ජනපතිගේ සරුංගල් කතාව

0
10

පසුගිය සතිය අයවැය පළමු සතියයි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ පැය හතරහමාරක් හිටගෙන කතා කරමින් මෙවර ඉදිරිපත් කරන ලද අයවැය ගැන මේ සමාජයේ නොයෙකුත් අදහස් උදහස් පැනනැඟී තිබීම නිසා මෙම සතියේ කොයි පැත්තෙන් බැලුවත් උණුසුම් සතියක් විය.

ආණ්ඩුව පැත්තෙන් මේ අයවැය අගය කළේ වර්තමානයේ රට මුහුණ පාන අභියෝග හමුවේ මෙවන් අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකි වීම, රටේ ජනතාව ලබාගත් විජයග්‍රහණයක් ලෙස හුවා දක්වමිනි. ජනාධිපතිවරයා පැය හතරහමාරක් හිටගෙන එවන් කතාවක් කිරීම පවා වත්මන් රජයේ ප්‍රකාශකයන්

“අමන්දානන්දයට” පත්කළ කාරණාවක්ව තිබීම විශේෂත්වයකි. හැරත් ඔවුන්ගේ අයවැය විග්‍රහයට අනුව මේ අවස්ථාවේ රටට ලැබෙන ආදායම්වලින් මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි කියාද පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය.

මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී ගොස් ඇතැයි කියා පැවසුවේ ජනාධිපතිවරයා පමණක් නොවේ. පොදුවේ ගත්කළ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් අතරින් ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමකින් අතිශයින් සන්නද්ධව සිටිනවා යැයි කියන සමගි ජනබලවේගයේ හර්ෂ සිල්වාගේ කටින් ද එවන් අදහසක් ප්‍රකාශ වීම රජයේ අයවැය විජයග්‍රහණය තව තවත් තීව්‍ර කරන්නට සමත් කාරණාවක් ලෙස පොදු සමාජයේ කතාබහට ලක් වෙමින් තිබිණ. පසුගිය සතිය ගෙවී ගියේ එවන් උණුසුම් වාද විවාද සමාජය තුළින් ඒ මේ අතට හුවමාරුවෙමින් කැකෑරෙමින් සමාජයේ දේශපාලන කථිකාව උණුසුම් වී තිබෙන අවස්ථාවකය.

හර්ෂ සජිත්ට ත් එරෙහිව ආණ්ඩුවට උදව් කළාද..?

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය සතිය පුරාම පාර්ලිමේන්තුවේ පැවැත්විණි. එම විවාදය ආරම්භ කිරීම සාම්ප්‍රදායිකව විපක්ෂයට හිමි වූ අතර විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පළමු දේශනය කරනු ලැබුවේ හර්ෂ ද සිල්වාය. සමස්තයක් වශයෙන් ඔහු මුලින්ම පටන් ගත්තේ අයවැයෙහි සාධනීය ලක්ෂණ විදහාපාමින් අයවැය සාර්ථක විය යුතු යැයි මූලික නිගමනයකින් පටන් ගෙනය. අයවැයෙහි පෙන්වා දී ඇති පරිදි මේ වනවිට මහා භාණ්ඩාගාරය විශාල වශයෙන් ආදායම් ලබා පිරී ඉතිරී යන බවද ඔහු පිළිගත් අතර හර්ෂ ඊට ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට ද අවංක වූයේය. මහා භාණ්ඩාගාරයක් පිරී ඉතිරී යෑම රටක සෞභාග්‍ය දනවන ඉතා හොඳ ලක්ෂණයක් බව තර්කයක් නැත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එසේ මහා භාණ්ඩාගාරය පිරී ගොස් ඇත්තේ කවර හේතු සාධක නිසාද යන්නයි.

සිය දේශනයේදී හර්ෂ ද සිල්වා මෙසේ රජය මහා භාණ්ඩාගාරය පුරවා ඇත්තේ කෙසේද යන කාරණාව පැහැදිලිව ඉස්මතු කර සිටියේය. අසාමාන්‍ය ලෙස ලංකාවට පිටරටින් වාහන ගෙන්වා ඒවායින් අති විශාල “බදු මුදලක් රජය ලබාගෙන” එම මුදලින් මහා භාණ්ඩාගාරය අධික ආදායමක් ලබා ඇති බව ඔහුගේ කතාවේ සඳහන් විය. එහෙත් රටේ මාධ්‍යවලින් ප්‍රචලිත වූයේ හර්ෂ මහා භාණ්ඩාගාරය පිරුණේ කෙසේද කියා කී කතාව නොව, මහා භාණ්ඩාගාරය පිරී ඇතැයි කියමින් සතුටට පත්ව ඔහු ආණ්ඩුවට ප්‍රශංසා කරන ලද කාරණාව පමණි.

හරිෂගේ මෙම ප්‍රකාශය නිසා පක්ෂයේ ඇතැමුන් හා විපක්ෂයේ බොහෝ කණ්ඩායම් හර්ෂව විවේචනය කරන්නට පවා පටන්ගෙන තිබීම පසුගිය සතියේ අපට දැකගත හැකි විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ඇතුළේ ද හර්ෂට ලොකු විවේචනයක් පැමිණ තිබිණි. හර්ෂ කීවේ එය මාධ්‍යවලින් උලුප්පා දැක්වූ කාරණාවක් මිස තමාගේ වරදක් නොවන බවයි.

පසුගිය කාලය මුළුල්ලේ මාධ්‍යවලින් පතුරවා යවමින් තිබූ තවත් එක් කතාවක් වූයේ සමගි ජනබලවේගයේ තුන්වෙනියා වන හර්ෂ ද සිල්වාත් එහි නායකයා වන සජිත් ප්‍රේමදාසත් අතර අභ්‍යන්තරයේ ලොකු ගැටුමක් පවතින බවයි. හර්ෂ සජිත්ට එරෙහිව යම් යම් තැන්වල කටයුතු කරන බවත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට පිටින් යමින් රජය හා රජයේ වැඩපිළිවෙළවල් අගය කරන බවත් ඔහුට විරුද්ධව තිබූ එක් චෝදනාවකි.

පසුගිය දිනක හර්ෂ එක්තරා මාධ්‍යයක පැවති ප්‍රසිද්ධ සාකච්ඡාවකට සහභාගිවන්නට ගියේය. සාකච්ඡාවේදී මාධ්‍යවේදියා හර්ෂගෙන් පක්ෂයේ අභ්‍යන්තරය පිළිබඳ අසීරු ප්‍රශ්න ගණනාවක් විමසා සජිත් ප්‍රේමදාසගේ ඉන්දියානු සංචාරය ගැනද කරුණු විමසා සිටියේය.. මෙම සංචාරය නිසා හර්ෂත් පක්ෂ නායකත්වයත් අතර යම් මතභේදාත්මක ගැටුමක් ඇතිවූ බව ඇත්ත දැයි ඔහු ඇසීය. සමාජයේ පහුගිය දිනවල පැවැති කතාව ඊට හේතුවක් වන්නට ඇත.

කෙසේ වෙතත් හර්ෂ එම ප්‍රශ්නයට උත්තර දුන්නේ… පක්ෂ නායකයාගේ ඉන්දියානු සංචාරය ගැන කිසිවක් තමන් නොදන්නා බවයි. එය පැදුරටත් නොකියා හොරෙන් ගිය ගමනක් බවට මාධ්‍ය සාකච්ඡාවේ මාධ්‍යවේදීන් මතු කරගන්නට උත්සාහ කළත් හර්ෂ ඒ ගැටයට අසු නොවී සිටින්නට උත්සාහ කළේය. සංචාරය ඉන්දිය රජයෙන් කරන ලද ආරාධනාවක් අනුව ගිය එකක් දැයි ඇසූ විට හර්ෂගේ උත්තරය වූයේ එහෙම තමයි ආරංචි වුණේ කියාය.

“ආණ්ඩුවේ මිනිස්සුත් ඔය සංචාරය ගැන කතාව කියලා පාර්ලිමේන්තුවේදීත් මට සමච්චල් කළා” යනුවෙන් කියමින් හර්ෂ සිනාසුනේය. ඒත් මම මේක දැක්කේ පත්තරෙන් යැයි ඔහු කීවේය.

කෙසේ වෙතත් සජිත්ගේ ඉන්දියානු සංචාරය ගැන සමාජයේ තැන තැන පළවූ කතාද බොහෝය. මෙම සංචාරය ඉන්දියානු රජයේ ආරාධනාවක් අනුව සිදුවූ එකක් නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ නිලධාරීන් කිසිවකු රැගෙන යන්නේ නැතිව ලක්ෂ්මන් ෆොන්සේකා, කුසුම් විජේතිලක, චමත් විජේසුන්දර ආදීහු මේ ගමනට කැටිව ගියේ මන්දැයි බොහෝ දෙනා තර්ක කළහ. කෙසේ වෙතත් පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ගවලද ඒ සංචාරය ගැන එක මතයක් නොවීය. පුද්ගලික සංචාරයකුත් ඉන්දීය රජයේ ආරාධනයකුත් සමහරවිට ඒ දෙකම එක විට තිබෙන්නටත් ඇත.

පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් සජිත්ගේ ඇවතුම් පැවතුම් සාකච්ඡාවට භාජනය වන්නට වූයේ වෙනත් හේතුවක් නිසා බව දේශපාලන විඤ්ඤාණය සහිත බොහෝ දෙනා දැන සිටියහ. ඒ වූ කලී සජිත් ප්‍රේමදාස මේ වනවිටත් විපක්ෂයේ පොදුවේ එකට එකතු වී සංවිධානය කරනු ලබන නුගේගොඩ මහා රැලියට සහභාගි නොවන්නට තීරණය කිරීමයි.

සජිත් මේ රැලියට සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාට පසුව විවිධ අය විවිධ හේතු ඒ වෙනුවෙන් කියන්නට පටන් ගත්හ. එහෙත් සජිත් ප්‍රේමදාස ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා නිහඬව සිටියා මිසක් ඔය කියන හේතු කාරණාවලට වගඋත්තර බඳින්නට ගියේ නැත.

කෙසේ වෙතත් නුගේගොඩ මහා ජනහමුව පැවැත්වීම පිළිබඳව විපක්ෂයේ එකමුතුවට ප්‍රශ්න තුනක් පැනනැඟී තිබිණි. එකක් විපක්ෂයේ ප්‍රධානතම පක්ෂය වන සමගි ජනබලවේගය මේ සම්බන්ධයෙන් හරි ස්ථාවරයක් නොගැනීමයි. දෙවැන්න විපක්ෂයේ වේදිකාවේ අද සිටින හොඳම කථිකයා නොහොත් උණුසුම්ම කථිකයා ලෙස කැපී පෙනෙන විමල් වීරවංශ මේ වේදිකාව මතට නැග්ගවීමට විපක්ෂයෙහි එකමුතුවට මේ අවස්ථාවේ නොහැකි වී තිබීමයි. තුන්වන කාරණාව සර්වජන බලය වටා ඒකරාශී වී සිටින බලවේග මෙම රැලියට සහභාගි නොවන්නට තීරණය කර තිබීමයි. වත්මන් රජය පැත්තෙන් රැලියට පැමිණෙන වියතිරේක හැරුණු විට එම රැලියේ සංවිධායකයන්ට මෙම කාරණා තුන නම් යම්තාක් දුරකට රැලියේ සාර්ථකත්වයට හා සැලසුම්වලට බලපෑවා නිසැකය.

ඒ කෙසේ වෙතත් උදය ගම්මන්පිලත් නාමල් රාජපක්ෂත් එක්සත් ජාතික පක්ෂයේ හා විපක්ෂයේ අනෙකුත් ලොකු කුඩා පක්ෂවල සහයෝගය ඇතිව 21වැනිදා නුගේගොඩ දී පවත්වන්නට නියමිත මහා ජනහමුව පිළිබඳ සාකච්ඡාව පසුගිය සතිය පුරාමත් දිගින් දිගටම ඉතා සාර්ථකව පැවැති බව නම් රහසක් නොවේ. සාකච්ඡාව පසුගිය සතියේ ස්ථාන ගණනාවකම සාර්ථකව පැවැත්වුණේ මෙසේය.

ඩාලි පාරේ කාර්යාලයේ නාමල් පොහොට්ටුවක්

නාමල් පසුගිය සඳුදා හවස ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයට ගියේ කලකට පසුවයි. එහි 21 වැනිදා රැලිය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැති අතර ශ්‍රීලනිපයෙන් නිමල් සිරිපාල, අනුර යාපා, චාමර සම්පත්, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු තවත් කීපදෙනෙක් එක්ව සිටියහ. නාමල් සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී. වී. චානක, සංජීව එදිරිමාන්න තිදෙනාද සිටියහ..

“අපි හිතුවටත් වඩා ගම්වල අය අපේ රැලිය ගැන ලොකු උනන්දුවකින් වැඩකරමින් ඉන්නව. අනිවාර්යෙන්ම විශාල පිරිසක් රැස්වීමට එනවා. ඒක ස්ථිරයි සර්… “ නාමල්, නිමල් සිරිපාල අමතමින් රැලියේ මෙහෙයුම් කටයුතු ගැන පැහැදිලි කිරීමක් කළේය……

“නාමල් කියන කතාව හරි. ඊට අමතරව ලොකු නැචුරල් ක්‍රවුඩ් එකකුත් එන බව පේනවා. එයි කියල හිතපුවත් නැති මිනිස්සු මටත් කතා කළා…” අනුර යාපා කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වැඩේට සම්පූර්ණ ශක්තිය යොදවල සහභාගි වෙනවා. අපි අපේ ආසන සංවිධායකයන් එක්ක කතා කරල රැස්වීමේ අපේ දායකත්වය සැළසුම් කරල තියෙන්නෙ…” දුමින්ද දිසානායක 21 රැලිය ගැන ලොකු පැහැදිලි කිරීමක් කළේය. ප්‍රධාන කතාබහ අවසන් වූ පසුව නාමල් අනිත් අය සමග සුහදව වටපිට බලමින් කතාබහ කරමින් සිටියදී ඔහුගේ නෙතට බිත්තියේ සුපුරුදු තැනක් තිබූ මහින්ද රාජපක්ෂගේ විශාල ප්‍රමාණයේ පින්තූරය දැකගත හැකි විය.

“මහින්ද සර්ගේ ෆොටෝ එක තාම ඒ විදිහටම තියෙනවා. කවුරුවත් ඒක අයින් කරලා නෑ…” ලසන්ත අලගියවන්න නාමල්ගේ කනට කරමින් කීවේය. නාමල් ඊට කිසිවක් කීවේ නැත. එහෙත් ඔහුගේ සිනාවෙන් ඒ පිළිබඳ කෘතඥතාව පළ විය. ඉන් පසුව ඩාලි පාරේ කාර්යාලයේ තැන් කීපයකට ගිය නාමල් විශේෂයෙන්ම එහි සිටි පැරණි සේවක සේවිකාවන් හා ඉතා සුහදව කතාබහ කරන්නට වූයේය.

මේ අයුරින් නුගේගොඩ රැස්වීම ගැන කතා කරන්නට පසුගිය සතියේ තවත් රහසිගත හමුවීම් ද කිහිපයක්ම විය. උදය ගම්මන්පිල සහ නාමල් රාජපක්ෂ තවත් පිරිසක් සමග එම සාකච්ඡාවල්වලදී කතාබහ කළේම රැලිය සාර්ථකව කරගෙන යන ආකාරය ගැනය.

එක් අවස්ථාවක ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ ඇතුළු පිරිස මේ රැලියට නොපැමිණීමේ ගැටලුව ගැන සාකච්ඡාවක් ඇති විය.

“ඒගොල්ලෝ කාරණාවක් විදියට කියන්නෙ රට අද මුහුණ දීලා තියන නිශ්චිත ප්‍රශ්න කීපයක් ගැන ප්‍රතිපත්තිමය එකඟතාවක් අපි අතර නැහැ කියලනේ. එහෙම ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගන්න අපි මේ වෙලාවේ කරන්නේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ඉල්ලන එක නෙවෙයි. කොහොම වුණත් අපි මේ ගැන ඕනවට වඩා විවෘතව මාධ්‍යවල කතා කරන්න ඕන නෑ. ආණ්ඩුවට එරෙහි මේ රැලිය ගැන ඔවුන්ගේ විරෝධතාවක් නැහැ. අපි ඉස්සරහට හරි ඒගොල්ලෝ මේ ප්‍රවාහයට එක්කරගන්න බලමු…” උදය ගම්මන්පිල එසේ කීවේ විමල්ලාගේ නොපැමිණීම ගැන කලකිරී යම් යම් විවේචනවලට සූදානම්ව සිටි විපක්ෂයේ ක්‍රියාකාරී කොටස් අස්වස්වමිනි.

අනුර දයාසිරිට කියපු සරුංගලයක කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කතාව ඉදිරිපත් කරද්දී ඉදිරිපස විපක්ෂයේ සිටි කිහිප දෙනකුටම යම් යම් අදහස් පළ කරනු දැකගත හැකි විය. වාද විවාද කිසිවක් නැත. ඒ සියල්ලම කීවේ සිනහවෙමින් වුවත් බොහෝ ඒවා දෙපිට කැපෙන කතා වැනිය. ඇතැම් ඒවා සරදම් කතාය. ඇතැම් කතා බ්ලේඩ් තල පාරවල් මෙන් සියුම්ය.

ඔය ආකාරයෙන් යම් තැනකදී අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එල්ල කර ගනිමින් කී ප්‍රකාශයක් ගැන පාර්ලිමේන්තු ආලින්දයේ පොඩි කතාබහක් ඇති විය. ඒ වෙලාවේ දයාසිරි සිටියේ මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙකු සමග පුංචි කතාබහක් දමාගෙනය.

“මොකක්ද බන් අයවැය වෙලාවෙ… ජනාධිපති උඹ දිහා බල බල කියපු “සරුංගල්” කතාවේ තේරුම..?

“ඇයි ඒක උඹට ඇහුණෙ නැද්ද..?”

“ඇහුන් නෑනේ… මට භාගෙට නින්ද ගිහිල්ලයි හිටියේ..?” මන්ත්‍රීවරයා ඒ කතාවනම් කිව්වේ හාස්‍යයෙන් බව පැහැදිලිය.

“ඒක වුණේ එයා මොනවද සජිත් ගැන කිය කියා ආවා. හොරු එක්කත් ආශ්‍රය කරනවා…. හොඳයි… ඔය වගේ දේවල්. ඒ අස්සේ කවුදෝ ඇහුවා… ඇයි දයාසිරි.. දයාසිරි ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි කිව්වේ, දයාසිරි ඉතිං සරුංගලේ වගේ නේ. හුළඟ හමන කොට එහාටත් යනවා මෙහාටත් යනවා කියලා… තව මොනවද කිව්වා බං මට හරියට තේරුණේ නෑ සද්දෙ හින්දා. මුන් කෑගහන්න ගත්තනෙ. අනිත් එක මොන යකාටද ඔය පැය හතරහමාරක් කියපුවා මතක. මට වෙලාවකට හිතුණා රනිල් ද මේ කතා කරන්නෙත් කියලා… ඇයි ඉතින් රනිල් කියන ඒවානේ කිව්වෙ..”

“අර අර්චුනාත් එක පාරක් නින්දෙන් නැඟිටලා ඇස් පොඩි කර කර බැලුවලු හීනයක්ද මේ… නැත්නම් රනිල් ද මේ කියලා..”

“ඔව් ඉතිං… රනිල් කතා කරන ඒවනේ ඔය කිව්වෙ… නායකයෙක් ඉස්සර කියපු කතා නෙමෙයිනේ…”

“අර සරුංගල් කතාවට උත්තරයක් දුන්නේ නැද්ද මන්ත්‍රීතුමා…” එහෙම ඇහුවේ මාධ්‍යවේදියෙකි.

“නෑ නෑ… මං ඒකට උත්තර දෙන්නේ සිකුරාදා. මං කියනව උන්දැට කවුද සරුංගලේ…. සරුංගලේ නූල එක එක් කෙනාගේ අතින් අතට ගිය හැටි… හැත්තෑ ගණන්වල ඉඳලාම මං කියන්නම්කො… දැනුත් ඔය මෙතන මහ ලොකු කයිවාරු ගහගෙන හිටියට මෙයාලව උඩ අරින නූල් ටික තියෙන්නේ කොහෙද කියලා අපි දන්නවනේ…” දයාසිරි එහෙම කියලා එතනින් එහාට යන්න ගියේය.

කළුවිතාරණ වගේ බැට් කරන චාමර…

පහුගිය දිනවලත් අයවැයේ විවාදයේදී කැපී පෙනෙන කතා සියල්ලම පැමිණියේ විපක්ෂය පැත්තෙන් බව රහසක් නොවේ. විවාදයේදී රජයට දැඩි විවේචනවලට මුහුණපාන්නට සිදුවිය. ඒ අතර විහිළු කතා පමණක් නොවේ, යම් යම් අයට උපහාස එල්ල කළ කතා ද සිදුවිය. ඒ අතර උපහාස කතා කිහිපයක් මෙසේ ය….

එංගලන්තයට යෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු ආර්ථික පන්තියේ (economy class) ගුවන් ටිකට් පත් වලින් ඇමැතිවරුන් හතර දෙනකු ව්‍යාපාරික පන්තියේ (business class) ගොස් ඇති බවට සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව ළැව්ගින්නක් සේ පැතිර ගියේය.

ඒ ඇමැතිවරු හතරදෙනා ආර්ථික පන්තියේ ආසනවල වාඩි වී විදුලි බුබුළු නිවා දමා ව්‍යාපාරික පන්තියේ අසුන්වලට ගොස් ඇතැයි මන්ත්‍රීවරයා එහිදී චෝදනා කළේය.

“එයාර් හොස්ටර්ස්ලත් බයවෙලා භූතයෝ හතරක් යනවා කළුවරේ කියලා” යැයි සුජීව කීවේ මුළු සභා ගැබම සිනාවේ ගිල්වමිනි.

මේ විදියට මන්ත්‍රීවරුන්ට ලැබෙන ආරාධනා පත්‍රය හා ගුවන් ටිකට් පත් පාර්ලිමේන්තුව පරීක්ෂා කරන්නට ඕනෑ යැයි සුජීව යෝජනා කළේ මේ වගේ විහිළු සහගත වැඩ දවසින් දවස එකින් එක වාර්තා වෙමින් තියෙන නිසාය.

පාර්ලිමේන්තුවේ විවේකීව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම සිටින තැනකින් චාමර ගියේ පාර්ලිමේන්තු හැසිරීම ගැන පොඩි කතාබහක් ඇතිව දයාසිරිලා, සුජීවලා, චාමරලා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක්ම එතන සිටියහ.

චාමර සම්පත් මේ දවස්වල පාර්ලිමේන්තුවෙත් කතා කරන්නේ හරියට අර රොමේෂ් කලුවිතාරණ ටිරෝන් ප්‍රනාන්දු එකේ හතර වටේටම නෙළනවා වගේ කියලයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කතාව…

ඇයි ඉතින් ආණ්ඩුවටත් ගහනවා. ජනාධිපතිටත් ගහනවා. වසන්ත සමරසිංහටත් ගහනවා. ඒ අස්සෙ තමන්ගේ පක්ෂයේ නිමල් සිරිපාලටයි රෝහිත අබේගුණවර්ධනටයි ඔක්කෝටම නෙළලා දානවා. මොකක්ද මේ වැඩේ තේරුම කියලා ඔන්න ඇතුළේ කතාව…

“මෙයා දැන් ඊට වඩා ආණ්ඩුවේ ඇමැතිවරුන්ට උපදෙස් දෙන්නත් පටන් අරන්නේ…“ එහෙම කිව්වේ ළඟ හිටපු තව මන්ත්‍රීවරයෙක්.

“අපොයි උන්ගනී… අපෙන් උපදෙස්. උද්දච්ච හැත්ත. අපෙන් උපදෙස් ගත්තනං ඔයවගේ කොළේ ඉරා ගන්නේ නෑ….”

“ඇයි අර කිව්වේ… වෙළෙඳ ඇමැතිටයි කෘෂිකර්ම ඇමැතිටයි එකතුවෙන්න. එකතුවෙලා වැඩසටහනක් හදන්න. අල ගලවන කාලෙට මෙහෙම කරන්න. ලූනු ගලවන කාලෙට මෙහෙම කරන්න කියලා.. ඒවා උපදෙස් නෙවෙයිද… ඒ අස්සෙ අර ගෙදරට වෙලා ඉන්න නිමල් සිරිපාල උන්නැහේටත් නෙළලා දානවා පැරදිලා ගෙදරට වෙලා ඉන්නවා කියලා..”

“මම කිව්වේ ඒ බම්බුවක් නෙවෙයි… ඔය රෙකෝඩ් ගහල පාර්ලිමේන්තුවේ දිස්ත්‍රික්කෙ පළවෙනියාවෙලා පාර්ලිමේන්තුවට ආපු එවුන් ජනතාව වෙනුවෙන් වැඩ කරේ නැත්නම් අන්න උන්ට ඊළඟ වතාවේ වෙන දේ තමයි මම පෙන්නලා දුන්නේ උදාහරණ සහිතව. උඹලත් උඹලට ලැබෙන වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළේ හරවත් දෙයක් කියන්නේ නෑ. අපි කියන දේවල්වල අංකොන් හොය හොය අපේ එවුන් එක්ක අපිව කොටවන්න හදනවා… වරෙන් බං යන්න…“ චාමර එහෙම කියලා යන්න කතා කරේ සුජීවට…

“මෙන්න මෙයා තමයි ළඟින් වාඩිවෙලා ඉඳලා එක එක්කෙනාට ෂොට් ගහන්න උදව් කරන්නේ නම් මතක් කර කර…” මන්ත්‍රීවරු සුජීව දිහා බල බල එහෙමත් කිව්වා. හිනාව අස්සේ ඔය කතාව ඉවරවෙලා මන්ත්‍රීවරු විසිරිලා ගියා.

වතුකම්කරුවන්ට වැඩි පඩි එතකොට අනිත් අයට…?

පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ කොළඹ ඇතුළත මල් පාරේ තම කාර්යාලයට වී එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් තම හිතවත් දේශපාලඥයින් පිරිසක් සමඟ පොඩි කතාබහක නිරතව සිටි අතරතුරදී උණුසුම් රසවත් සංවාද කිහිපයක් හුවමාරු විය…. කතාබහට මාතෘකාව වූයේ මෙවර අයවැයෙන් වතුකම්කරුවන්ගේ පඩිපත වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කර තිබූ යෝජනාවක් ගැනය…

“වතුකම්කරුවන්ට විතරක් පැමිණීමේ දිරි දීමනාවක් විදියට රුපියල් දෙසීයක් දෙන්න අනුර කුමාර යෝජනා කරනවා. යෝජනා කරන්නේ ඒක ආණ්ඩුවෙන් ගෙවන්න. හරි නම් ඕක ගෙවන්න ඕනේ වතු සමාගම් විසි එකක හාම්පුතාලා. අපේ ආණ්ඩුව නම් වැටුප් වැඩි කරන්න සාකච්ඡා කළේ අන්න එයාලත් එක්ක. ඇයි ඒගොල්ලන්නේ මේ කර්මාන්තයෙන් අසීමිතව ලාභ ලබන්නේ…” රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය.

“ පැමිණීමේ දිරි දීමනාවක් වතුකම්කරුවන්ට දෙනවනම්, ඊළඟට ඕක ඉල්ලලා ගාමන්ට් ෆෙක්ටරි එකත් ෆයිට් කරන්න බැරි නෑ..”

“ ඔව්… මූලික අයිතිවාසිකම් අනුව හැමෝටම එක විදියට සලකන්න අවශ්‍යයිනේ. තේ වතුවලට සලකනවා නම් රබර් වතු, ඇඟලුම් කම්හල්, ඔය වගේ මේ ක්‍රමය නවත්වන්නේ කොහෙද? සමාගම් කිහිපයකට විතරක් මේ සහනය දීල නවත්තන්න බැරි වෙනවා” රනිල් ඒ ගැන පුළුල් විවරණයක් කළේ එසේය.

“ මෙතන කියන්නේ මහජනතාව එක කොටසක් ගෙවන සල්ලි අරගෙන තව කොටසකට දෙන්න කියලා” රුවන් පැහැදිලි කිරීමක් කළේය.

“ජනාධිපති අයවැයේදී කිව්වේ විදේශ විනිමය ගෙනෙන්න වතු ජනතාව සුවිශේෂී කැපකිරීමක් කරන නිසා මේ දීමනාව දිය යුතු බව යැයි රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න කීය.

“ඒ තර්කෙට අනුව ටුවරිසම් වල ඉන්න අයට මේක නොදෙන්නේ ඇයි? එහෙම බැලුවොත් මීගමුවේ ඉන්න වෛශ්‍යාවන්ටත් මේක දෙන්න ඕන නේද?” මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරද්දී රනිල්ටත් හිනාය…

“නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියනව වගේ වතු කම්කරුවන්ගේ මේ පඩි වැඩිවීමත් ඇත්තටම කෙරෙන විදිහට කළොත් හොඳයි” රනිල් කීවේ තමාගේ කාලයේ වතු සේවක පඩි වැඩි කිරීමට ගත් සාධනීය පියවර පිළිබඳව ද විස්තර කර දෙමිනි. රනිල්ලාගේ කාලයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම ආයතන ප්‍රධානීන් විසින් කළ යුතුය.

“ පඩි වැඩි කරන්න බැරි නම් වතු අපිට ආපහු දෙන්න කියලා මම කිව්වා” රනිල් කීවේය.

රනිල් නොදුන් වාහන දැන් මේ ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදීමට යයි. මේ වැඩපිළිවෙළින් වෙන්නේ අවුරුදු පහේම ආණ්ඩුව විසින් මේ වාහන නඩත්තු කළ යුතු වීමයි.

“ තමන්ගේ කියල හැඟීමක් නැති නිසා ඔය වාහන වලින් ගල්, සිමෙන්ති ගොම වගේ දේවලුත් අදීවි” චාමර සම්පත් එසේ කීවේ ආණ්ඩුවේ පුත්‍රයන්ගේ පැටිකිරිය ගැන ඔහු හොඳාකාරවම අධ්‍යයනය කර සිටි නිසාය.

බුලිත ප්‍රදීප් කුමාර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here