චීන නෞකාවේ රෝගී වූ අයෙක් නාවික හමුදා සහයෙන් ගොඩබිමට ; නැවට එන්න අවසර ඉල්ලා නෑ?

0
2

චීන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක, හදීසි වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍යව සිටි කාර්යය මණ්ඩල සාමාජිකයෙකු, නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සේවීම් හා මුදා ගැනීම් කලාපයට යාබදව, මුහුදු සැතපුම් 700ක පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ මෙම විදේශීය නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුහට ඇතිවු රෝගී තත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය බවට එම නෞකාව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දී තිබුණි.

ඒ අනුව, ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගියා වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් නෞකාව වෙත සන්නිවේදනය කර, එම නෞකාව වෙතින් රෝගියා රැගෙන වෛද්‍ය ප්‍රථිකාර (Medical Evacuation- MEDEVAC) සඳහා යොමු කිරීමට ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශය වෙත දකුණු නාවික විධානය වෙතින් යාත්‍රාවක් යොමු කෙරිණි.

පසුගිය 27දා නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙන ආ රෝගියා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට නෞකාවේ දේශීය නියෝජිත ආයතනය හා සම්බන්ධීකරණයෙන් සිදු කර ඇත.

මේ අතර, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබුණේ ඉහත නෞකාව, 2023දී මෙරටට පැමිණි චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යැන් 6’ නෞකාව බවයි. 

වකුගඩු රෝගියෙකු වන මෙම කාර්ය මණ්ඩල සාමාජිකයා ගාල්ල මහ රෝහලට ගෙන යාමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර ඇතැයි ද එහි දැක්වේ.

තවද, මේ අවස්ථාවේදී මෙරටට පැමිණීම සඳහා එම නෞකාව විසින් අවසර පතා නොමැති බවද රජයේ ආරංචිමාර්ග පවසන බව එහි දැක්වේ.

වසර 2024දී විදේශීය පර්යේෂණ නෞකා මෙරටට ඇතුල් වීම සම්බන්ධයෙන් තහනම් පනවා තිබුණු අතර, පවතින රජය බලයට පැමිණීමෙන් පසුව ද මේ සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතතාවය හමුවේ ඒ සඳහා ක්‍රමවත් ජාතික ප්‍රතිපත්තියක් සහ සම්මත මෙහෙයුම් පිළිවෙත් (SOPs) සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු පිළිබඳ ඇමති විජිත හේරත් මහතා පවසා තිබුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here