ජනපති, අගමැති හා විපක්ෂ නායකගෙන් “පාස්කු ඉරු දින පණිවිඩ”

0
5

අද (05) දිනට යෙදී ඇති පාස්කු ඉරු දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාස්කු ඉරුදින පණිවිඩ එක්කර තිබේ.සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යමු – ජනපති

ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස තමන් සියලු ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අදට (05) යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ මොහොතේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුනේ ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවත් එදිරිවාදය පෙරදැරිය ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.
ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි.  මරණය පරදා  උත්ථානය ලැබූ  ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ.
මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී  සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.
ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි  දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු! ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!
දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ  කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන  සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!
සහෝදරත්වයෙන් හා සාමයෙන් රට ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතුයි – අග්‍රාමාත්‍යවරිය

සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, පාස්කු දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානයවීම පාස්කු දිනය ලෙ‍ස කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබයි.

මරණයෙන් පසු නැවත උත්ථානය වූ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාට ලබා දුන් පණිවුඩය වන්නේ, අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවය.

අපගේ ජීවිත තුළ විවිධ අභියෝග, දුක් වේදනා හා බාධක පැමිණීම ස්වභාවිකය.

එහෙත්, කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කරන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

පාස්කු දින සැමරුම් සිදු කළ ද මැද පෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩා විඳින බවද අමතක නොකළ යුතුය.

වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුද බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවායි ශුද්ධ වූ පාස්කු දිනයේ ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.

ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාවදීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගත යුතු බව එහි වැඩිදුරටත් දැක්වෙයි. ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම පොදු වගකීමයි – විපක්ෂ නායක

විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ ඒ සඳහා වූ ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීමද සියලු පාර්ශවයන් හී වගකීමක්ද වනු ඇති බවය.

නව බලාපොරොත්තු, අපේක්සා පෙරටු කරගනිමින් පාස්කු ඉරුදින සැමරුවද මීට වසර 07කට පෙර සිදුවූ මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාබර මතක තවමත් ඉදිරිව පවතින බැවින් ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ සමීපතමයන් අහිමි වූ ජනතාවට යුක්තිය ඉටු කිරීමට පැවති මෙන්ම පවතින රජයටද නොහැකි වීම රටක් ලෙස ලැබූ මහත් පරාජයක් බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා වැඩිදුරටත් සිය පණිවිඩය මගින් සඳහන් කර ඇත්තේ විපතට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා සත්‍ය හෙළි කිරී යනු රාජ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වගකීමක්ද වන බවය.

විපක්ෂනායකවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,

පාස්කු මංගල්‍යය යනු බලාපොරොත්තුව, නැවත නැඟී සිටීම සහ සමාජයක් ලෙස නව ආරම්භයක් පිළිබඳ ව අපට මතක් කරවන පූජනීය අවස්ථාවකි. මෙම ආශීර්වාදයෙන් පිරි දිනයේ දී, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මාගේ සුභාශිංසන පිරිනැමීමට ලැබීම සතුටට කරුණක් සේ සලකමි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා නැවත උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් විසින් පාස්කු මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වූ ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.
නව බලාපොරොත්තු, අපේක්ෂා පෙරටු කර ගෙන පාස්කු මංගල්‍ය සැමරුවත් මීට වසර 7ට පෙර පාස්කු ඉරිදා දිනක අප රටේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් එල්ල කර ගෙන සිදු වූ මරාගෙන මැරෙන මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාබර මතකය අප හදවත් තුළ තවමත් ඉතිරිව පවතී. 2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ විනාශකාරී මේ ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ සමීපතමයන් අහිමි වූ අපේම රටේ අපේම ජනතාවට තවමත් යුක්තිය ඉටු කිරීමට පැවති මෙන්ම පවතින රජයට ද නොහැකි වීම රටක් ලෙස අප ලැබූ මහත් පරාජයක් සේ සලකමි.
පාස්කු ඉරිදා දින සිදු වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් විපතට පත් පාර්ශ්වයන්ට සාධාරණය ඉටු කිරීම සහ සත්‍යය හෙළි කිරීම යනු අපගේ රාජ්‍ය පද්ධතියට අයත් අත්‍යවශ්‍ය වගකීමක් සහ වගවීමක් වේ. මේ වගකීමෙන් සහ වගවීමෙන් අප කාටවත් නිදහස් විය නොහැක. ඒ සඳහා නීතියේ ආධිපත්‍යය, වගකීම සහ විනිවිදභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බව අප පසක් කර ගත යුතුය. මෙම කරුණු සම්බන්ධයෙන්, ආරම්භයේ සිටම දරන ස්ථාවරය වෙනස් නොවී, අද දින ද එයම පවත්වාගෙන යන බව අවධාරණය කරමි.
අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා සියලු ජාති, ආගම් සහ ප්‍රජා එක්සත් කරමින්, විශ්වාසය හා සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම අප සැමගේ පොදු වගකීමකි. එමඟින් නැවත එවැනි විපතක් සිදු නොවන පරිදි ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම අප සැමගේම වගකීමකි.
මෙම පාස්කු දින, අපි වින්දිතයන්ගේ මතකයට ගෞරවය පළ කරමින්, යුක්තිය, සාමය සහ එකමුතුව සඳහා අපගේ කැපවෙමින් සත්‍ය අනාවරණය කර ගැනීමට සැවොම එකතු වෙමු.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here