උණාකූරුවේදී ඝාතනය වූ යුවළ කිසිම අපරාධයකට හවුල් නැති අහිංසකයන්
එකම වරද උණාකූරුවේ ශාන්තගේ නැන්දයි – මාමයි වීම පමණයි
ඝාතකයින් පැමිණි යතුරුපැදිය අතරමඟ දමා ගිහින්
පාතාල කල්ලි නායක උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දණිය වෙඩි තබා ඝාතනය කිරීම කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයා මෙහෙයවන පාතාල කල්ලියේම තවත් ක්‍රියාවක් බවට සැක පහළවී ඇති බව විමර්ශන නිලධාරීහු කියා සිටිති.
අම්බලන්ගොඩදී කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීම සඳහා ආයුධ ලබාදුන්නේ උණාකූරුවේ ශාන්ත විසින් බවට සැකකර ඔහුගෙන් පලිගැනීමට ඔහුගේ මාමා සහ නැන්දා මෙසේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු කිසිවක් මේ වනතුරු ලැබී නොමැති බවත් විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් මේ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරගෙන යන බවත් දකුණු පළාතේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළදී පෙරේදා (18 දා) රාත්‍රි ඝාතනයට ලක්වූ අඹු සැමි යුවළ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අහිංසක මිනිසුන් බව ද පොලිසිය පවසයි. ඔවුන්ට ඇති එකම චෝදනාව වන්නේ පාතාල නායක උණාකූරුවේ ශාන්තගේ මාමා සහ නැන්දා වීම පමණක් බව ද පොලිසිය කියා සිටියි.
පෙරේදා රාත්‍රි 7.00ට පමණ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිගරැට් මිලදී ගැනීමට මෙම වෙළෙඳසලට ඇතුළු වී ඇත. පසුව ඉන් එක් පුද්ගලයකු ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලයෙන් වෙළෙඳසල් හිමියාට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.
කුලී ඝාතකයන් පලා ගිය යතුරුපැදිය ප්‍රහාරය එල්ල වූ ස්ථානයට කිලෝමීටර් 2ක් පමණ දුරින් වූ සීනිමෝදර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.
මේ අතර මෙම ප්‍රහාරයට පැමිණි කුලී ඝාතකයන්ගේ බවට සැකකෙරෙන ඇඳුම් බෑගයක් සහ තවත් උපකරණ කීපයක් සහිත මලු දෙකක් තංගල්ල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි.
මෙම අඹු සැමි යුවළ මරා දැමීමට දෙහිබාලේගෙදර මල්ලී නමැත්තා විසින් මෙහෙයවන පාතාල කල්ලියේ ද සහයක් ලැබී තිබෙන බවට ද තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.
ප්‍රහාරය සඳහා ආයුධ ලබාදීම මෙන්ම ඔත්තු බැලීමේ කටයුතු සිදුකර ඇත්තේ දෙහිබාලේ මල්ලී නමැති පාතාල මැරයාගේ සගයන් විසින් බවට තොරතුරු පොලිසිය විසින් හෙළි කරගෙන තිබේ.
මෙම ද්විත්ව ඝාතනය සිදුකර පලා ගිය කුලී ඝාතකයන් හඳුනාගැනීම සඳහා ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කිරීමක් සිදුකර ඇති අතර දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ද විමර්ශන පවත්වාගෙන යයි.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
Saru FM Media









