Monday, May 19, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් චාමර බේරගන්න රනිල් කී බොරුව අධිකරණයේදී එළිවේ – චාමරගේ වැරැද්ද චක්‍රලේඛයට මාස...

චාමර බේරගන්න රනිල් කී බොරුව අධිකරණයේදී එළිවේ – චාමරගේ වැරැද්ද චක්‍රලේඛයට මාස 9 කට පෙර

0
2


ranils-lie-to-save-chamara-exposed-in-court-chamaras-mistake-9-months-before-the-circular

අල්ලස් කොමිසම පවසන පරිදි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් විමර්ශන කටයුතුවලට බලපෑම් ඇති වී ඇති බවත්, ඌව පළාත් සභාවේ ස්ථාවර තැන්පතු සම්බන්ධ සිද්ධියට අදාළව චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පැවරී ඇති චෝදනාව අනුව, ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගොස් ඇති ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම මගින් රජයට රුපියල් ලක්ෂ 173ක අලාභයක් සිදු කර ඇති බව සඳහන් වේ. මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ පළාත් සභාවල ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීමට අවසර දෙමින් මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත්, එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක මහතා කළ ක්‍රියාව නීතිවිරෝධී එකක් නොවන බවත් ය. මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 2015 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ බවද ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇත.
එහෙත් අල්ලස් කොමිසම විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පළාත් සභාවල ස්ථාවර තැන්පතු කල් පිරීමට පෙර ඉවත් කර ගැනීමට අවසර දෙමින් මහා භාණ්ඩාගාරය චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ 2016 නොවැම්බර් 22 වන දින බවයි. නමුත් චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හය ඉවත් කරගෙන ඇත්තේ මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට මාස නවයකට පෙර,


එනම් 2016 පෙබරවාරි 29 වන දින බව සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට පැවසුවාය.
ඒ අනුව, චාමර සම්පත් දසනායක මහතා අදාළ ගිණුම් ඉවත් කරගත් අවස්ථාව වන විට, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ ආකාරයේ චක්‍රලේඛයක් බලාත්මකව නොතිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ බව අනාවරණය වීමෙන් පසු, අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එහිදී ඔහු අදාළ චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව නිවැරදි දැනුමකින් තොරව මාධ්‍යයට ප්‍රකාශය කළ බව පිළිගෙන ඇත.
වැඩිදුරටත් කළ විමර්ශනවලදී, රනිල් වික්‍රමසිංහ මහතා සැකකාර චාමර සම්පත් දසනායක මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බව ප්‍රකාශ කර ඇති බවත්, හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවත් නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශය හේතුවෙන් සිද්ධියට අදාළව කරන විමර්ශන කටයුතුවලට බලපෑම් වී ඇති බවයි.


මෙම තත්ත්වය හේතුවෙන්, අල්ලස් කොමිසම විසින් ඇප මත මුදාහැර සිටින සැකකාර චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කර, ඔහු යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ කිසිදු මැදිහත්වීමක් නොමැති හෙයින්, ඔහුගේ ඇපය අවලංගු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අධිකරණය තීරණය කළේ මෙම කරුණු සැකකරුට ප්‍රදානය කර ඇති ඇපය අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සැකකරු පෙර ඇප මත මුදාහැරීමට නියම කළාය. ඒ සමඟම, අධිකරණය විසින් විමර්ශන ප්‍රගතිය ජුනි 27 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here