දකුණු පළාතේ ගාල්ල මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මැයි 20 වනදා සිට සමූපකාර කොමසාරිස් පාලනයට පවරා ගැනීමට දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය පියවර ගෙන තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය, අම්බලන්ගොඩ, බෙන්තොට,බද්දෙගම හා යක්කලමුල්ල, මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, බෙරලපනාතර, කොටපොල, කඹුරුපිටිය, හක්මන, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, තංගල්ල යන විවිධ සේවා සමූපකාර සමිති 14ක පාලන බලය මෙසේ පවරාගෙන ඇති බවයි.
විවිධ සේවා සමූපකාර සමිති 14හි ම නිලවරණය නියමිත කාලය තුළ පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මෙම විවිධ සේවා සමූපකාර සමිතිවල පාලන බලය සමූපකාර කොමසාරිස් පාලනයට නතු කළ බව දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙතෙක් එකී විවිධ සේවා සමූපකාර සමිතිවල පාලනය ගෙන ගිය සභාපති, උප සභාපති ඇතුලු සත් දෙනෙකුගෙන් සමන්විත වූ අධ්‍යක්ෂ මණ්ඩලය අහෝසි වන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කරන ලද නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් සමූපකාර සමිති 14 ම පාලනය ඉදිරියට සිදුවෙන බවත් දැනටමත් එම සමූපකාර සමිති සඳහා ම සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ වෘත්තිකයන් දෙදෙනෙකු ඇතුලු ත්‍රිපුද්ගල කමිටුව බැගින් පත් කර තිබෙන බව ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විවිධ සේවා සමූපකාර සමිති 14ටම වෙන වෙනම නිලවරණ පවත්වා අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන තෙක් මේ පත් කළ ත්‍රිපුද්ගල කමිටු එම සමූපකාර සමිති 14හි පාලනය මෙහෙයවනු ලබන බව ද, ඉදිරි මාස තුනක කාලය ඇතුළත සමූපකාර ඡන්දය පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කරන බව
ද දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
Saru FM Media