පාර්ශ්වයන්ගේ සහායද සහිතව, යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තුළ අපි සාර්ථකව ඉදිරියට පියමං කරමින් සිටිමු.

නිදහස ලබා ගෙවුණු කාලය තුළ, නිවැරදි දිශානතියක් කරා අප රට යොමු කිරීමටත්, ජාතික වශයෙන් ළඟා කර ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමටත්, එකමුතුව ජීවත් වීමටත් ලැබූ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථා බොහෝවිට මඟ හැරී ඇත. එහෙත්, මෙවර එම වරද නැවත සිදු නොකර, අප රට පැවතියාටත් වඩා දියුණු, ශක්තිමත් සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමේ තිර අදිටනින් යුතුව අපි වෙහෙසෙමු. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නේ අපගේ අභිමානවත් සංස්කෘතිය, පෞරාණික ඉතිහාසය සහ අගනා උරුමයන් ආරක්ෂා කර ගනිමින්, ඒ මත සවිමත් ලෙස දෙපා තබාගෙන බවද මෙහි ලා සිහිපත් කරමි.

විසිවන සියවස තුළ උපන්, එහෙත්, බොඳව ගිය අභිමානවත් රටක් පිළිබඳ වූ සිහිනය, විසිඑක්වන සියවස තුළ සැබෑ කරමින්, රටේ ජනතාව අපේක්ෂා කරන දියුණු, ඉසුරුමත් සහ යහපත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟා, අප ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශයෙන්ම නිර්මාණය කළ හැකි බවට මා සතුව ඇත්තේ අචල විශ්වාසයකි. එහිදී මෙරට සියලු පුරවැසියන්ගේ ශක්තිය, ඔවුන්ගේ  සාමුහිකත්වය සහ නොසැලෙන ගුණය කෙරෙහි අපි දැඩිව විශ්වාස තබා ඇත්තෙමු.

ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ මෙරටට අත්කර දෙමින්, සියලු දෙනා එක්ව දකින සුන්දර සිහිනය වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම සඳහා, එකමුතුව, තිර අදිටනින් සහ සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු පුරවැසියන්ට යළි ආරාධනා කරමින්, නිදහසේ සැබෑ අරමුණු කරා අප රැගෙන යාමට දිරි වඩන, අර්ථවත් ජාතික නිදහස් දිනයකට සුබපැතුම් එක් කරමි.”


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here