ගස් වඳ වී ගිය පසු ශිෂ්ටාචාරය ද වඳ වී යනු ඇත

0
6

ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ගවලින් 30%ක ප්‍රමාණයක් වඳ වී යෑමේ තර්ජනයට මුහුණදී තිබේ. දිවයින පුවත්පතේ ඊයේ (23දා) මුද්‍රණයේ ඒ බව විස්තර කෙරෙන දීර්ඝ ලිපියක් තිබේ. මෙය අවුරුදු 50ක තරම් කෙටි කාලයක් තුළ සිදුවූ වඳ වීමකි. චක්කරය මෙය නම් තව අවුරුදු 1000ක පමණ කාලයක් තුළ මේ රටේ සිටින එක සතකු හැර අන් සියලුම සතුන් ද මනුෂ්‍ය වර්ගයා ද වඳ වී යනවා ඇත. ඉතිරි වන එකම සතා වූ කලී කැරපොත්තා ය. අවුරුදු කෝටි ගණනක් පැරණි සතකු වන කැරපොත්තා කවදාවත් වඳ වන ජාතියේ සතකු නොවේ. ලෝක විනාශයකින් පසු යළි ජීවය පටන් ගන්නේ ද ඉතිරිව සිටින කැරපොත්තන්ගෙන් යැයි මතයක් පවතී. මනුෂ්‍ය වර්ගයා විනාශ වුවහොත් එය විශාල ඛේදවාචකයක් වුවද පරිසරයට බෙහෙවින් වැඩදායක කාරණයක් වනවා ඇත. මනුෂ්‍යයා විසින් තිරිසන් සතුන් ද වනගහනය ද විනාශ කරනු ලැබේ. මේ වනවිට විනාශයට පත්ව තිබෙන 30%ක් වූ ශාකවලට වගකිව යුත්තේ ද මනුෂ්‍ය වර්ගයාගේ චර්යාව ය. අපගේ ළමා කාලයේ අප දුටු ශාක වර්ග බොහොමයක් අද පෙනෙන්නටවත් නැත. උදාහරණයක් ලෙස මීට අවුරුදු 60/70කට පෙර උපන් අය බඩවැටි උඩින් සහ වෙල් මැදින් ගමන් කිරීමේදී තිබුණු ශාකවලින් වැඩි හරියක් අද වනවිට ආගියඅතක් නැත. අපගේ ළමා කාලයේදී අප අනුභව කළ බිම්පොල් නමැති ශාකය ගැන ඔබ අසා තිබේ ද? බත් ඇට වැනි මුලක් සහිත මේ ශාකය කුඩා දරුවන්ට ඉමහත් රසයක් ගෙනදුන්නේය. එම ශාකයේ ඇති බත් ඇට වැනි කොටස පොල්වල රසය ගෙනදුන් බැවින් එම ශාකය බිම්පොල් ලෙස හඳුන්වන ලදී. රට පුරා තිබූ මේ ශාකයෙන් සෑහෙන කොටසක් කුඩා ළමයින් විසින් අනුභව කරන ලදී. ඉතිරි කොටස වෙද මහත්වරුන් විසින් බෙහෙත් සෑදීම පිණිස ගලවාගෙන යන ලදී. තත්ත්වය කොතරම් බරපතළ වී ද යත් අද වනවිට මේ රටේ නගරාසන්න ප්‍රදේශවල නිදිකුම්බා ශාකය පවා නැත. දැනට සිටින අවුරුදු 10ට අඩු නාගරික ළමුන්ගෙන් 10%ක් වත් නිදිකුම්බා ශාකය දැක නැත. මාදං හෝ බලු දං යන ශාක අද ඇහැට පේන මානයක නැත. බෝවිටියා සහ හීන්බෝවිටියා සීන් එකෙන් අයින්ම වී ගොස් තිබේ. අපගේ වැටහීමට අනුව මෙයට වගකිවයුත්තෝ කොළ කැඳකාරයෝ සහ දේශීය වෛද්‍යවරු ය. හෙපටයිටිස් නමැති රෝගයට ඉතාම සුදුසු ඖෂධයක් ලෙස හීන්බෝවිටියා කැඳ යොදාගනු ලැබේ. හෙපටයිටිස් රෝගය වැලඳුණු පසු අක්මාව තුවාල වන අතර හීන්බෝවිටියාවලින් එම තුවාල සුවපත් කළ හැකිය. මේ තුවාල සුවපත් නොවී එසේම පැවතුණොත් අක්මාවේ පිළිකා හටගනී.

වටපිටාවේ තිබෙන දෙයක් හෝ අතට හසුවන දෙයක් උදුරාගෙන ඒ වෙලාවට ෂේප් එකක් දා ගැනීමේ වැඩපිළිවෙළක් මේ රටේ පවතී. දං පැළයක් උදුරන එකකු ඒ වෙනුවට දං පැළයක් වගා කරන්නේ නැත. හීන්බෝවිටියා ශාකයේ ගෙඩි ටික සහ අතු ටික පාහින හෙළ වෛද්‍යතුමකු විනාශ වූ ගස වෙනුවෙන් වෙන ගසක් වගා කරන්නේ ද නැත. එවිට අප අවට තිබෙන ශාක ක්‍රමයෙන් වඳ වී යයි. මෙයට අවුරුදු 60කට පෙර කුඩා ළමයින් අතර ඉතා ජනප්‍රිය පලතුරක් වූ ඇඹුල් පේර ගස අද වනවිට අතුරුදන් වූ පලතුරක් බවට පත්ව තිබේ. එය සමාන වන්නේ 88-89 භීෂණයේදී පොලිසිය විසින් රැගෙන ගිය තරුණයන්ට වූ දෙයට ය. එම ක්‍රියාවලියේදී යෑමක් මිස ආපසු ඒමක් තිබුණේ නැත. ඉස්සර නාගරික ප්‍රදේශවල පවා පොල්පලා, කුප්පමේනියා, කලාඳුරු අල වැනි දේ බහුලව තිබිණ. එකල නියරක් දිගේ ගිය විට මොනරකුඩුම්බිය සහ ලුණුවිල යන ශාක ඕනෑ තරම් සොයාගත හැකි විය. එහෙත් අද මේ ශාක වර්ග දෙකම නැත. එයට හේතුව වල්නාශක විසින් ඒවා විනාශයට පත් කිරීමය. වල්නාශකය නමැති භයානක ආයුධය යහපත් ශාක ලෙස හඳුනන්නේ ගොයම් ගස පමණි. කුඩමැට්ට, තුනැස්ස, ගිරාපලා යන වල් ශාක පමණක් නොව නියරවල තිබෙන සියලුම ඖෂධීය ශාක පවා වල්ගස් ලෙස හඳුනාගැනීම වල්නාශක විසින් සිදුකරනු ලැබේ. මේ නිසා අද වනවිට කුඹුරුවල ඉතිරිව තිබෙන ලුණුවිල හෝ මොනරකුඩුම්බිය ආහාරයට ගැනීම භයානකය. මන්ද ඒවායෙහි වල්නාශක තිබේ. ලුණුවිල ශාකය යොදාගනු ලබන්නේ මතක ශක්තිය වර්ධනය කිරීමටය. වල්නාශක අඩංගු ලුණුවිල කෑමෙන් මොළය කුරුවල් වීමට ඉඩ තිබේ. එවිට මතකය සම්පූර්ණයෙන්ම හොල්මන්ය. මොනරකුඩුම්බිය ශාකය සෙම් අමාරුවලට සහ දියවැඩියාවට ඉතා හොඳ බේතකි. එහෙත් ඒවායේ වල්නාශක අඩංගු වුවහොත් ඒවා අනුභව කරන එකාගේ ලෙඩේ ඩබල් වී හෙතෙම මියයනවා ඇත.

මෙයට අවුරුදු 50කට පෙර කුඹුරු යායවල් අසල එක ගොන්නට වැවී තිබූ ගොඩකදුරු ගස් එකක්වත් අද නැත. ඒ සියල්ල වෙස්මුහුණු සෑදීම සඳහා වෙස්මුහුණුකාරයන් විසින් කපාගෙන ගොස් තිබේ. ගොඩකදුරු යනු වාණිජ වැවිල්ලකි. මොනරකුඩුම්බිය, ලුණුවිල යනාදිය ද වාණිජ වැවිලි ය. මේවා කපාගත් පසු කිසිවෙක් නැවත වතාවක් ඒවා වගා කරන්නේ නැත. ඒ නිසා දැනට විනාශයට පත්වෙමින් පවත්නා සියලු ශාක නැවත වගා කිරීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ යුතුය. පසුගිය කාලයේදී මේ රටේ තිබුණු සියලු ආණ්ඩු විසින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා වල්ලපට්ට ශාකය බේරිණ. දැනට මෙම ශාකය රජයේ අධීක්ෂණය යටතේ වාණිජ මට්ටමින් වගා කරනු ලැබේ. වඳ වෙමින් පවත්නා ශාක බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය මෙය වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here