රෂිකා හෙන්නායක
ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවෙන් ආරම්භ කළ දේශපාලන සංස්කෘතිය අපි ගම දක්වා ගෙනියනවා…
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා
ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට NPP සමත් වී ඇති බවත්, දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාව බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ජනතාව මාලිමාව විශ්වාස කොට තිබෙන බවත්, පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කොට තිබෙන බවත් පවසයි. ඔවුන් ජයග්‍රහණය කොට තිබෙන සියලුම ආයතනවල සභා පිහිටුවා සැලසුම් කොට තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට සියල්ල සූදානම් බවත් කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා
” ජනතාව මාලිමාව අනුමත කර තිබෙනවා. කිසියම් පක්ෂයක් බහුතර සංඛ්‍යාවක ආසන ලැබුවේ නැහැයි කියන්නේ ඒ පක්ෂය හෝ අදාළ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල තිබෙනවා. සමහර පක්ෂ හෝ කණ්ඩායම්වලට එකක්, දෙකක් හෝ තුනක් අරගෙන ඒ සියලු දෙනාම එකතුවී සභාව පිහිටුවන්න උත්සාහ ගන්නවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට, ඒ අය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම්. ගණිතමය ලෙස තමන් දිනා ඇති බව පෙන්වීමට උත්සාහ ගනිමින් ඉන්නවා. සියලුම ආයතන 339කින් ආයතන 254කට වැඩි ප්‍රමාණයක මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න අපි සමත් වෙලා තිබෙනවා. දේශපාලනිකව බැලූවිට මේ මැතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ මාලිමාවේ අපි. ජනතාව මාලිමාව විශ්වාස කොට තිබෙනවා. මේ පළාත් පාලන ආයතන බාර දිය යුත්තේ මාලිමාවට කියන එක ජනතාව විශ්වාස කොට තිබෙනවා. අපි ජයග්‍රහණය කොට තිබෙන සියලුම ආයතනවල සභා පිහිටුවා අපි සැලසුම් කොට තිබෙන ව්‍යාපෘති, රට වෙනස් කිරීමේ කාර්ය, පාර්ලිමේන්තුවෙන් පටන්ගත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කාර්යය ගම දක්වා ගෙන යාමට පුළුවන්කම තිබෙනවා.
අපි රටේ වෙනසක් කිරීමට පටන් ගත්තා. වංචා, දූෂණ නැති ආණ්ඩුවක් නිර්මාණය කළා. වංචා දූෂණ නැති ප්‍රාදේශීය සභා, නගර සභා හැදීමේ කාර්ය කරන්න උවමනාව තිබෙනවා. කොන්ත්‍රාත්වලින් හම්බ කරන්නේ නැති, පගා ගහන්නේ නැති, පාලනයක් පළාත් සභාවල නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඒ වගේම මහජන මුදල් නාස්ති නොකර ජනතාවට සේවය කිරීමේ සංස්කෘතිය පටන්ගෙන තිබෙනවා. ඒ සේවය අපට ගමටත් ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. රටක් ලෙස පටන්ගත් දේශපාලන සංස්කෘතියේ වෙනස්කම්, වංචා දූෂණවලින් තොරව පාලනය කිරීම, මහජන මුදල් සොරකම් නොකිරීම, නාස්ති නොකිරීම, වැනි වටිනා දේවල් බිමට ගෙනත් ගම තුළත් එය තහවුරු කර, රට අලුත්ම දිසාවකට ගෙනයාමට මේ ජයග්‍රහණය ඉවහල් වෙනවා. ජනතාව පක්ෂයක් ලෙස මාලිමාව ගැන විශ්වාසය තබා, අනුමත කොට, මාලිමාවට බලය ලබා දී තිබෙනවා.
ඒ නිසා අපට ජයග්‍රාහීව ඉදිරිගමන යා හැකිව තිබෙනවා. ඉදිරියේදී සභා පිහිටුවා ගනිමින්, ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කර ගනිමින්, මේ රට වෙනස් කිරීමට දරන ප්‍රයත්නයට තවත් ශක්තිය එකතුකර ගනිමින් කිසියම් හෝ දුර්වලතා තිබෙනවා නම්, ඒවා වෙනස්කර ගනිමින් ඉදිරියට යෑමට අප සූදානම්. ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයේදිත්, ජයග්‍රහණය ලබාදෙමින් විපක්ෂයේ බොරු, බේගල් පැත්තකට දමා මාලිමාවට ජයග්‍රහණය ලබාදී තිබෙනවා.
අපි මැතිවරණ සංස්කෘතිය වෙනස් කොට තිබෙනවා. අපි රාජ්‍ය බලය යෙදවූයේ නැහැ. රජය මැදිහත් වෙලා ගැටුම් නිර්මාණය කළේ නැහැ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම අඩුම ඡන්දයක් අපි පැවැත්වූවා. ප්‍රචණ්ඩ ක්‍රියා දෙක තුනක සිදුවීම් වුණත් එය මාලිමාවට එරෙහිව යෙදා ගත් ක්‍රියාවන්. පොළොන්නරුවේ කණ්ඩායම් නායකයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකොට වාහනයට ගිනි තැබුවා. යාපනයේ අපේ අපේක්ෂකයෙකුට පහර දුන්නා. එවැනි කුඩා සිදුවීම් කිහිපයක් හැරුණු කොට, අපට ඉතිහාසයේ සිදු කළ බඩු බෙදමින්, (සිල් රෙදි බෙදීම් වැනි) ක්‍රියාවන් නොකර නිදහසේ ඡන්දය දෙන්න අවස්ථාව උදාකර දෙන්න හැකියාව ලැබුණා. මේ සියලු තත්වයන් යටතේ වුවත් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ ජයග්‍රහණය ලබාදීමට කටයුතු කළ සියලුම දෙනාට නැවතත් ස්තුති කරනවා” ලෙස පැවසීය.
Saru FM Media