ගුවන් මගියෙකුගේ මුදල් සොරා ගත් කුලී රථ රියදුරුවරයෙකු අත්අඩංගුවට

0
15


ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරාගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද (31) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඩුබායිහි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් (29) දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ .

ඉන්පසුව ඔහු සිය නිවෙස වෙත යාම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් කුලී රථයක් ලබා ගෙන ඇති අතර , අමතක වීමකින් එම රථයෙහි , ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබෙනවා .

පසුව ඒ පිළිබඳ කුලී රථ රියැදුරුවරයාගෙන් විමසූ විට , එය තම රථයෙහි ඇති බවත් , එය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම් දී තිබෙනවා .

ඒ අනුව ගුවන් මගියා අද (31) දින උදෑසන අදාළ බෑගය භාර ගෙන පරීක්ෂා කිරීමේ දී , එහි වූ රුපියල් 904,400 ක මුදල නොමැති බව දැන ගැනීමෙන් පසු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ .

මෙම මුදල් අතර ඩිරාම් , ඕස්ට්‍රේලියානු ඩොලර් , ඇමෙරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් තිබී ඇති බව පැමිණිලිකරු පොලීසිය හමුවේ සඳහන් කර තිබෙනවා .

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ කුලී රථයෙහි රියැදුරුවරයා සොයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංච් 38 හැවිරිදි තරුණයෙක් .

එහිදී සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එම මුදල හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය වෙත ලබා දුන් බව අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා .

පසුව පොලීසිය කළ දැනුම් දීම මත ඇය පොලීසිය වෙත පැමිණ එම මුදල භාර දීමටයි පියවර ගෙන තිබෙන්නේ .

මෙසේ අත්අඩංගුවට ගත් කුලී රථ රියැදුරුවරයා අද (31) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here