ගොඩබෑ ගල් අඟුරු තොගයක් ප්‍රමිතියෙන් බාල බව ඇමති නලින්ද පිළිගනී. එහෙත් ප්‍රසම්පාදනයේ ප්‍රශ්නයක් නැති බව කියයි

0
10

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම නොරොච්චෝලේ අල් අඟුරු පරිශ්‍රයට ගොඩබෑ පළමු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 සාම්පල් පරීක්ෂාවේදී ඒවායේ ශක්ති උත්පාදක අගයේ අඩුවක් පවතින බව හෙළිවී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කෙසේවෙතත් එහි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ගැටලුවක් සිදුව නොමැති බව පැවසූ අමාත්‍යවරයා එම ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු තොගය සඳහා අදාළ සමාගමට දඩ නියම කරන බවත් සඳහන් කළේය.

“මම ඒකට කැබිනට් මාධ්‍ය හමුවේදීත් පිළිතුරක් ලබාදුන්නා. බලශක්ති ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී ඒ සියලු ලේඛන සභාගත කළා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ගෙනාපු පළමු මෙට්‍රික් ටොන් 60,000 සාම්පල පරීක්ෂා කිරීමේදී – ලංකාවට ගෙනාවාට පස්සෙ, ඉන්දියාවෙන් පටවනකොට නෙවෙයි. ඒ පටවන සාම්පලවල ප්‍රශ්නයක් නැහැ ප්‍රමිතියේ – නමුත් ලංකාවට ගෙනල්ලා පරීක්ෂා කරන්න අපිම, ගල් අඟුරු සමාගම විසින් ඉන්දියාවට යවපු සාම්පලවල ඒ අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ යම් අඩුවක් තියෙනවා. ඒ නිසා අපි කරන්නෙ ඒ සමාගමෙන් දඩ අයකරනවා. ඒ අනුව සාමාන්‍යයෙන් දෙගුණයක දඩයක් ඒගොල්ලන්ට නියම වෙනවා. දෙවැනි මෙට්‍රික් ටොන් 60,000 ගොඩබාලා තිබෙන්නෙ. ඒකෙ සාම්පල් යවලා තියෙනවා, කිසි ප්‍රශ්නයක් නෑ ඒකෙ. තුන්වෙනි මෙට්‍රික් ටොන් 60,000 දැන් ගොඩබාමින් පවතිනවා. ඒක ගොඩබාලා ඉවර වුණාට පස්සෙ ඒත් සාම්පල් යවලා බලනවා. කොහෙහරි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක් වෙලා නෑ. ලංකාවට ගොඩබෑවාට පස්සෙ කරන සාම්පල පරීක්ෂාවේදී ඒවායෙ ප්‍රමිතිය නැත්නම් අනිවාර්යයෙන්ම ඒ සමාගමට අදාළ කොටසට දඩ ගෙවන්න සිද්ධ වෙනවා”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here