ජනතාවට විදුලිය පිරිමැසීම ගැන ටියුෂන් දෙන්න කලින් බාල ගල් අඟුරු ගෙන්වීම නතර කරන්න – සජිත් රජයට කියයි

0
4

සවස 6 සිට රාත්‍රී 10 වන තුරු අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා සහ ආණ්ඩුවේ ඇමතිවරු පෝලිමේ පැමිණ රටේ ජනතාවට ටියුෂන් දෙන්න පටන් ගෙන ඇති බවත් දිනපතා වොෂින් මැෂින් භාවිත නොකර දින 3 – 4 ඇඳුම් එකතු කර සෝදන ලෙසට විකාර යෝජනා රටට ඉදිරිපත් කරන බවත් රටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියා යෝජනා ඉදිරිපත් කරන විට ලක්විජය ගල් අගුරු බලාගාරයෙන් නියමිත පරිදි විදුලිය උත්පාදනය නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාර්තු 24 වැනිදා පවා මෙගාවොට් 144ක් පමණක් අඩුවෙන් විදුලි විදුලිය උත්පාදනය කර ඇති බවත් 23 වැනිදා මෙගාවොට් 162ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවට මෙයට හේතුව බාල ගල් අගුරු භාවිත කිරීම බවත් රටේ ජනතාවට අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න කියන වත්මන් රජයම බාල ගල් අගුරු යොදමින් නියමිත විදුලිය උත්පාදනය නොකර ඉන්ධන බලාගාර මාෆියාවට ශක්තිය ලබා දෙන බවත් මේ නිසා පාරිභෝගිකායට ඉහළ මිලකට විදුලිය ලබා ගැනීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දැන්වත් රජයේ මේ දෙබිඩි රංගනයෙන් ඉවත් වෙන්න

එබැවින් දැන්වත් රජය අනුන්ට උපදෙස් ලබා දෙන්නට පෙර තමන් හරි දේ කළ යුතු බවත් ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට උපදෙස් දෙන්නට පෙර බාල ගල් අගුරු භාවිතය නතර කළ යුතු බවත් මේ බාල ගල් අගුරු නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට මෙන්ම පරිසරයට ද දැඩි හානි සිදුවන බවත් මේ වන විට අලු කදු පවා නිර්මාණය වී ඇති මොහොතක අරිපිරිමැස්ම ගැන රටේ ජනතාවට උපදෙස් දෙන්න රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් දැන්වත් මේ දෙබිඩි රංගනයෙන් ඉවත්ව බාල ගල් අගුරු ගෙන්වීම වහාම අත්හිටුවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගල් අගුරු ගෙන්වා උපරිම ධාරිතාවයෙන් විදුලිය නිපදවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දැන්වත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන්න

දිනෙන් දින ඉහළ යන තෙල් මිල නිසා රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් පවතින බවත් කෘෂි, ධීවර, කර්මාන්ත, ව්‍යවසාය, ස්වයං රැකියා, සංචාරක ඇතුළු භාණ්ඩ හා සේවා සපයන සියලු දෙනා මෙන්ම සමස්ත ජන සමාජයම ඉන්ධන මිල වැඩි වීමේ අතුරු ඵලයක් ලෙස ආහාර පාන, බඩු මිල හා ප්‍රවාහන වියදම් වැඩි වීම නිසා දැඩි පීඩනයකට අසහනයකට හා කම්පනයකට නතුව ඇති බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ සමයේ රජය පොරොන්දු වූ ආකාරයට දැන්වත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන්න නොහැකි ඇයි ද කියා ප්‍රශ්න කළේය.

ඉන්ධන මත පටවා ඇති බදු ඉවත් කරන්න

මෙවැනි බරපතල පීඩනයකට කම්පනයකට හා අසහනයකට ජනතාව පත්ව ඇති මොහොතක ඉන්ධන මත පනවා ඇති සියලු බදු ඉවත් කර යම් තරමකට හෝ තෙල් මිල අඩු කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් වරායේ ගොඩබාන මිලට බදු ඉවත් කර කොමිස් මුදල් කපා හැර භාණ්ඩාගාරයට ගෙවන මුදල් ඉවත් කර ඉන්ධන මිල අඩු කරනවා කිව්වත් තවමත් එය සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තෙල් ජාවාරම්කාරයෝ පසුපස නොයා ඉරානා තනාපති කියූ ආකාරයට ඉරානයෙන් තෙල් ලබාගන්න කටයුතු කරන්න

ඉරාන තානාපතිවරයා විවෘත ප්‍රකාශයක් මඟින් සහන ක්‍රමවේදයක් යටතේ අප රටට ඉන්ධන ලබා දෙන්න කැමැත්ත ප්‍රකාශ කළත් රජය තවදුරටත් ඉරානයෙන් සහන ක්‍රමයට ඉන්ධන ලබා ගන්න කටයුතු නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් එදා ඇමෙරිකාව රුසියාවට පැනවූ සම්බාධකවලට දින 30ක විරාමයක් ලබා දුන් තත්ත්වය තුළ රුසියාව සමඟ සාකච්ඡා කර තෙල් ලබාගන්නා ලෙස විපක්ෂය පැවසූ අවස්ථාවේ පවා රජය කටයුතු කළේ ප්‍රමාද වී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවදුරටත් කල්මර මර ඉන්න එපා

රජය දින 7ක් බල බලා සිට රුසියානු තානාපතිවරයා හමුවුවත් අවශ්‍ය කටයුතු සිදු නොකළ බවත් දැන් තෙල් මාෆියා, කලුකඩ ව්‍යාපාරවලින් ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේද තුළින් විශාල බරක් පාරිභෝගික ජනතාව කරපිට පටවන්න සූදානම් බවත් දැන්වත් ඉරානයෙන් ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ජනතාවට සහන මිලට ඉන්ධන ටික ලබා දෙන්න කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රුසියාවෙන් තෙල් ලබා ගන්න අවස්ථාව තිබියදී රජයේ කල්මැරීම නිසා රටක් ලෙස පසුබෑමකට ලක් වුවත් ඉරානය යෝජනාවක් ගෙන විත් ඇති අවස්ථාවේ අප රටට සහන ක්‍රමවේදයකට ඉන්ධන ලබා ගැනීමට මැලි නොවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

රජය තෙල් මාෆියාවේ ගොදුරක් බවට පත් වෙලා

රජය තෙල් මාෆියාවට, තෙල් කාටලවලට යටත් නොවී සහන මිලට ඉන්ධන ලබා ගෙන ඒවා පාරිභෝගියන්ට ලබා දෙන ලෙසත් ජාවාරම්කාර ගණුදෙනුවලට ගොස් ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉරාන නැව ආවේ ඉරානයේ ඉල්ලීම මත ද? නැතිනම් මෙරට නාවික හමුදාපතිගේ ඉල්ලීම මතද?

ඉරානය සිය නැව සිය අභිමතය සහ වුවමනාව පරිදි Goodwill visit එකක් සඳහා ලංකාවට පැමිණීමට ඉල්ලා සිටි බවට ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කළ කළත් පසුගිය දිනක ඉරාන තානාපතිවරයා කියූ ආකාරයට ඉරාන නැව් ශ්‍රී ලංකාවට ආවේ මෙරට නාවික හමුදාපතිවරයාගේ ආරාධනාවක් අනුව බවත් මේ සත්‍ය කුමක්ද කියා දැන ගැනිමට මුළු රටම අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති ප්‍රමුඛ රජය රටට ඇත්ත හෙළිදරව් කළ යුතුයි

ඇත්තටම මෙහි දී සිදු වූයේ ඉරානයේ යෝජනාවක් හා ඉල්ලීම මත පැමිණිම ද මෙරට නාවික හමුදාපතිවරයාගේ ඉල්ලීම මත පැමිණිම ද කියා සත්‍ය අනාවරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ කරුණ ගැන සත්‍යවාදී, විධිමත් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් මේ ඉරාන නැව ආවේ ඉරානයේ යෝජනාවක් මත ද නැතිනම් ශ්‍රී ලංකාවේ නාවුක හමුදාපතිවරයාගේ ආරාධනාවක් අනුවද කියා සත්‍ය ඉදිරිපත් කළ යුතු බවත් මේ සත්‍ය හෙළිදරව් කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

The post ජනතාවට විදුලිය පිරිමැසීම ගැන ටියුෂන් දෙන්න කලින් බාල ගල් අඟුරු ගෙන්වීම නතර කරන්න – සජිත් රජයට කියයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here