ගෙදර මගේ තමයි. ඕකට ආවෙ 2024 ඡන්ද කාලෙ. මට ඕනෙ නම් සතියෙන් ලක්ෂ 500ක් හොයන්න පුළුවන් – ඇමති ලාල්

0
3

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සුඛෝපභෝගී නව නිවස සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබුණු අතර ආණ්ඩුවට හිතවත් ඇතැම් පිරිස් එම නිවස ලාල්කාන්ත මහතාගේ නොව ඒ මහතාගේ සහෝදරියකගේ බවත් පවසා තිබිණි.

කෙසේවෙතත් එම නිවස තමන්ගේම බවත් එහි ඉදිකිරීම් කටයුතු අවසන් කර තමන් එහි පදිංචියට පැමිණියේ 2024 අගභාගයේ බවත් ලාල්කාන්ත මහතා පවසා ඇත.

“මේ මාතෘකාව පත්තුකරලා තියෙන්නෙ. පත්තු කළේ මං. වෙන කවුරුත් හොයාගෙන නෙවෙයි. පහුගිය දිනයක අපේ ගෙදර තිබ්බා දානයක්. අපේ අම්මා වෙනුවෙනුයි තාත්තා වෙනුවෙනුයි තව මිය පරලොව ගිය අපේ කිට්ටුවන්තයො වෙනුවෙනුයි. දැන් සමහරු හිතන් ඉන්නෙ මං අලුතින් ගෙදරකට පදිංචි වුණා කියලා. එහෙම නෑ. මේ තිබ්බෙ දානමය පිංකමක්”

මාධ්‍යවේදියා – ඒ ගෙදෙට්ට ගිහිල්ලා කොච්චර කල්ද දැන් ?

“2024 අග හරියේ. පාර්ලිමේන්තු ඡන්දෙ කැම්පේන් එක යන කාලෙ වගේ … ජනාධිපතිවරණෙ කැම්පේන් එක යන කාලෙ වගේ…”

මාධ්‍යවේදියා – හරි, ඒ කාලෙ වගේ ආවෙ … දානයක් තිබුණා පස්සෙ …

“අපෙ පවුලෙ අය තමයි මූලික වුණේ. තව ඒ ගැන දැනගත්ත ටික දෙනෙකුට එන්න කිව්වා. දානෙට කලින් දවසේ මම ජනාධිපතිතුමාගෙ ලේකම්ට කතා කරනකොට මම කිව්වා හෙට මෙහෙම වැඩක් තියෙනවා, ජනාධිපතිතුමාටත් වෙලාවක් තිබ්බොත් චුට්ටක් ඇවිත් යන්න කියන්න කියලා. ජනාධිපතිතුමාත් ආවා. ඒවෙලාවෙම තමයි අගමැතිනියත් කිව්වෙ. කලින් දාලා තිබුණු ඒවා නෙවෙයි. ඉතින් අපි ඒක හොඳට කළා. ඊටපස්සෙ ඉතින් අපෙ මීඩියා එකේ කට්ටිය මගෙන් ඇහුවාම මං කිව්වා කමක් නෑ, දාන්න කියලා. ඊටපස්සෙ තමා ඔය කතාබහක් ඇතිවෙලා තියෙන්නෙ.

අහපු ප්‍රශ්නෙට සම්බන්ධ කළොත් චුට්ටක් කියන්නම්. ගොඩක් කියන්නෙ නෑ, තව කට්ටියට ඉඩ තියන්න ඕනෙ. දැන් මම පක්ෂෙ පූර්ණකාලීනවනෙ වැඩ කළේ. මම පක්ෂෙට සම්බන්ධ වෙන්නෙ 1982. නිකම් උදව්කරුවෙක් විදියට. මම සම්පූර්ණයෙන් දේශපාලනය කරන්න පටන් ගන්නෙ 1987 ඉඳලා. අපි කියන්නෙ අපෙ අර මුළු කාලයම ඒ වෙනුවෙන් යොදවනවා කියලානෙ. ඒ කාලෙ අපි ගෙවල් දොරවල් ඔක්කොම අත්හැරලා ආපු අය. තියෙන ඒවා අක්කලාට නංගිලාට දෙමව්පියන්ට කරගන්න කියලා අපි වෙන වැඩකට ආවානෙ. ඉතින් කොහොමහරි තාත්තා නැතිවුණා. ඔය හැමෝම වගේ තාත්තාගෙ මළගෙදරටත් ආවා. ඒගොල්ලො දන්නවා කොච්චර තිබුණාද කියලා. අනුරාධපුරේ, නුවර පාරෙ, නුවර වැව ඉස්මත්තෙ..”

මාධ්‍යවේදියා – ඇහුවාට කමක් නෑනෙ, ප්‍රමාණවලින් කොච්චර වගේද ?

“ඒවා දැන්ම කියන්න ඕනෙ නෑ. මම කිව්වෙ ඔක්කොම කියන්න ඕනෙ නෑ කියලා”

මාධ්‍යවේදියා – හරි එහෙම නම් …

“ඊටපස්සෙ ඔය අපි කතාවෙලා ඒවා ගරාවැටෙන හින්දා විකුණන්න තීරණයක් ගත්තා. හරිද ? ඒක කළේම ඇත්තටම පර්චස් කීයක් හරි මෙහෙන් ගන්නම තමයි. ඊටපස්සෙ ඉතින් ඔය හැමතැනම බලලා බලලා හොයලා හොයලා ඔය දැන් ගේ තියෙන තැන පර්චස් 7යි 6යි එක ළඟ කෑලි දෙක් අරගෙන තමයි ගේ හදන්න පටන් ගත්තේ. වැඩ ඉවර කළා 2024 අග වෙනකොට. ඒ කාලෙ තමයි ඒ ගෙදර පදිංචි වුණේ. ඊයෙ පෙරේදා නෙවෙයි.

ඉතින් ඔය සමහරුන්ට පොඩි පොඩි කසුකුසුත් තියෙනවානෙ. දකින අය ඉන්නවා, එන අය ඉන්නවා, අරහෙ මෙහෙ. ඒ කාලෙ ඉඳන් මට ඕනෙ කමක් තිබ්බා මේක නිකම් අතෑරලා දාන්න. එහෙන් මෙහෙන් අහනවානෙ නැත්නම් අරයා මෙයා. මේ දානෙ අපෙ පවුලෙ අය එක එක්කෙනා තම තමන්ගෙ ගෙවල්වල කරන්නෙ. මේ පාර මං කිව්වා මං කරන්නම් කියලා. ඕක දැකලා තමයි දැන් මේ කට්ටිය එක එක ඒවා කියන්නෙ. මං නම් බලන්නෑ ඇත්තටම, මට එවනවා. ඒවගේ එක එක කතන්දර තියෙනවා. මං ඒවාට උත්තර දෙන්නෙ නෑ මීට වඩා. මොකද දැන් පැමිණිල්ලකුත් දාලා තියෙනවානෙ පරීක්ෂා කරන්න කියලා..”

මාධ්‍යවේදියා – ඒ කියන්නෙ නිශ්ශංක සේනාධිපතිගෙ සල්ලිද, ඔහොම ඒවා කියනවා …

“ගොඩක් ඒවා කියනවා නේද ? හැබැයි තාම කවුරුත් කියන්නෙ නෑ රජයේ මුදල්, ජනතාවගේ බදු මුදල්, ඒ වගේ එකක් මං තාම දැක්කෙ නෑ. ඇමති වුණාට පස්සෙ අමාත්‍යාංශෙන් හොරාකාල හරි එහෙම මොකක්වත් මං දැක්කෙ නෑ. සාමාන්‍ය අනිවාර්ය පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් පක්ෂෙ සල්ලි කියලා වර්ගයක් තියෙනවානෙ. ජීවිත කාලෙ අද වෙනකල් ඒවාත් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ. ඒවා පක්ෂෙ. ඊළඟට රජයේ මුදල්. ඒවා අවභාවිතාවට සම්බන්ධ වෙන්නෙ නෑ. ඔය දෙක වෙන්නෑ. හරි ? ඒ අතරමැද වෙන කෑලි තියෙනවා ඉතින්. ඉඩමක් විකුණනවා, ඔහොම මිලදී ගන්නවා, ගනුදෙනු කරනවා … මේ වෙනකොට සමාජ ප්‍රාග්ධනයක් කියලා එක් උපයලා තියෙනවානෙ. අපිත් එක්ක විවිධ අය සම්බන්ධ වෙන්නෙ දේශපාලනෙත් එක්කලා. හැබැයි ඒගොල්ලො සම්බන්ධ වෙලා ආශ්‍රය කරගෙන යනකොට දේශපාලනයෙන් එහාට ගිය සබඳතාත් වර්ධනය වෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. යාළුකම් ඇතිවෙනවා .. එහෙමනෙ … අද ඕනෙ නම් මට පුළුවන් එක්කෙනෙක්ගෙන් ලක්ෂ 5 ගාණෙ 100 දෙනෙක්ගෙන් සතියක් විතර ඇතුළත හොයන්න. කෝල් කරන්න විතරයි තියෙන්නෙ. හොයන්න පුළුවන්. ඕනෙ නම් පුළුවන්. එහෙම කරන්න ඕනෑවට නෙවෙයි මම මේ කියන්නෙ. කළා කියලාත් නෙවෙයි මේ කියන්නෙ. ඕනෙ නම් පුළුවන්. එච්චර සමාජ ප්‍රාග්ධනයක් උපයාගෙන තියෙනවා. ඒවා ගණන් හදන්න තේරෙන්නෙ නෑ ඔය සමහරුන්ට.

අනිත් එක ඒගොල්ලො හිතන්නෙ එක්තරා දවසක යමක් කිව්වාම ඒක ගලේ කෙටුවා වගේ කියලා. ලෝකෙ චලනය, ලෝකෙ වෙනස්වීම්, වර්ධනයන්, ඒවා පේන්නෙ නෑ. එදා මෙයා මෙහෙම කිව්වා කියනවා”

මාධ්‍යවේදියා – ඔව් දැන් සන්නස්ගල මහත්මයාගෙ අම්මා පොත එළිදක්වන වෙලාවෙ ඔබ කිව්වානෙ අමාරුවෙන් ජීවත් වෙන්නෙ, වයිෆ් විතරයි වැඩ කරන්නෙ, දුවත් ඉගෙන ගන්නවා …

“සම්පූර්ණ ඇත්ත. ඒක බොරුවක් නෙවෙයි. ඒකත් ඇත්ත, දැන් කියන එකත් ඇත්ත. දැන් සමහරු ඉන්නෙ ඒක ඇත්ත නම් මේක ඇත්ත වෙන්න බෑ කියලා. එක්කො මේක ඇත්ත නම් ඒක ඇත්ත වෙන්න බෑ කියලා. එහෙම නෙවෙයිනෙ. ඒවා වෙනස් වෙනවා. අපේ ලෝකය දේශපාලනික ලෝකයක්නෙ. අපෙ සමාජය දේශපාලනික සමාජයක්. දේශපාලනිකයි කියන්නෙ බලය වෙනුවෙන් කටයුතු කරනවා, බලය වෙනුවෙන් අනිත් අය පරාද කරන්න කටයුතු කරනවා, දේශපාලනයෙදී ඒකනෙ මූලික දේ. තව ඔය කීයක් හරි හොයාගන්න එහෙම මෙහෙම දේශපාලනය කරන අයත් ඉන්නවා. ඒ අරමුණින්ම කරන අයත් ඉන්නවා. දැන් මේක වෘත්තියක්නෙ. දේශපාලන සමාජයක විදියම තමයි තමන්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ඉන්නවා. අනිත් කණ්ඩායම පරාජය කරන්න කටයුතු කරද්දී ඒවාට මේවාත් අදාළයි. අඳින විදිය, කනබොන විදිය, යන වාහනේ … ඒක නිසා මේක සාමාන්‍ය දෙයක්. ඔයිට වඩා ඕකට උත්තර දෙන්න ඕනෙ නෑ. තව ටිකක් ඔය කියන අය කියාගත්තාවේ. දැන් මගෙ දුව පිටරට ඉගෙන ගත්තා කිව්වානෙ. එහෙම කොහෙවත් ගියෙ නෑනෙ. ඒත් දැන් ඒගොල්ලන්ගෙන් කවුරුත් අහන්නෙ නෑනෙ එදා ඔයලා මෙහෙම කිව්වා, ඒක ඇත්තද බොරුද කියලා. දැන් අලුත් එක. ඕකත් ටික දවසක් යයි”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

The post ගෙදර මගේ තමයි. ඕකට ආවෙ 2024 ඡන්ද කාලෙ. මට ඕනෙ නම් සතියෙන් ලක්ෂ 500ක් හොයන්න පුළුවන් – ඇමති ලාල් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here