ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලිට්‍රෝ සහ ලාෆ් ආයතන මගින් දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ මෙරටට ලැබුණු ගෑස් තොග පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, ලිට්‍රෝ සමාගම ඉදිරි මාසය සඳහා අතිවිශාල ගෑස් ප්‍රමාණයක් ඇණවුම් කර තිබේ.
ඒ අනුව අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.
ගතවූ කාලයේදී ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට රැගෙනවිත් ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.
මේ වන විට මාලදිවයිනේ ගෑස් මෙට්‍රික් ටොන් 30000ක නැවක් නැංගුරම්ලා ඇති බවත්, තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33000ක නැවක් එළැඹෙන මාර්තු 17 වැනිදා මාලදිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඒ මහතා පැවැසීය.
මෙම නැව් ශ්‍රී ලංකාවේ ඇණවුම්වලට අනුව මාලදිවයින දක්වා පැමිණෙන අතර එතැන් සිට දින දෙකකට වරක් කුඩා නැවක් මඟින් මෙරටට ගෙන ඒම සිදු කෙරෙයි.
මෙතෙක් ඕමාන සමාගමකට දී තිබූ ගෑස් සැපයීමේ ටෙන්ඩරය මෙවර අමෙරිකානු සමාගමකට දීම වත්මන් යුදමය තත්ත්වය හමුවේ ගෙන ඇති කාලෝචිත තීරණයක් බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම ගෑස් නැව් මාලදිවයින දක්වා ගෙන්වනු ලබන්නේ යුද කලාපය හරහා නොවේ. මෙම නැව් අමෙරිකාවේ සිට අප්රිකාවට වටා යාත්‍රා කොට මාලදිවයින දක්වා පැමිණෙන හෙයින් යුදමය තත්ත්වය හේතුවෙන් ගෑස් සැපයුමට කිසිදු බාධාවක් නොවන බව ද ඒ මහතා පැවසුවේය.
එසේම ගෑස් පරිභෝජනය ඉහළ යාම නිසා නව ගෑස් ටැංකි ලක්ෂ 7ක ප්‍රමාණයක් කොටස් වශයෙන් වෙෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
මේ අතර ලාෆ් සමාගම ද තමන් සතු ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීම දැනටමත් ක්‍රියාත්මක කර ඇත. මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රට තුළ පවතින ගෑස් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා බව පැහැදිලි වේ.
Saru News
















