චීන යුද සැමරුම භූ දේශපාලන නැඹුරුවක්

0
7

ලෝක මහා බලවතුන් වන චීනය, රුසියාව සහ උතුරු කොරියාව යන රටවල නායකයන් ප්‍රමුඛ ලොව රටවල් 24ක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් චීනයේ බීජිං නුවර දී පැවති චීන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම ලෝකයට සුවිශේෂ පණිවිඩ රාශියක් එක්කළ අවස්ථාවක් මෙන්ම රුසියාව, චීනය සහ උතුරු කොරියාව යන රටවල නායකයන් ප්‍රසිද්ධියේ එකට මුණගැසුණු පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. මෙම චීන යුද ජයග්‍රහණ සැමරුම ගෝලීය දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් සඳහා කෙසේ බලපාන්නේ ද යන්න සම්බන්ධයෙන් ජපානයේ මෙයිජි විශ්වවිද්‍යාලයේ ආසියානු දේශපාලනය පිළිබඳ මහාචාර්ය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා සමග සිදු කළ සාකච්ඡාවකි.

රුසියානු සහ උතුරු කොරියානු නායකයා ඇතුළුව ලොව රටවල් 24 ක රාජ්‍ය නායකයන් සහභාගීත්වයෙන් පැවති චීන යුද ජයග්‍රහණ සැමරුම ඔස්සේ චීනය ලෝකයට ලබා දෙන්න උත්සාහ කළේ කුමන ආකාරයක පණිවිඩයක්ද?

රුසියානු හා උතුරු කොරියානු නායකයන් ඇතුළු තවත් බලවත් රාජ්‍ය නායකයන් රැසක් මෙම සැමරුමට එක්වීම, සාමාන්‍ය සැමරුමකින් ඔබ්බට ගිය වැදගත් දේශපාලනික සිදුවීමක්. විශේෂයෙන්ම, මෙම සැමරුම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැත්වීම මගින් චීනය ලෝකයට ලබා දීමට උත්සාහ කරන උපායමාර්ගික පණිවිඩය වඩාත් පැහැදිලි කරනවා.

ඔබ අප ජීවත්වන ලෝකය නව ජාත්‍යන්තර පර්යායකින් යුතු පද්ධතියක් කරා ගමන් කරමින් සිටිනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු, එක්සත් ජනපදය සහ සෝවියට් දේශය කේන්ද්‍ර කරගත් “සීතල යුද්ධ” සමයක් පැවතුණා. 1990 දශකයේදී සෝවියට් කඳවුර බිඳ වැටීමත් සමග ලෝකය එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනේශ්වර කඳවුරේ ආධිපත්‍ය ඒක-ධ්‍රැවීය (Unipolar) බල පද්ධතියක් බවට පත් වුණා. මේ කාලය තුළ, එක්සත් ජනපදයේ ආර්ථික හා හමුදාමය ආධිපත්‍යය ලොව පුරා තහවුරු වුණා.

එක්සත් ජනපදයේ උපායමාර්ගික ප්‍රතිපත්ති මත ගෝලීයකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ චීනය, පසුගිය දශක පහ තුළ අති විශාල ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා. මුලදී එක්සත් ජනපදය චීනය තමන්ට අභියෝගයක් වේ යැයි නොසිතුවත්, චීනය ලෝකයේ කාර්මික නිෂ්පාදනාගාරය (World’s Industrial Hub) බවට පත්වෙමින්, 2009 වන විට ජපානය අභිබවමින් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වුණා. ෂී ජින් පිංගේ නායකත්වය යටතේ, චීනයේ විදේශ ප්‍රතිපත්ති ද වෙනස් මාවතකට යොමු වුණා. ‘එක් මාවතක් – එක් තීරයක්’ (One Belt One Road) වැනි දැවැන්ත භූ දේශපාලනික හා භූ ආර්ථික ව්‍යාපෘති හරහා චීනය, ලොව පුරා සිය ආර්ථික සහ භූ-දේශපාලනික බලපෑම ව්‍යාප්ත කිරීමට පටන් ගත්තා.

මෙම වර්ධනය හමුවේ, එක්සත් ජනපදය QUAD සහ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය වැනි බහුපාර්ශ්වීය සහ ද්වීපාර්ශ්වීය උපාය මාර්ගයන් මගින් ද චීනයේ නැඟීම පාලනය කිරීමට උත්සාහ කළා. එහෙත්, කොවිඩ්-19 වසංගතය සහ රුසියානු – යුක්රේන යුද්ධය වැනි සිදුවීම් හේතුවෙන් බටහිර ආර්ථිකයන් දුර්වල වෙද්දී, චීනය සහ එහි සන්ධානකරුවන් වඩාත් ශක්තිමත් වුණා.

මෙම ක්‍රියාවලියේ ප්‍රධානම සාධකය වන්නේ චීනය සහ රුසියාව ප්‍රමුඛ ගෝලීය දකුණේ රටවල් අතර ඇති වී තිබෙන සමීප සබඳතායි. බ්‍රික්ස් (BRICS) සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි සංවිධාන හරහා ඔවුන් බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින්, වඩාත් සාධාරණ සහ තුලිත ලෝක පද්ධතියක් ගොඩනැඟීමට උත්සාහ කරනවා. මෙම සැමරුමට එක්සත් ජනපදය සමග ද සබඳතා පවත්වන ඉන්දියාව වැනි රටවල් පවා එක්වීමෙන් පෙනී යන්නේ ගොඩනැඟෙමින් පවතින මෙම නව බල තුලනයයි.

විශේෂයෙන්ම මෙම සැමරුමෙන් චීනය ප්‍රධාන පණිවිඩ දෙකක් ලෝකයට ලබා දෙනවා.

පළමුවැන්න චීනයේ නැඟී එන ආර්ථික ශක්තිය සහ හමුදා බලය ප්‍රදර්ශනය කිරීම. මෙම සැමරුම හරහා චීනය, තමන් තවදුරටත් ආර්ථික බලවතෙක් පමණක් නොව, රාජ්‍ය තාන්ත්‍රික සහ යුදමය වශයෙන් ද ශක්තිමත් රටක් බව ලෝකයට පෙන්වා දෙනවා.

දෙවැන්න එක්සත් ජනපද ආධිපත්‍යයට (American Hegemony) විකල්පයක් ගොඩනැඟීම. චීනය, රුසියාව, සහ ඉන්දියාව වැනි රටවල් එකතු වීමෙන් ලෝක ජනගහනයෙන් අඩකට වඩා නියෝජනය වන දැවැන්ත ආර්ථික කඳවුරක් බිහි වෙමින් පවතිනවා. මෙම කඳවුරේ අරමුණ වන්නේ එක්සත් ජනපද ඩොලරය ප්‍රමුඛ ආර්ථික පද්ධතියට විකල්පයක් නිර්මාණය කිරීමයි. මෙම සැමරුම මේ නව සන්ධානයේ ශක්තිය ලොවට පෙන්වීමට යොදා ගත් අවස්ථාවක් ලෙස හඳුනා ගන්න පුළුවන්.

මෙම සැමරුම් උත්සවයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං පවසන්නේ “චීනය ලෝකයේ කිසිවකුට නවත්වන්න බෑ” කියල?

මෙම ප්‍රකාශය හුදෙක් උද්වේගකර කතාවක් පමණක් නොවේ. චීනය මුහුණ දෙන අභියෝග සහ අනාගතය පිළිබඳ ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය ගම්‍ය කරන ප්‍රබල දේශපාලන පණිවිඩයක්. ඔහු අවධාරණය කරන්නේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් චීනයේ වර්ධනයට බාධා කිරීමට දියත් කර ඇති විවිධ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග අසාර්ථක බවයි.

චීනයේ ආර්ථික හා හමුදාමය ශක්තිය වර්ධනය වීමත් සමගම, එක්සත් ජනපදය එයට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තා. මේ සඳහා ඔවුන් විවිධ උපායමාර්ග ඔස්සේ චීනයට බාධා කිරීමට උත්සාහ කර තිබෙනවා:

මෙහිදී ප්‍රධාන වශයෙන්ම චීනය කෙරෙහි එල්ල වන භූ දේශපාලනික අභියෝග හඳුනාගත හැකියි. චීනයට ආසන්නව පිහිටි තායිවානය ශක්තිමත් කිරීම, නැගෙනහිර චීන මුහුදේ චීන ආධිපත්‍යයට අභියෝග කිරීමේ එක් උත්සාහයක්. එසේම, QUAD සංවිධානය සහ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය වැනි සන්ධාන නිර්මාණය කිරීම හරහා චීනය වටලෑමටත්, එහි බලපෑම කලාපය තුළ පාලනය කිරීමටත් උත්සාහ කර තිබෙනවා.

ඒ වගේම ආර්ථික බාධා කිරීම්ද සිදු වෙනවා. එක්සත් ජනපදය, විශේෂයෙන්ම ට්‍රම්ප් පාලන සමයේදී, චීන ආර්ථික වර්ධනය පාලනය කිරීමට වෙළෙඳ යුද්ධයක් දියත් කළා. චීන භාණ්ඩ සඳහා අධික තීරුබදු පැනවීම මගින් චීනයේ අපනයන ආර්ථිකයට පහර දීමට උත්සාහ කළා.

ඒ වගේම චීනයේ දේශසීමා ආශ්‍රිතව පිහිටි ජපානය, දකුණු කොරියාව සහ පිලිපීනය වැනි රටවල් සමග එක්සත් ජනපදය හමුදාමය සබඳතා ශක්තිමත් කරමින්, කලාපය තුළ හමුදා කඳවුරු සහ යුද අභ්‍යාස ස්ථාපිත කරමින් චීනය යුදමය වශයෙන් පාලනය කිරීමට උත්සාහ කරනවා. රුසියානු-යුක්‍රේන ගැටුම පවා එක්සත් ජනපදයේ චීනයට එරෙහි උපායමාර්ගික කොටසක් බව විචාරකයන් පෙන්වා දෙනවා. රුසියාව දුර්වල කිරීමෙන්, චීනයේ බලවත්ම මිතුරා දුර්වල කිරීමටත්, එමගින් චීනයට වක්‍රව බලපෑම් කිරීමටත් ඇමෙරිකාව උත්සාහ කරන බව ඔවුන්ගේ අදහසයි.

මෙම සියලු අභියෝග හමුවේ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රකාශය මගින් අවධාරණය වන්නේ, බටහිර රටවල් විසින් දියත් කරන සකලවිධ ක්‍රියාමාර්ග චීනයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවයි.

ඇත්තටම චීනය, රුසියාව සහ උතුරු කොරියාව යන රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව ඇමෙරිකාව ප්‍රධාන කොටගත් බටහිර රටවලට සිදු කරනු ලබන අභියෝගයක්ද?

ට්‍රම්ප් පරිපාලන සමයේ දී, චීනය, රුසියාව සහ ඉන්දියාව වැනි රටවල් ෂැංහයි සහයෝගිතා සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳව, “චීනය නම් වූ අඳුරු රාජ්‍යය සමග රුසියාව සහ ඉන්දියාව සංවිධානගත වුණා” යනුවෙන් එක්සත් ජනපදය තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළා. මෙය බටහිර කඳවුර මෙම නව සන්ධාන දෙස බලන ආකාරය පැහැදිලිව පෙන්වනවා. පසුගිය දා සිදුවූ මෙම හමුව හුදෙක් රාජ්‍ය නායකයන් කිහිපදෙනකුගේ හමුවකට වඩා, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් වෙත එල්ල කරන ලද ප්‍රබල අභියෝගයක් ලෙස සැලකීම වඩාත් නිවැරදියි.

මෙම රටවල් තුන අතර පවතින සබඳතා හුදු දේශපාලන සන්ධානයකට වඩා එහා ගිය එකක්. දෙවන ලෝක යුද්ධයේදී සහ කොරියන් යුද්ධයේ දී ද ඔවුන් ඉතාම සමීප හිතවතුන් ලෙස කටයුතු කළා. වර්තමානයේ ද මෙම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. රුසියානු-යුක්‍රේන යුද්ධයේදී රුසියාවට උතුරු කොරියානු සෙබළුන් දස දහසක් යැවීමට උතුරු කොරියානු නායකයා ඉදිරිපත් වීමත්, චීනය රුසියාවේ ප්‍රධානතම යුද සැපයුම්කරු බවට පත්වීමත් මෙම රාජ්‍යයන් එකිනෙකා කෙරෙහි දක්වන කැපවීම මනාව පැහැදිලි කරනවා. මෙම සහයෝගය හේතුවෙන්, බටහිර රටවල් විසින් එල්ල කරන ලද සම්බාධක හමුවේ වුව ද රුසියාවට නොසැලී සිටීමට හැකියාව ලැබුණා. මෙය, මෙම රාජ්‍යයන් එකමුතුවක් ලෙස කෙතරම් ශක්තිමත් ද යන්න ලෝකයට ලබා දෙන ප්‍රබල පණිවිඩයක්.

මෙම සන්ධානය, “යකඩ කඳවුරක්” (Iron Bloc) ලෙස හැඳින්විය හැකි නව බලවේගයක් ගොඩනැඟෙන බවට ඉඟියක් ලබා දෙනවා. ‘මෙය ඉදිරියේදී ගොඩනැගෙන ලෝකයට සහ විශේෂයෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ඔවුන් සතු සියලු පැතිකඩවල සන්ධාන ශක්තිය පිළිබඳව ප්‍රබල පණිවිඩයක් ලබා දෙනවා.

මෙම සැමරුම් උත්සවය සඳහා ලෝක බලවතුන් කිහිපදෙනකු ඇතුළුව රටවල් 24ක් සහභාගි වුණා. මෙම රටවල් චීනය වටා එක්වීම හේතුවෙන් ඉදිරියේ දී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විදේශ බදු ප්‍රතිපත්තියේ යම් ආකාරයක වෙනස් වීමක් සිදු වෙයිද?

සැබැවින්ම ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය වූයේ ජාත්‍යන්තර පද්ධතිය තුළ තමන්ට අවනත නොවන රාජ්‍යයන් යටපත් කරගනිමින් බදු පැනවීම හා ඒ රටවල ආර්ථිකය දුර්වල කරමින් එම රටවල් අවනත කර ගැනීම. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

ඇමෙරිකාවට පාලනය කළ හැකි ආකාරයේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වයක නොවෙයි රුසියාව, ඉන්දියාව, චීනය ප්‍රමුඛ රාජ්‍යයන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ. ඇමෙරිකාවේ මෙම බදු පැනවීම තුළ බ්‍රසීලය වැනි රටවල් දැවැන්ත ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටියා. මෙම රටවල් නැවත ගොඩනැඟීම සඳහා මෙම රටවල් විසින් බදු ප්‍රතිපත්තියට අනුගත නොවී විකල්ප කඳවුරු නිර්මාණය කරන්න තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් BRICS සහ SCO වැනි සංවිධාන ශක්තිමත් වෙමින පවතිනවා. මේ හේතුවෙන් චීනය, ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල් ඉතා වේගයෙන් සංවර්ධනය වුණා. රුසියාව වැනි රටවල් යුදමය තත්වයන් හා දැඩි සම්බාධක මධ්‍යයේ වුවද යම් ආකාරයකින් හෝ සංවර්ධනය වුණා.

මෙම කඳවුර කඩා වැටීම වෙනුවට විකල්ප කඳවුර තව තවත් ශක්තිමත් වුණා. ඇමෙරිකාවට අනෙකුත් මෙම රාජ්‍යයන් නැඟී සිටීම පාලනය සිදු නොකර එම රාජ්‍යයන් සමග සහයෝගීව කටයුතු කිරීමට සිදුවෙන බවට උපකල්පනය කළ හැකියි.

මෙවැනි තත්ත්වයක් තුළ ට්‍රම්ප් වැනි දේශපාලනික පෞරුෂයක් ඇති නායකයෙක් ඔහු විසින් ගත් වැරදි තීන්දු ආපසු හැරවීම වෙනුවට තවදුරටත් තමන්ගේ ආධිපත්‍යය මත පිහිටුවා ලෝකය ගැටුම්කාරී තත්ත්වයකට රැගෙන යෑමට ඉඩකඩ පවතින බව කිව හැකියි. කෙසේ වෙතත් ඇමෙරිකාවට මෙම තත්ත්වය පිළිබඳ සිතා බලන්නට සිදුවෙලා තියෙනවා.

රුසියාව, ඉන්දියාව සහ චීනයේ එකමුතුව ලෝකය නව ප්‍රවේශයකට යොමු කරලා තියෙනවා. ඒ තුළ ඇමෙරිකාවට ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග නැවත සකස් කරගන්නට සිද්ධ වෙනවා. එසේ නොවුවහොත් ඇමෙරිකානු ආධිපත්‍යයේ කඩා වැටීම ඉතාම වේගවත් වෙන බව මේ තොරතුරු සමග පැහැදිලි වෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මෙම යුද ජයග්‍රහණ සැමරුමට සහභාගි නොවූයේ ඇමෙරිකාවේ බලපෑම් මත බව ඇතැමුන් පවසනවා?

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී මෙම තීරණය ඉතා බුද්ධිමත් සහ කාලෝචිත එකක් ලෙස දැකිය හැකියි.

ලංකාව මේ වන විට ඉතිහාසයේ කවරදාකටත් වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා IMF ආයතනයේ සහය අත්‍යවශ්‍ය වන අතර, එම ආයතනය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කේන්ද්‍ර කරගෙන පවතින ශක්තිමත් ආයතනයක්. එමෙන්ම, චීනය ලංකාවේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ආයෝජකයා වන අතර, ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසි මිතුරෙකු ලෙස ආර්ථික අර්බුදයේදී විශාල සහයෝගයක් ලබා දුන්නා. මේ නිසා,

ශ්‍රී ලංකාවට මෙම කිසිදු පාර්ශ්වකරුවකු සමග ගැටුම් ඇතිකර ගැනීමට හැකියාවක් නැහැ.

ජනාධිපතිවරයා හෝ කිසියම් නියෝජිතයකු මෙම සැමරුමට සහභාගි නොවීමේ තීරණය, ජාත්‍යන්තර දේශපාලනය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව ගනු ලැබූ බුද්ධිමත් තීරණයක් ලෙස සැලකිය හැකියි. මෙම තීරණය මගින් රටේ අනාගත පැවැත්ම සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට උත්සාහ කර ඇති බව පැහැදිලියි.

චීනයේ මෙම යුද ජයග්‍රහණ සැමරුමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට කුමන ආකාරයකින් බලපානු ලබයිද?

චීනයේ යුද ජයග්‍රහණ සැමරුමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගි නොවීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කරන තීරණයක් ලෙස සැලකිය හැකියි.

දැනට අපේ රට මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය වන්නේ ආර්ථික සංවර්ධනය. අපට ලෝකයේ සියලුම රාජ්‍යයන්ගේ ආර්ථික, තාක්ෂණික සහ සමාජමය සහයෝගය අත්‍යවශ්‍යයි. ලෝක දේශපාලනය තුළ අප වැනි කුඩා රටවලට ඇති බලය ඉතාම අවමයි. එබැවින්, කිසිම බල කඳවුරකට පක්ෂපාතී නොවී, සෑම රාජ්‍යයක් සමගම සමීපව කටයුතු කිරීම අපගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක්.

සාකච්ඡා කළේ –
මිහිරි නවෝදා වික්‍රමසිංහ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here