ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු 

0
1

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 10.9ත්, නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගතව පැවතුණු බවය.

එමෙන්ම මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ 27 වැනි දින සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වන බවත් පසුව එළැඹෙන පැය 48 තුළදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05ත් 15ක් සහ නැගෙනහිර දේශාංශ 80-95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇත.

තවද නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here