
එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජන බලවේගය විසින් ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන් සඳහා භාවිතා නොකිරීමට සියලු දේශපාලන පක්ෂ විසින් එළඹ තිබූ එකඟතාවය කඩ කර ඇති බවට චෝදනා කරයි. හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේ ගාල්ල, උළුවිටිකේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ජනහමුවක දීය.
වික්‍රමසිංහ මහතා මෙම රැස්වීමේදී සඳහන් කළේ, සියලු දේශපාලන පක්ෂ විසින් ගාලුමුවදොර පිටිය දේශපාලන කටයුතු සඳහා භාවිත නොකිරීමට පෙර එළඹ තිබූ එකඟතාවක් තිබියදී, ජාතික ජන බලවේගය විසින් එය උල්ලංඝනය කරමින් එම ස්ථානයේ මැයි රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
“ආණ්ඩුව මැයි සැමරීම ගෝල්ෆේස් පිට්ටනියෙලු කරන්නේ. දේශපාලන කටයුතුවලට ගෝල්ෆේස් පිට්ටනිය දෙන්නෑ කියලා මීට පෙර සියලු දේශපාලන පක්ෂ එකඟ වී තීරණයක් ගත්තා. දැන් ඒක කඩනවා. කොතැනටද වැටිලා තියෙන්නේ? මොකද්ද මේ ප්‍රතිපත්තිය?” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
එක්සත් ජාතික පක්ෂය තම කම්කරු දින වැඩසටහන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද විස්තර කරමින්, වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තම පක්ෂය මෙවර විශාල මධ්‍යගත රැස්වීමක් නොපවත්වා, ඒ වෙනුවට කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
මැයි පළමුවැනිදා ඡන්දයට පෙර අවසන් නිවාඩු දිනය වන බැවින්, ප්‍රායෝගික නොවන විශාල රැස්වීම් පැවැත්වීමෙන් වැඩක් නැති බව පැවසූ වික්‍රමසිංහ මහතා, “විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නැහැ. මොකද ඡන්දෙට ඉස්සෙල්ලා අන්තිම නිවාඩු දවස පළමුවැනිදා. එදාට ගම හිස්කරලා ලංකාවේ ඉන්න ඔක්කොම පාක්ෂිකයෝ එතැනට ගෙනියනවද? නැත්නම් ගමේ ඉන්නවද? අපි ගමේ ඉන්න තීරණය කළා” යැයි පැවසීය.
මෙම ජනහමුව පැවැත්වූයේ විශේෂයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ අරමුණින් බව පක්ෂ නිලධාරීන් විසින් සඳහන් කරන ලදී.
ගාලුමුවදොර පිටිය (ගෝල්ෆේස් පිටිය) පසුගිය අරගල සමයේදී ගෝඨාභය රජයට එරෙහි සටන් දියත් කළ ස්ථානය වන අතර ඉන් පසු ගෝඨාභයගේ ඉතිරි කාලය භාරගෙන ජනපති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ අරගල අවස්ථා මර්දනය කිරීමේ පියවරක් ලෙස එම ස්ථානය දේශපාලන වැඩවලට ලබා නොදෙන තීරණයක් ගත්තේය.
ඔහු සිහිපත් කරන්නේ ඔහු ලබාගත් උපායශීලී තීන්දුව ගැනයි.
Saru FM Media