ගෝලීය ධනයට අධිපති ටෙක් ටයිටන්වරු

0
1

ලොව ධනවත්ම පුද්ගලයන් පිරිස අනපේක්ෂිත ආකාරයෙන් වත්කම් රැස් කරමින් සිටින බැවින් අද ලෝකයේ විෂමතාවය වැඩි වෙමින් පවතින බව ඔක්ස්ෆෑම් සංවිධානය මීට මාස කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණි. ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයට පෙර ප්‍රකාශයට පත් කරන ලද “Takers Not Makers” යන වාර්තාව අනුව සඳහන් වූයේ 2024 දී බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් ඉහළ ගොස් ඇති බවත් එය පෙර වසරට වඩා තුන් ගුණයකින් වේගයෙන් වර්ධනය වී ඇති බවත්ය. ලොව ධනවත්ම 1% දැන් ගෝලීය ධනයෙන් 45% ක් හිමිකරගෙන සිටින අතර, මානව වර්ගයාගෙන් 44% ක් දිනකට ඩොලර් 6.85 ට වඩා අඩු ආදායමකින් ජීවත් වන අතර, 1990 සිට ගෝලීය දරිද්‍රතා අනුපාතයන් යන්තම් වෙනස් වී ඇති බව වාර්තාව පවසයි. පසුගිය වසර 10 තුළ ධනවත්ම බිලියනපතියන් 10 දෙනාගේ ධනය දිනකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100 කින් වර්ධනය වීමත් සමග ඉදිරි දශකය තුළ ලෝකයේ පළමු ට්‍රිලියනපතියන් මතුවනු ඇතැයි වාර්තාව පුරෝකථනය කර තිබිණි. ඇත්තෙන්ම දැන් ලොව පළමු ධනවතාට එනම් ඉලෝන් මසක්ට ඩොලර් ට්‍රිලියන භාගයකට ආසන්න ප්‍රමාණයක් හිමිය. පසුගිය වසරේ නව බිලියනපතියන් 204 දෙනකු බිහි වූ අතර, 2024 දී මුළු බිලියනපතියන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 2 කින් වැඩි විය.

සැප්තැම්බර් මාසයේදී ලොව ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ඩොලර් බිලියන 201 ක් තම ආදායම් තර කරගත් අතර, ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළවල් එම මාසය තුළ නව සර්වකාලීන ඉහළම මට්ටම් කරා ළඟා විය. කණ්ඩායමක් ලෙස, ෆෝබ්ස් හි බිලියනපතියන්ගේ ලැයිස්තුවේ මෙම ප්‍රභූ උප කාණ්ඩයේ මුළු ධනය ඔක්තෝබර් 1 වන දින පෙරවරු 12 වන විට ඩොලර් ට්‍රිලියන 2.4 ක් විය. ලොව ධනවත්ම පුද්ගලයන් දෙදෙනා වන එලොන් මස්ක් සහ ලැරී එලිසන් ද විශාලතම ලාභ ලබන්නන් දෙදෙනා විය. මස්ක් ගේ ටෙස්ලා කොටස් 33% කින් ඉහළ ගිය අතර, අඛණ්ඩව 17 වන මාසයටත් අංක 1 ස්ථානය ලබා ගැනීමට උපකාරී වූ අතර එය ඔහුගේ ධනයට ඩොලර් බිලියන 75.2 ක් එකතු කළේය. ඩොලර් බිලියන 491 ක ධනයක් සමගින්, මස්ක් දැන් ඩොලර් ට්‍රිලියන භාගයකට ආසන්න ධනයක් ඇති වටිනා පළමු පුද්ගලයා බවට පත්වීමට නියමිතය. ඔරකල් හි සම-නිර්මාතෘ ලැරී එලිසන් ඩොලර් බිලියන 340 ක් සමග දෙවන ස්ථානයේ පසුවේ. ඉහළම 10 දෙනා අතර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ගිය එකම සාමාජිකයා එන්වීඩියා සම-නිර්මාතෘ ජෙන්සන් හුවාං ය ෆෝබ්ස් වාර්තාව අනුව, ඉහළම ධනපතියන් දස දෙනාගෙන් එක් අයකු පමණක් ප්‍රංශයට අයත් නව දෙනා ඇමෙරිකානුවන් වේ. ඇමෙරිකානු නොවන ප්‍රංශ ජාතික බර්නාඩ් ආර්නෝල්ට් හිමි ධනය ඩොලර් බිලියන 159කි. ඔහු ධනවතුන්ගේ ලයිස්තුවේ අටවැනියාය.

ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් වැඩිම කොටස තාක්ෂණ කර්මාන්තයේ සිටින මුල් පුරුක් වන අතර නිල වශයෙන්ම ඔවුන්ගෙන් පාලනය වන ධන සම්පත් ප්‍රමාණය සමස්ත ජාතීන්ගේ ආර්ථිකයන්ට පවා සමාන වන බව ලොවට හෙළිදරවු වී හමාරය. ඉහළම ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ඩොලර් ට්‍රිලියන 2.4 කට වඩා පාලනය කරන අතර, එය තාක්ෂණය සහ සුඛෝපභෝගී කර්මාන්තවල ගෝලීය ආධිපත්‍යය අවධාරණය කරන ධන සංකේන්ද්‍රණයකි. මෙටා හි මාර්ක් සකර්බර්ග් ඩොලර් බිලියන 258 ක ශුද්ධ වත්කමක් සමග තුන්වන ස්ථානයේ සිටින අතර ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ඩොලර් බිලියන 243 ක් සමග සිව්වන ස්ථානයේ සිටී. ඉහළම ධනවතුන් 10 ලැයිස්තුවේ ගූගල් හි සම-නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ද සිටින අතර ඔවුන් පිළිවෙළින් ඩොලර් බිලියන 213 සහ ඩොලර් බිලියන 200 ක වත්කම් සහිතව පස්වන සහ හයවන ස්ථාන හිමිකර ගනී. හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බෝල්මර් ඩොලර් බිලියන 178 ක් සමග හත්වන ස්ථානයේ පසුවන අතර එය උරුම තාක්ෂණික ධනයේ රැඳී සිටීමේ බලය මැනවින් ඉස්මතු කරයි. චිප් නිෂ්පාදක NVIDIA හි ප්‍රධාන විධායක ජෙන්සන් හුවාං ඩොලර් බිලියන 162 ක් සමග නව වන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රවීණ ආයෝජක වොරන් බෆට් බර්ක්ෂයර් හැත්වේ හරහා ඩොලර් බිලියන 151 ක් සමග ඉහළම 10 දෙනා අතරට පැමිණ ඇත.

මේ අතර බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් බිලියනපතියන්ගේ ලැයිස්තුවට එක්ව තිබේ. ඔහු ලොව වැඩිම ධනයක් ඇති තාරකාව බවට පත්ව තිබේ. ඒ අනුව 2025 Hurun India Rich ලැයිස්තුවට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ඇස්තමේන්තුගත ධනයක් ඔහුට හිමිය. 59 හැවිරිදි ඛාන්, බ්ලොක්බස්ටර් චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, නිෂ්පාදන ව්‍යාපාර සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් හි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හරහා රුපියල් කෝටි 12,490 කට වඩා ශුද්ධ වත්කමක් රැස්කර ගෙන ඇත. බොලිවුඩ් නළුවකු බිලියනපති ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වන අතර එය ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශාරුක් ඛාන්ගේ ධනය ඇමෙරිකානු ගායිකා ටේලර් ස්විෆ්ට් ඇතුළු අන්තර්ජාතික විනෝදාස්වාද කර්මාන්තයේ සාමාජිකයන් කිහිපදෙනකුගේ ධනය ඉක්මවා ගොස් තිබේ. ‘බොලිවුඩයේ රජු’ ලෙස හඳුන්වනු ලබන ශාරුක් ඛාන්, ඔහුගේ නිෂ්පාදන ආයතනය වන Red Chillies Entertainment, දිගුකාලීන වෙළෙඳ නාම ගනුදෙනු සහ පසුගිය වසරේ ජවාන් වැනි ඉහළ ආදායම් ලබන චිත්‍රපටවලින් ආදායම් උපයා ගනී. ඔහු මේ වසරේ ඔහුගේ පළමු ජාතික චිත්‍රපට සම්මානය ද දිනාගත් අතර, එය දශක තුනකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයට ආලෝකටක් එක් කළේය.

ඉන්දියාවේ ධනය රැස්කිරීම වේගවත් ලෙස ඉහළ යමින් පවතින අතර, වාර්තාගත ඩොලර් බිලියනපතියන් 358 ක් සහ රුපියල් කෝටි 1,000 කට වඩා ධනය ඇති (ඇමෙරිකානු ඩොලර් මිලියන 112.7) වටිනා පුද්ගලයන් 1,687 ක් සිටින බව වාර්තා වේ මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුලේ අය ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත තේරී පත්වී ඇති අතර, ඔවුන්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 101කි. ගෞතම් අදානි සහ පවුලේ අය අම්බානි සිටින අතර, ඔවුන්ගේ ධනය ඩොලර් බිලියන 91 ක් ලෙස පවතී. මෙයින් පැහැදිලි වන්නේ ඉන්දියාවේ ධනය ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානය දැන් මෙම කාර්මික දැවැන්තයන් අතර ද්විපාර්ශ්වික තරගයක් බවයි. පසුගිය වසරේ, 2024 වාර්තාවේ, ගෞතම් අදානි මුකේෂ් අම්බානි අභිබවා ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත් වූ මේ වසරේ අම්බානි නැවත ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට සමත් වී තිබේ. රොෂ්නි නඩාර් මල්හෝත්‍රා බිලියන 32ක ධනයක් ඇතිව ඉන්දියාවේ ධනවත්ම කාන්තාව බවට පත්ව ඇත. මෙම වසරේ ඉන්දියාවේ ලැයිස්තුවට නව බිලියනපතියන් 58 දෙනකු එකතු වී ඇති අතර, එය සතියකට සාමාන්‍යයෙන් එකකි. ඉන්දියාවේ ධනවත්ම ධනවතුන්ගේ ඒකාබද්ධ ධනය (ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.88 ක්වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න වේ.

මේ අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට බිහාරයෙන් වාර්ෂික කුලිය රුපියලකට ඉඩම් අක්කර 1,000ක් බදු දීම ගැන මහත් ආන්දෝලනයක් මතුව තිබේ. තාප බලාගාරයක් පිහිටුවීම සඳහා අදානිගේ සමාගමක් වන අදානි පවර් ලිමිටඩ් වෙත වසර 25 ක බද්දට ඉඩම ලබා දී ඇත. කොංග්‍රස පක්ෂය පවසන්නේ බිහාර් රජය සහ භාරතීය ජනතා පක්ෂය අදානිට වාසිදායක ආකාරයෙන් කටයුතු කරන බවයි. භගල්පූර් බිහාරයේ පට්නා අගනගරයේ සිට කිලෝමීටර් 250 ක් පමණ දුරින් පිහිටා ඇත. විපක්ෂ එල්ල කරන චෝදනාවට පිළිතුරු දෙමින් බිහාර් කර්මාන්ත අමාත්‍ය නිතිෂ් මිශ්‍රා පවසන්නේ මෙම ව්‍යාපෘතිය අඩුම ලංසුව මත අදානි පවර් ලිමිටඩ් වෙත ලබා දී ඇති බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීප සගයකු ලෙස සැලකෙන ගෞතම් අදානි දියමන්ති වෙළෙඳාමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කර පසුව Adani Enterprises පිහිටුවන ලදී. ඉන් අනතුරුව වරාය, බලශක්ති, ආදී මෙකි නොකී විශාල අංශයන් කරා විහිද ගිය වෙළෙඳ ජාලයක් ආරම්භ කළ ඔහු මේ වන විට 1980 ගණන්වල ඇමෙරිකාවේ ස්වර්ණමය යුගයේදී විශාල ඒකාධිකාරී ව්‍යාපාර ගොඩනඟා ගත් John D’ Rockefeller සහ Cornelius Vanderbilt වැනි ව්‍යාපාරිකයන් සමග සම තැන් ලා සැලකීමට විචාරකයන් පෙළඹ තිබේ. 2014 දී බලයට පැමිණි මොදි ගුජරාට් සිට දිල්ලියට ගියේ අදානිගේ ගුවන් යානයකිනි.

● චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here